දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලංකාව මේ දිනවල මුහුණපාමින් සිටින පීඩාකාරී කාලසීමාව තුළ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත්කරන දැනුම් දීම් ගැන නිරන්තරයෙන්ම ඇසෙන්නට ලැබෙනවා. කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නිෂ්ක්‍රීය කර තිබු බවත්, එය වත්මන් ව්‍යසනයක හේතු වූ බවත් ඒත්තු ගන්වන සටහන් පෙළක් ද අපට දැක ගන්නට ලැබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘මෛත්‍රීපාල සිරිසේනට වැටුණ නඩුව අනුරටත් වැටෙන තත්ත්වයක්’ යන සඳහන් සහිතව පළ වී ඇති පහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුව පත්වූ පසු ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිෂ්ක්‍රීය කළ බවයි. මෙම මධ්‍යස්ථානය මීට පෙර පැය 24 පුරා ක්‍රිියාත්මක වූ බවත් , ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සුදු අලියෙක් බව පවසමින් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව එය නිෂ්ක්‍රීය කරනු ලැබූ බවත්, එහි ප්‍රතිඵල සමස්ත ජාතියටම භුක්ති විඳීමට සිදුව ඇති බවත්, මාලිමා රජය බලයට ගෙනා අයත් මේ ව්‍යසනයේ විත්තිකරුවන් බවත් මෙම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම සටහන පිළිබඳව ලද පාඨක ඉල්ලීම් ද මුල් කරගනිමින් මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිෂ්ක්‍රීය කර තිබුණේ නම්, අයහපත් කාලගුණයත් සමග උද්ගත වූ ආපදා තත්ත්වය හමුවේ අඛණ්ඩ වාර්තාකරණයන්හි නිරත වූ විද්‍යුත් නාලිකාවල පුවත් වාර්තා තුළින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නම හෝ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කිසිදු සඳහනක් නොතිබිය යුතු ය. එහෙත් පසුගියදා ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ පළාත් රැසක්ම මුහුණදී සිටි ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සක්‍රීය දායකත්වය ප්‍රධාන ධාරවේ ඇතුළු සියලුම මාධ්‍යයන් ඔස්සේ මෙලෙස , මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබෙනු දැක ගතහැකි විය.
මේ අතර පසුගිය නොවැම්බර් 12 වනදා අද දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් සිටි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකතන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් 117 අංකය අමතා ජනතාවට ඕනෑම ආපදා තතත්වයක් පිළිබඳව දැනුම් දිය හැකි බවත්ය. ඒ සමගම ත්‍රිවිද හමුදාව, පොලිසීය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම්වලින් සමන්විත හදිසි ක්‍රියාන්විත මධ්‍යස්ථානය ද පැය 24 පුරා ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කරයි. ඊට අමාතරව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ආපදා කළමනාකරණ ඒකක ක්‍රියාත්මක වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා පැහැදිලි එම වැඩසටහනේ දි සඳහන් කර තිබුණා. මේ අනුව ද තවදුරටත් තහවුරු වන්නේ, වත්මන් ආණ්ඩුව යටතේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිෂ්ක්‍රිය කර තිබූ බවට වන සටහනේ සත්‍යතාවක් නොමැති බවයි.
2025 අගෝස්තු 07 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව කැඳවා තිබූ අතර ජනාධිපති මාධ්‍ය අංශ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ, එලෙස කවුන්සියල එලෙස රැස් වී ඇත්තේ වසර 7කට පසුව බවයි. කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා ආපදා කළමනාකරණ පනත සංශෝධනය කිරීම ඇතුළුව ජනාධිපතිවරයා විසින් එහිදී නිලධාරීන්ට උපදෙස් රැසක් ලබාදී තිබුණා. දර්ශන මෙතැනින්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2005 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි
2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතෙහි විධි විධාන අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ (NCDM) විධායක ආයතනය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. 2005 වසරේ සිට ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය මෙන්ම ආපදා කළමනාකරණ වැඩසටහන් ඇතුළු සියල්ල අද (02) දිනය දක්වාම යාවත්කාලීන වෙමින් පවතී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙඹවූ 2019 වසරේදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ඒ අතර විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ මහතා 2025 මාර්තු 8 වැනිදා රාජකාරි අරඹා ඇති අතර ඒ එතෙක් එම ධුරය දැරූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එච්.එම්.යූ හේරත් මහතාගේ ධුර කාලය අවසන් වීමත් සමගයි. මේ අනුව ද පැහැදිලි වන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අඛණ්ඩව ක්‍රියාත්මක වූ ආයතනයක් බවයි.
එසේම වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත්වීමේ පසුව, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව 2024 නොවැම්බර් මස නිකුත් කළ ඇති විශේෂ ගැසට් පත්‍රයේ ද , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ආරක්ෂක අමාත්‍යංශ යටතේ ඇති රාජ්‍ය ආයතනයක් ලෙස පැහැදිලිවම දක්වා තිබුනේ මෙලෙසින්.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එස්. ජෝසප්
ආරක්ෂ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිශ්ක්‍රීය කර ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන පිළිබඳව අප ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එය කිසිදු පදනමක් නැති සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහනක් බවත්, පෙර රජයන් මෙන්ම වත්මන් රජය ද බලයට පත්වූ දින දිට මෙම ආයතනය අඛණ්ඩව ආරක්ෂක අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වූ බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාව අනුව පැහැදිලි වන්නේ, වත්මන් ආණ්ඩුව පත්වූ පසු ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිෂ්ක්‍රීය කළ බවට වන සමාජ මාධ්‍ය සටහන කිසිදු සත්‍යතාවක් නොමැති අසත්‍ය සටහනක් බවත්, මීට පෙර රජයන් මෙන්ම, වත්මන් ආණ්ඩුව විසින් ද මෙම ආයතයනය ආරක්ෂක අමාත්‍යංශය යටතේ අඛන්ඩව ක්‍රියාත්මක වී තිබේ.
Title:වත්මන් රජය පත්වූ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිශ්ක්‍රීය කළා ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


