ලංකාවේ නායයෑමක් නිසා රථවාහන මඩින් වැසී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් පිටවීමත් සමඟ වැසි තත්වයන් ක්‍රමයෙන් අඩු වී තිබුණ ද පවතින අවදානම් තත්වයන් හමුවේ නායයෑම් සිදුව ඇති ප්‍රදේශ රැසක් මෙන්ම නාය යාමේ අවදානම් ස්ථාන පිළිබඳව ද පුවත් රැසක් වාර්තා වනවා.

මේ අතර මාර්ගයක වාහන කිහිපයක් සම්පුර්ණෙන්ම මඩවලින් යටවී ඇති දර්ශන පෙළක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජීවිතයේ අනිත්‍යය පිළිබඳවත් , සියල්ල නැතිවිය හැකි බවත් සඳහන් කරමින්, අතහැරීමට පුරුදු වීම පිලිබඳව පසුබිම් කථනයක් ද සමඟ මේ දිනවල ලංකාවේ ඇති වූ ව්‍යසනකාරී තත්වයේ දර්ශන පෙළක් බව ඒත්තු ගන්වමින් හුවමාරු වී තිබු වීඩියෝවකින් පෙන්වා තිබුනේ වාහන කිහිපයක් පස්වලින් සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇති ආකාරයකුයි.

Facebook

එම තේමාවෙන්ම වෙනත් පසුබිම් කථනයක් සමඟ වාහන මඩවලින් යටවී ඇති වීඩියෝවක් පළවී තිබුනේ මෙලෙසින්.

Facebook

මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම්ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප ඉහත ආකාරයේ දර්ශන පෙළ ලංකාවේ කිසියම් ප්‍රදේශයකින් හෝ වාර්තා වී තිබුනේ ද යන්න පිළිබඳව අප සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළවූ දර්ශන සමඟ පරික්ෂා කළ ද එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

මීට මසකට පෙර හයිටි රාජ්‍යයෙන් වාර්තා වූ දර්ශන පෙළක්!

ඒ අනුව අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී තහවුරු වුයේ මෙහි දැක්වෙන්නේ මීට මසකට පෙර, එනම් ඔක්තෝබර් මස අග දී, මෙලිසා සුළි කුණාටුව හමුවේ හයිටි රාජ්‍යයේ ඇති වෙරළබඩ නගරයක් වන Petit-Goaveහි ඇතිවූ හානිය දැක්වෙන දර්ශන පෙළක් බවයි.

එසේ මීට මාසයකට පෙර පළවූ වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.

එම වාහන මඩවලින් වැසි ගිය අවස්ථාවේ දර්ශන , ඡායාරූප සටහන් මගින් ද මීට මසකට පෙර පළකර තිබුනේ මෙලෙසින්.

AFP/ Getty Images  ඔස්සේ ද අදාළ සිදුවීම පිලිබඳ ඡායාරුපයක් පළකර තිබු අතර එහි විස්තරයේ සඳහන් වන්නේ 2025 ඔක්තෝබර් 30 වන දින මෙලිසා සුළි කුණාටුවෙන් පසු, හයිටි රාජ්‍යයේ නගරයක් වන පෙටිට්-ගෝව් හි (Petit-Goave) මෝටර් රථ මඩේ ගිලී ඇති ආකාරය යනුවෙනි.

AFP | Getty

2025 ඔක්තෝබර් අග භාගයේදී වාර්තා වූ දරුණුතම කුණාටුවක් වන මෙලිසා සුළි කුණාටුව, හයිටි, ජැමෙයිකාව සහ කියුබාව යනාදී රටවලට විශාල විනාශයක් කළ අතර, හයිටි සහ ජමෙයිකාව පුරා අවම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකු මිය ගොස් තිබු අතර  හයිටියේ පෙටිට්-ගෝව් හි, ගංගා පිටාර ගැලීමෙන් නිවාස මඩෙන් යටවී, අවහිර වූ මාර්ග හේතුවෙන් දහස් ගණනක් අවතැන් විය. එම තත්වය පිළිබඳ වාර්තා මෙතනින් සහ මෙතනින්.

ලංකාවේ ද නායයෑම් හේතුවෙන් ජීවිත සහ දේපළ හානි රැසක්

පේරාදෙණිය, අලවතුගොඩ, කුරුනෑගල, රත්නපුර, බදුල්ල ඇතුළු ප්‍රදේශ රැසක නායයෑම් පිළිබඳව දර්ශන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණා.

විශේෂයන්ම බදුල්ල – මහියංගන මාර්ගයේ නාය යැමෙන් වාහන රැසක් පස්වලින් යට වී ඇති අයුරු ඇතුළත් දර්ශන පහත පරිදි මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ නමුත්, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය ඇතුළු පාර්ශව විසින්, නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීම් පසුගිය දින කිහිපය පුරාවට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ වාර්තා කරමින්, මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා.

කෙසේනමුත් එවැනි තත්වයන් යටතේ වුවද දැනුම් දීම් නොතකා කල් වේලා ඇතිව අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවීම නිසා ද ඇතැම් ඛේදනීය තත්වයන් ඇති වී තිබෙන අයුරු වාර්තා වී තිබුණා.

සැ.යු. සමාජයේ වගකිව යුතු පුරවැසියන් ලෙස මෙවන් ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ, විශේෂයන්ම සංවේදී කාරණා ඔස්සේ මහ ජනතාවට නොමඟ යැවීමට, වෙනත් රටවල සිදුවූ හෝ පැරණි සිදුවීම් හෝ AI මගින් සිදුකරන නිර්මාණ හරහා අසත්‍ය පුවත් පතුරවා සිටීමෙන් වැලකී සිටින ලෙස Fact Crescendo අප කණ්ඩායම කාරුණිකව ඔබෙන් ඉල්ලමු.

නිතරම තහවුරු වූ තොරතුරු පමණක් හුවමාරුකර ගන්නා ලෙස අප ඔබට යළි මතක් කරන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් තහවුරු වන්නේ ලංකාවේ පවතින අපදා තත්වය යටතේ සිදුවූ නාය යෑමක් නිසා, වාහන පෙළක් සම්පුර්ණයෙන්ම පස්වලින් වැසී ගොස් ඇති අයුරු යනුවෙන් හඟවමින් හුවමාරු වන්නේ ලංකාවේ දර්ශන පෙළක් නොවන බවයි.

ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මීට සමාන තත්වයන් පිළිබඳව වාර්තා වී තිබුණ ද ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ, ‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන්, 2025 ඔක්තෝබර් මස අග, කැරිබියන් දුපත්හි පිහිටි රටක් වන හයිටි රාජ්‍යයේ ඇතිවූ ඛේදනීය තත්වයක් පෙන්නුම් කරන දර්ශන පෙළකට, සිංහල පසුබිම් කථනයක් ලබාදී, නොමඟ යවන සුළු අර්ථකතනයක් ලබාදී එය මෙරට ඛේදවාචකයට සම්බන්ධ කරගනිමිනි.

Avatar

Title: ලංකාවේ නායයෑමක් නිසා රථවාහන මඩවලින් වැසී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

Fact Check By: Factcrescendo Team 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *