රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව ලබාදීම නතර කළා ද? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ලබා දෙන “මා පිය රැකවරණ දීමනාව”  සම්බන්ධයේ පසුගිය දින කිහිපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ පුවත් ඇතුළු සටහන් සංසරණය විය. මේ ඒ පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පසුගිය 23 වනදා දෙරණ රූපවාහිනයේ දෙරණ අරුණ වැඩසටහන දී රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව අත්හිටුවයි.. යන ශීර්ෂය යටතේ අරුණ පුවත්පතේ  පළ වී කර ඇති එම පුවත උපුටා දක්වමින් වැඩසටහන ඉදිරිපත් කරන මාධ්‍යවේදීයා පවසන්නේ, රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසා ඇති බවයි. විශිෂ්ට දූපුතුන් රටට දායාද කළ අම්මලා  තාත්තලාට මෙහෙම සලකනවා නම්, අපේ කළගුණ සැලකීම කොතන ද තියෙන්නේ සහ ජාතියක් විදිහට අපි සිටින්නේ කොතැනදැයි, ඔහු එහිදී ප්‍රශ්න කර සිටී. 

ජීවදත්ත සහතිකය ලබා නොදීම හේතුවෙන් ක්‍රියාන්විත රාකාරියේදී දිවිපිදු සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මව්පියන්ට මාසිකව ලබා දෙන රු. 750ක දීමනාව මෙලෙස අත්හිටුවා ඇති බව ද එහිදී සඳහන් කරයි. 

https://www.facebook.com/reel/1393122582245389

Facebook 

මේ අතර දෙරණ අරුණ වැඩසටහනේ රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව අත්හිටුවීම පිළිබඳ වූ කොටස සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් මෙලෙස, මෙලෙස සහ මෙලෙසින් පළ කර තිබුණා.  

මෙම තේමාවෙන් පළ වී තිබූ තවත් ෆේස්බුක් සටහනක් මේ 

Facebook |Archived Link

ලද පාඨක ඉල්ලීම් ද සලකා බලා අප මෙම පුවතෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව අප මූලිකවම නොවැම්බර් 23 වැනිදා  දෙරණ නාලිකාවේ විකාශය වන දෙරණ අරුණ වැඩසටහන පරීක්ෂාවට ලක් කළ අතර  එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව  දෙරණ අරුණ වැඩසටහනින් උපුටා ගන්නා ලද්දක් බව තහවුරු විය.  

මේ අතර දෙරණ අරුණ වැඩසටහනේ ප්‍රකාශ කරන පරිදි රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව අත්හිටුවීමක් සිදු කර තිබේ ද යන්න පිළිබඳ ව අනෙකුත් මාධ්‍ය ද වාර්තා කර තිබේ දැයි අප පරීක්ෂාවට ලක් කළේ ය. එහිදී ක්‍රියාන්විත රාජකාරියේදී දිවි පිදූ සහ රනක්ෂිතයට පත් රණවිරුවන්ගේ මව්පියන් 17000කගේ මාපිය රැකවරණ දීමනාව තාවකාලිකව අත්හිටුවයි – ආරක්ෂක අමාත්‍යාංශය Archived Link යන ශීර්ෂය යටතේ නිව්ස්ෆස්ට් නිල වෙබ් අඩවියේ නොවැම්බර් 20 වනදා  මීට අදාළ පුවතක් පළ කර තිබෙනු නිරීක්ෂණය විය. මෙම පුවතට අනුව ජීව දත්ත සහතික ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දීමනාව අත්හිටුවීම තාවකාලිකව සිදුකර ඇති දෙයක් බවත්, ප්‍රතිලාභී මා පියන් ජීවතුන් අතර සිටින බවට ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර, අදාළ ප්‍රතිලාභය නැවත ලබාගත හැකි බවත් සඳහන් වේ‍.   

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පරීක්ෂාවට ලක් කළ අතර රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. යන ශීර්ෂයෙන් නොවැම්බර් 20 වනදා එහි පුවතක් පළ කර තිබෙනු දැකගත හැකි විය.

 Archived Link 

එහි වැඩිදුරටත් සඳහන් වූයේ, මා පිය රැකවරණ දීමනාව ලබා ගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, අදාළ ජීව දත්ත සහතිකය අනිවාර්යයෙන්ම රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුව ඇති බවයි. දැනට 32,867ක් වූ ප්‍රතිලාභීන් අතරින් 17000 ආසන්න ප්‍රතිලාභීන් පිරිසක් පමණක් සහතිකය ලබා දී ඇති බවත් ඉතිරි ප්‍රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම හේතුවෙන් ඔවුන්ගේ මාසික දීමනා තාවකාලිකව අත්හිටුවීමට සිදුවී ඇති බවත් අදාළ පුවතේ සඳහන් වේ. කඩිනමින් ජීව දත්ත සහතිකය ලබා දී, තම දීමනා ලබා ගැනීමේ නෛතික අයිතිය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශය නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇත. එම පුවත අවසානයේ මේ පිළිබඳ විමසීම් සඳහා වන දුරකතන අංක ඇතුළු විස්තර ද ඇතුළත් වේ. 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රතිචාරය  

රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ගෙවනු ලබන රු.750  මාපිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බවට වන ප්‍රචාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාධ්‍ය ඔස්සේ විකාශය වූ එම පුවත් අසත්‍යක් බවයි. රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ගෙනුලබන 750 මාසික දීමනාව අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රකාශයේදී මාපිය රැකවරණ දීමනාව ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, වසරකට දෙවරක් එකී ප්‍රතිලාභීන් ජීවත්ව සිටින බවට වාර්ෂිකව තහවුරුවක් ලබාගැනීම සිදුකරන බවයි.  මෙලෙස ජීවත්වීමේ තහවුරුව ඉදිරිපත් නොකරන ලද ප්‍රතිලාභීන් වෙත මෙම දීමනාව ගෙවීමට අවශ්‍ය වන අදාළ තහවුරුව ඉදිරිපත් කරන තෙක් පමණක් තාවකාලිකව අදාළ ගෙවීම් සිදුකරන ආයතන විසින් නතර කර තිබූ බවයි.  කෙසේ වෙතත්  අදාළ තහවුරුව ඉදිරිපත් කර මෙම දීමනාව  ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව දීමනාව ලබා දීම කිසිසේත් අත්හිටුවීමක් සිදු කර නොමැති බවත් එය පවතින මූල්‍ය කළමනාකරණ අවශ්‍යතා මත ගෙන ඇති ආරක්ෂණයක් බවයි. 

Facebook

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් 

රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධවයි යනුවෙන් නොවැම්බර් 24 වනදා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වන්නේ, මා පිය රැකවරණ දීමනාව ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකරනු ලබන බවයි. එම  දීමනාව අත්හිටුවා ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් මේ වනවිට ඇතැම් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන අතර, එම තොරතුර සම්පුර්ණයෙන් සාවද්‍ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අදාළ නිවේදනය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී. තව ද 

පළමු අඩවසර වෙනුවෙන් ආසන්න වශයෙන් ප්‍රතිලාභීන් 17636 දෙනෙකුගේ ජීව දත්ත සහතිකය රණවිරු සේවා අධිකාරිය වෙත නිසි පරිදි ලබා දී ඇති අතර, මෙම වසරේ ජුලි මාසයෙන් ඇරඹි දෙවන අඩවසර සඳහා සහතිකපත් 4727ක් පමණක් මේ දක්වා ඉදිරිපත් වී තිබීම හේතුවෙන් ඉතිරි ප්‍රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම නිසා මෙම මාසික දීමනා ගෙවීමට නොහැකි වී ඇති බව එහි සඳහන් ය.  සම්පූර්ණ නිවේදනය මෙතැනින් 

ආරක්ෂක අමාත්‍යාංශයේ  මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් එස්. ජෝසප්

ප්‍රතිලාභීන් 17,000කට වැඩි ප්‍රතිලාභීන් පිරිසකගේ රණවිරු මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන්වල පිළිබඳව අප ආරක්ෂක අමාත්‍යාංශයේ  මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සත්‍ය නොවන නොමග යවන සුළු සටහන් බව ත්, මෙම දීමනාව ලබා දෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය නොමැතිව ඇතැම් මාධ්‍ය නොමග යන ලෙසින් වාර්තා කර ඇති බවයි.

දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්  

මේ අතර රණවිරු සේවා අධිකාරිය වෙතින් අදාළ දීමනාව ලබාගැනීම සඳහා ප්‍රතිලාභීන් 32,867 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවත් ජූනි අවසන් වන විට පළමු අඩ වසර සඳහා ගෙවීම් සිදුකරන ප්‍රතිලාභීන් ගණන 17,636ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.  ජූලි සිට දෙවන අඩ වසර සඳහා ජීවත්වන බවට තහවුරු කරමින් ජීවන සහතික එවා ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 4,727ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සානුකම්පිතව සලකා බලා රණවිරු සේවා අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් පළමු අඩ වසර සඳහා ඉදිරිපත් කර ඇති ජීවන සහතික වලංගු සේ සලකා එම 17,636  හට දෙවන අඩවසර සඳහා ද මෙම දීමනාව ගෙවීමට අනුමැතිය ලබා දී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. ඒ අනුව පසුගිය 20 සහ 21 දිනවලදී අදාළ මුදල් බැංකු වෙත මුදා හැර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

ගැටලුව නිරාකරණයට ගෙන ඇති කඩිනම් පියවර 

රණවිරු සේවා අධිකාරිය විසින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍ර දේශවල පදිංචි සියලුම ප්‍රතිලාභීන්ගේ විස්තර ඉදිරිපත් කොට ඔවුන් දැනුවත් කරන ලෙසත් සහ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් කඩිනමින් ඔවුන්ගෙ ජීවත්වීමේ සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇති අතර මේ වනවිට ඊට ද ප්‍රතිචාර ලැබෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු බවයි. රණවිරු දෙමාපියන් සිය ජීව දත්ත සහතික ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දීමනාව අත්හිටුවීම තාවකාලිකව සිදුකර ඇති දෙයක් බවත්, ප්‍රතිලාභී මා පියන් ජීවතුන් අතර සිටින බවට ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර, අදාළ ප්‍රතිලාභය නැවත ලබාගත හැකි බව ට මාපිය රැකවරණ දීමනාව තාවකාලිකව අත්හිටුවීමේ ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ අන්තර්ගත කරුණු නිසි ලෙස පුවත් වාර්තාව සඳහා යොදා නොගැනීම නොමගයවන ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී ඇති බවයි. 

Avatar

Title:රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව ලබාදීම නතර කළා ද? 

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *