දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජීවිත රැසක් බිලි ගත් ආපදා තත්ත්වය පැවති දින කිහිපයේදී මෙන්ම පශ්චාත් ආපදා සමයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ නොගමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණයවීම සිදුවෙමින් තිබේ. ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය සහ මහා මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවුණා. එලෙස හානි මාර්ග යථාවත් කර ඇති බව කියමින් සංසරණය වන සටහන් පෙළක් පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
“මතකද ඉස්සර මාස ගණන් යන projects අද දවසින් දෙකෙන් කරපුවාම පාට පක්ෂ බේදයකින් තොරව අගයන්නම ඕනි” යන තේමාවෙන් පළ කර ඇති මෙම සටහනට අනුව පේරාදෙණිය පාලම ගංවතුරින් හානියට පත් වීමෙන් පසු ඉකුත් 29 වැනිදා පැවති තත්ත්වය සහ පසුගිය 6 වැනිදා වන විට පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බව කියමින් මෙම සටහන පළ කර තිබේ.

දින කිහිපයක් ඇතුළත පාලම ප්‍රතිසංස්කරණය කර ඇති බව කියමින් තවත් සටහන් කිහිපයක් මෙලෙස පළ වී තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link
පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බවට විශ්වාසය කරමින් බොහෝ පිරිසක් මෙම සටහන් සිය ගිණුම් වෙත හුවමාරු කර ගෙන තිබූ අතර තවත් බොහෝ පිරිසක් එය අගය කරමින් මෙලෙස අදහස් පළ කර තිබෙනු දැකගත හැකි විය.

Fact Check :
රටට බලපෑ අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගවලට ද දැඩි හානි සිදුවුණා. එලෙස හානි සිදුව තිබූ පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය ස්ථාන අතර පිහිටි පේරාදෙණිය කළු පාලම (යකා පාලම) සමාජ මාධ්‍යයේ පවසන පරිදි දින කිහිපයක් තුළ ප්‍රතිසංස්කරණය කර තිබේ ද යන්න ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා ඔස්සේ පරීක්ෂාවට ලක් කළ ද කිසිදු මාධ්‍යක් එවැනි පුවතක් වාර්තා කර නොතිබිණ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ, හානියට පත් පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීමට අවධානය යොමු වී ඇති බවයි. තවත් පුවතක් මෙතැනින්
දුම්රිය සාමාන්යාධිකාරි රවීන්ද්ර පත්මප්රිය
මේ අතර පසුගිය 06 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පේරාදෙණිය කළු පාලමේ (යකා පාලම) වර්තමාන තත්ත්වය සහ එය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින් දුම්රිය සාමාන්යාධිකාරි රවීන්ද්ර පත්මප්‍රිය මහතා සඳහන් කළේ, පාලම මත තිබූ කුණු කසල ඉවත් කර එය පවිත්‍ර කර අවසන් නමුත් පාලම යට පිරිසිදු කිරීම් ආරම්භ කර ඇති බවයි. බොහෝවිට මෙම ස්ථානයේ නව පාලමක් ඉදිවෙනු ඇති බවත්, එය ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කිරීමට සැලසුම් කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. තවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, පාලම තාවකාලිකව නඩත්තු කිරීමට එතරම් සුදුසු තත්ත්වයක නොමැති බවයි. මේ අනුව ද පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල නිර්වද්‍යතාවත් නොමැති බවයි.
සරසවි උයන දුම්රිය ස්ථානය
මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප සරසවි උයන දුම්රිය ස්ථානයෙන් ද විමසීමක් සිදු කළ අතර එහි නිලධාරියෙකු පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සත්‍යතාවක් නොමැති බවයි. ගංවතුර හේතුවෙන් දැඩි හානි සිදුවූ පාලම මත රැඳී තිබූ කුණු රොඩු ආදිය ඉවත් කිරීම මේ වනවිට අවසන් කර ඇති නමුත් නාවික හමුදාවේ මැදිහත්වීමෙත් පාලමේ කණු වටේ රැඳී ඇති ගස් ආදිය ඉවත් කිරීම සිදුවෙමින් පවතින බව එම නිලධාරියා කියා සිටියා. ඒ අනුව සිදුව ඇති හානිය ඇතුළු ඊළඟට ගතයුතු පියවර තීරණය වන්නේ ඉන් පසුව බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර පාලම ප්‍රතිසංසරණය කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි අස්වාභාවික බවක් පෙන්නුම් කරන බැවින් අප එය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සකසන ලද ඡායාරූපයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් වෙත යොමු කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

Claim 2:
“කැඩුනා හැදුවා යමු ඉස්සරහට නවතින්න කාලයක් නැහැ’’ යනුවෙන් සඳහන් කරමින් ගංවතුරින් හානී මූ මාර්ගයක ඡායාරූපයක් සහ ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයක ඡායාරූපයක් සහිත මෙම සටහන මගින් ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ, පසුගිය ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ මහා මාර්ග ඉතා කෙටි කාලයක් ඇතුළත ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.

එම තේමාවෙන්ම අදාළ ඡායාරූප දෙක ෆේස්බුක් ඔස්සේ පළ වී තිබූ තවත් අවස්ථා දෙකක් පහතින්.

Facebook | Archived Link Facebook | Archived Link
බොහෝ පිරිසක් අතරේ හුවමාරුවී තිබූ මෙම සටනේ නිර්වද්‍යතාව විමසා ලද පාඨක ඉල්ලීම් ද මුල් කරගනිමින් කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.
Fact Check :
මූලිකවම දින කිහිපයක් ඇතුළත මෙලෙස මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ, වාර්තා කර තිබේදැයි පරීක්ෂා කළ ද පසුගිය දින කිහිපයේ කිසිදු මාධ්‍ය ධාරාවක් ඔස්සේ, මාර්ගයක් ප්‍රතිසංස්කරණය කර අවසන් කළ බවට කිසිදු මාධ්‍යක් වාර්තා කර නොතිබිණ. ඒ අනුව අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී මෙම සටහන්වල දැක්වෙන හානියට පත් මාර්ගය පසුගිය දා සිදුවූ ගංවතුර හමුවේ හානියට පත් වූ මාර්ගයක ඡායාරූපයක් නොව 2024 ජුනි 23 වැනිදා sundaytimes.lk වෙබ් අඩවියේ පළ කරන ලද පුවතක් සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපයක් බව අනාවරණය විය.

එම පුවතේ සඳහන්ව තිබුණේ, අදාළ ඡායාරූපය අකුරැස්ස, අතුරලිය ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් පසු ප්‍රියන්ත දසනායක මාධ්‍යවේදියා විසින් ගන්නා ලද ඡායාරූපයක් බවයි.
අදාළ ඡායාරූපය මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායක මහතා වෙත යොමු කරමින් ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට පියවර ගත්තා. එහිදී ඔහු සඳහන් කළේ,අදාළ ඡායාරූපය වසරකට පමණ ඉහතදී අකුරැස්සට බලපෑ ගංවතුරත් සමග අතුරලිය ජල පොම්පාගාරය අසල මාර්ගයේ කොටසක සිදුවූ නායයාමට අදාළව තමන් ලබාගත් ඡායාරූපයක් බවයි. එම අවස්ථාවේ එහි කාපට් ගැලවී තිබූ බවත් පසුව කොන්ක්‍රීට් අතුරා මර්ගයේ එම කොටස ප්‍රතිසංස්කරණය කළ බවත් ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණය කර ඇති බව කියමින් සංසරණය වන ඡායාරූපය එම ස්ථානයේ සැබෑ ඡායාරූපයක් නෙවන බව ඔහු තහවුරු කර කියා සිටියා. මේ අනුව ද පැහැදිලි වන්නේ, මෑතකදී සිදු වූ ගංවතුරින් හානි වූ බව කියමින් සංසරණය වන එම ඡායාරූපය ද ව්‍යාජ ඡායාරූපයක් බවයි.
මේ අතර ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයේ බව කියමින් පළ කර ඇති ඡායාරූපයේ වෙනස්කම් කිහිපයක් නිරීක්ෂණය කළ හැකි විය. පළමු ඡායාරූපයේ වෑන් රථයෙන් පිටවූ දුම දෙවැනි ඡායාරූපයේ එලෙසම දැකගත හැකිවීම, යතුරු පැදියේ අංක තහඩුව නොතිබීම, දකුණු පස කෙළවරයේ කිසියම් ලාංඡනයක් දැකගත හැකිවීම ඒ අතර විය.

මේ අනුව අදාළ ඡායාරූපයේ සත්‍යතාව පිළිබඳ පැන නැගුණ සැකය මත අප එම ඡායාරූපය AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් වෙත යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව තහවුරු වන්නේ, ආපදාවෙන් හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සහටහන් කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද සමාජය නොමග යවන සුළු සටහන් බවයි.
Title:හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බව කියන ව්‍යාජ සටහන් පෙළක්!
Fact Check By: Sagarika ChathumaliResult: False


