දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ඉරේෂා සෙව්වන්දි නේපාලයේ අත්අඩංගුවට ගැනීමත් සමග සමාජයේ තවමත් කතා බහට ලක්වන කරුණක්. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ නොමග යන සටහනක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
නේපාලයේ සිට මෙරටට රැගෙන ආ සෙව්වන්දි ඇතුළු පිරිස එම රටින් පිටුවහල් කිරීම මත පමණක් මෙරටට රැගෙන ආ බව ත්, එසේ නොමැතිව මෙරට පොලිසියේ මැදිහත් වීමකින් තොරව මොවුන් අත්අඩංගුවට පත් වී ඇති බව ක්, අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙවැනි සටහනක් නිර්මාණය වීමට පාදක වී තිබුණේ, හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබූ සටහනකි.

එමෙන් ම මෙම පුවතට අදාළ ඔවුන්ගේ වෙබ් වාර්තාවේ පළ වී තිබූ අතර නේපාල මාධ්‍ය උපුටා දක්වමින් සෙව්වන්දි ඇතුළු අනෙක් සැකකරුවන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් වාර්තා කර තිබුණා.
මෙම වෙබ් පුවත් වාර්තාවේ දැක්වෙන්නේ, නේපාල පොලිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් විශේෂ මෙහෙයුමකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් නේපාලයේ කිසිදු අපරාධයක් සිදු කර නොතිබූ බැවින්, ඔවුන් පිටුවහල් කිරීම සඳහා නේපාල නීතියට අනුකූලව ආගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කර තිබූ බව ත්, ඔවුන් නීතිමය අවශ්‍යතා අනුව දඩ මුදල් ගෙවා පොලිස් අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට භාර දුන් බව ත් එහි දැක්වේ.
නේපාල මාධ්‍ය වාර්තා
The Kathmandu Post සංජීව ඝාතනයේ සැකකාරියෙකු වූ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකා පොලිසිය සහ කත්මණ්ඩු තානාපති කාර්යාලයේ බුද්ධි තොරතුරු මත නේපාල පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම දියත් කළ බවට දක්වා තිබුණා.

එමෙන් ම ඉහත හිරු පුවතට සඳහා පාදක වී තිබුණේ ද, The Kathmandu Post හි පළ වී තිබූ තව ත් වාර්තාවක් වන අතර එහි සඳහන් වී තිබුණේ, එම රටේ සිට අත්අඩංගුවට ගත් ඉෂාරා ඇතුළු පිරිස නැවත ඔවුන්ගේ රටවල් වලට භාර දුන් ක්‍රියාපටිපාටිය වේ. එම පුවත මෙතනින්.
නේපාලයේ ආගමන පනත, 1992 සහ ආගමන නීති, 1994 යටතේ, , ආගමන නීති උල්ලංඝනය කරන හෝ ජාතික අවශ්‍යතාවයට පටහැනි යැයි සලකන ඕනෑම විදේශීය ජාතිකයෙකු පිටුවහල් කිරීමට බලධාරීන්ට බලය ඇත. සංක්‍රමණ පනතේ 9 වැනි වගන්තිය යටතේ, රජයේ අනුමැතිය ඇතිව, ආගමන අධ්‍යක්ෂ ජනරාල්වරයාට නැවත ඇතුල්වීමේ කාලසීමාවක් නියම කර හෝ නොමැතිව පිටුවහල් කිරීමට නියෝග කළ හැකිය. එමෙන් ම යමෙක් යම් යම් ආගමන විධිවිධාන උල්ලංඝණය කරන්නේ නම්, පනතට අනුව, 10 වැනි වගන්තිය යටතේ දඩයකට (හෝ වෙනත් දඬුවමකට) යටත් විය හැක.
සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සම්බන්ධ ආරක්ෂක අංශවල ප්‍රකාශ
2025 වසරේ පෙබරවාරි 19 වන දා සංවිධානත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී පසුගිය දා අත්අඩංගුවට පත් විය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා තිබුණේ, රතු නිවේදන නිකුත් කර තිබූ සෙව්වන්දිව අත්අඩංගුව ගැනීමට මෙරට පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ බුද්ධි අංශයන්, නේපාල රජය, විදේශ රටවල සහය, පරිගණක තාක්ෂණය ඇසුරෙන් , නේපාලයේ බුද්ධි තොරතුරු මත ඇය අත්අඩංගුවට පත් වූ බව ඔහු සදහන් කළා.
එමෙන් ම උදර්පණ නීතිය යටතේ විවිධ රටවල් අතර ඇතිවන්නාවූ එකගතාවන්, ගිවිසුම් හරහා මෙරටට සැකකරුවන් සහ සැකකාරියන් මෙරට ගෙන්වා ගත් බවත්, (05.07) පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ විශේෂ සැලසුම්, ඇතුව මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බව ත්, මේ සදහා නේපාල රජය, නේපාල පොලීසිය නොමද සහය ලැබුණු බව ත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළා. එම තොරතුරු මෙතනින්.
උදර්පණය
උදර්පණය යනු, යම් පුද්ගලයෙකුව එක රටකින් තවත් රටකට භාර දීමයි. මෙවැනි භාර දීමක් සිදුවන්නේ, යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ බලයක් ඇති රටක්, එම අපරාධය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හෝ වැරදිකරුව සිටින පුද්ගලයෙකු එම අපරාධය සඳහා නඩු පැවරීම සඳහා හෝ දඬුවම් කිරීම සඳහා තම රටට භාර දෙන්නැයි දෙවැනි රටකින් ඉල්ලා සිටින අවස්ථාවකදී ය. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින් සහ මෙතනින්.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා අදහස් දක්වා තිබුණේ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ, නේපාල පොලීසිය, ජාත්‍යන්තර පොලිසිය, නේපාල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, මෙරට නිලධාරින්,රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම දුරකතන විශ්ලේෂණයක් සිදු කොට මෙම වැටලීම සිදු කළ බවයි.
නේපාලයේදී සෙව්වන්දි අත්අඩංගුවට ගත් මෙහෙයුමේ දර්ශනවල ද ලංකාවේ බලධාරීන් දැකගන්නට ලැබෙනවා
එමෙන් ම නේපාලයේදී සෙව්වන්දි අත්අඩංගුවට ගත් අවස්ථාවේ, වීඩියෝ ද, ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එහිදී ද, දැක ගන්නට ලැබෙන්නේ, එම මෙහෙයුම සිදු වන අවස්ථාවේ, ඕලුගල මහතා ද, සිටින බවයි.
නේපාලයෙන් මෙරටට සැකකරුවන් ගෙන්වීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉහත සඳහන් කළේ, සැකකරුවන් 06 දෙනා මෙරටට ගෙන්වීමේදී උදර්පණ නීතිය, විවිධ රටවල් අතර ඇතිවන්නාවූ එකගතාවන්, ගිවිසුම් හරහා මෙරටට සැකකරුවන් ගෙන ආ බවයි.
ශ්‍රී ලංකා පොලිසියේ සහය ද ඇතිව නේපාල පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන එරට ආගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
එසේම මෙම සැකකරු කණ්ඩායම, සංචාරක වීසා කාලය ඉක්මවා රැඳී සිට ඇති අතර වලංගු විදේශ ගමන් බලපත්‍ර නොමැතිව අනිතිකව නේපාලයේ රැඳී තිබීම ඇතුළු ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් දඩ නියම කර වසරක කාලයකට එරටට නැවත ඇතුළුවීමේ තහනමක් නිකුත් කිරීමෙන් පසු, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමකට අනුව සැකකරුවන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන තිබෙන බව වාර්තා කර තිබුනේ මෙලෙසින්.
ඒ අනුව, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි නේපාලයේ රජය මෙම අපරාධකරුවන් ඔවුන්ගේ රටේදී වරදක් නොකිරීම මත පිටුවහල් කිරීම සිදු කිරීමෙන් පසු මෙරට පොලිස් නිලධාරීන් ගොස් අපරාධකරුවන් රැගෙන ආ බවට පෙන්වීම නොමග යන ප්‍රකාශයක් බවට තව දුරටත් පැහැදිලි වේ.
මෙරට විදේශ අමාත්‍යාංශය
නේපාල පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සම්බන්ධ වූ ඒකාබද්ධ මෙහෙයුමකින් ශ්‍රී ලාංකිකයන් හය දෙනා නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් වූ අතර ඉන්ටර්පෝල් රතු නිවේදනවලට යටත් විය. එබැවින්, 1992 නේපාලයේ සංක්‍රමණ පනතේ 9 වන වගන්තියට සහ 1994 ආගමන නීතිවලට අනුව, නේපාල බලධාරීන් ඔවුන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීම සඳහා ආගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරන ලදී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube
Title:සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ආවේ නේපාලයෙන් පිටුවහල් කරපු නිසාද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


