සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද? 

False Social Sports

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දිට්වා සුළි කුණාටුව හමුවේ හටගත් ආපදා ත්තත්වය හා බැඳුණු විවිධ තේමාවන් යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණය වනු බහුලව දැකගත හැකියි.  ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු විපතට පත් ජනතාව වෙනුවන් මූල්‍යාධාරයක් ලබා දුන් බව කියමින් සංසරණය වන සටහන්  පිළිබඳ සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සමාජ මාධ්‍ය ඔස්සේ, සංසරණය වන ගංවතුරින් සහ නායයාම් දර්ශනවලින් සමන්විත තත්පර 19 ක කෙටි වීඩියෝවක් මගින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඩොලර් මිලියන 10ක අතිවිශාල පරිත්‍යාගයක් සිදු කර ඇති බවත්, තහවුරු නොකරන ලද මූලාශ්‍රවලට අනුව මෙය මෙතෙක් සහන කටයුතු සඳහා තනි පුද්ගලයෙකුගෙන් ලැබුණු විශාලතම ආධාරය බවත් ය. තව ද මෙම මුදල රොනල්ඩෝ පෞද්ගලිකව බැර කර නොමැති බවත් වාර්තා අනුව ඔහුගේ පුන්‍ය පදනම යටතේ මෙම මුදල් බැර වී ඇති බවත් ය.  මෙම පරිත්‍යාගය පිළිබඳ විමසූ විට   Humanity comes before football යනුවෙන් ප්‍රකාශ කර ඇති බ වද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙටි වීඩියෝවේ වැඩිදුරටත් සඳහන් වේ.  

Facebook 

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ ඡායාරූප ද සහිත තවත් සටහනක් පළ කර ඇත්තේ, සුපිරි ක්‍රීඩකයාගෙන් ඩොලර් මිලියන 10ක් ශ්‍රී ලංකාවට යනුවෙන් සඳහන් කරමිනි. 

Facebook |  Archived Link

සත්‍ය ලෙසම පාපන්දු ක්‍රීඩක රොනල්ඩෝ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල දැක්වෙන ආකාරයේ විශාල මුදල් පරිත්‍යාගයක් කර තිබේ දැයි මෙලෙස කරුණු පරීක්ෂා කිරීමට පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජීවිත රැසක් අහිමිවී තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින වටපිටාවක් තුළ ලොව බොහෝ රටවල් , විදෙස්ගත ලාංකිකයින් ඇතුළු බොහෝ පිරිසක් ද්‍රව්‍යමය ආධාර සහ මූල්‍යාධාර ලබාදෙමින් රටක් ලෙස වැටුණු තැනින් නැගී සිටින්නට සහය දෙමින් සිටී. තවත් පුවත් මෙතැනින් සහ මෙතැනින්

මෙලෙස රටවල් විසින් ලබා දෙන මූල්‍යමය ප්‍රදානයන් සහ අධාර පිළිබඳව ප්‍රමුඛත්වයක් දී මෙරට මාධ්‍ය වාර්තා කරන වටපිටාවක් තුළ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු මෙවැනි මූල්‍යමය ආධාරයක් සිදු කළා නම්, ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද එය ප්‍රමුඛ පුවතක් විය යුතුය. එහෙත් රොනල්ඩෝ විසින් හෝ ඔහුගේ පුන්‍යායතනයක් විසින්  මේ සා විශාල මූල්‍ය පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට සිදු කර ඇති බවට ඇති බවට වන පුවතක් කිසිදු මාධ්‍යක් වාර්තා කර නොමැත. 

ඒ අනුව අප තවදුරත් කරුණු තහවුරු කර දැන ගැනීම සඳහා ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ නිල ෆේස්බුක් ඇතුළු නිල සමාජ මාධ්‍ය ජාලා සියල්ලම පරීක්ෂාවට ලක් කළ ද සමාජ මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වන ආකාරයේ මූල්‍යමය ආධාරයක් ඔහු මෙරටට පරිත්‍යාග කර ඇති බවක් එකී කිසිදු ගිණුමක සඳහන්ව නොමැත. මේ අනුව ද පැහැදිලි වන්නේ, රොනල්ඩෝ මෙරටට ඩොලර් මිලියන 10ක් ලබාදී ඇති බවට වන සටහන අසත්‍යයක් බවයි. 

ආපදා තත්ත්වයෙන් පසු රජය පිහිටවූ ‘Rebuilding Sri Lanka’ අරමුදල 

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනයෙන් රට යළි නගා සිටුවීම අරමුණු කරගනිමින් ‘Rebuilding Sri Lanka’ නමින් අරමුදලක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කළේ ය. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පසුගිය 4 වනදා Rebuilding Sri Lanka අරමුදලේ ලංකා බැංකු ගිණුමට රු. මිලියන 635කට අධික මුදලක් ලැබී ඇති බවයි.  තව ද විදෙස් මුදල් තැන්පතු ලබාදීම සඳහා ප්‍රකාශයට පත් කර තිබූ මහ බැංකු ගිණුමට ද රු. මිලියන 61 කට ආසන්න මුදලක් ලැබී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව ලැබී ඇති සමස්ත ප්‍රදානයන් රුපියල් මිලියන 700 කට ආසන්න වේ. රටවල් 33 ක මුදල් ඒකකවලින් ශ්‍රී ලංකාවට මෙතෙක් මුදල් ලැබී ඇති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා. මේ අනුව ද පැහැදිලි වන්නේ, රොනල්ඩෝ විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 10ක් ලබා දී ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන්වල කිසිදු සත්‍යතාවක් තිබිය නොහැකි බවයි.  

ආපදාවලදී  මීට පෙර රොනල්ඩෝ මූල්‍ය පරිත්‍යාග සිදු කර තිබේ ද? 

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ලෝකයේ වෙනත් රටවලට බලපෑ බරපතළ ගනයේ අපදා හමුවේ ද පරිත්‍යාග සඳහා ඉදිරිපත් වූ බවට මීට පෙර ද මෙලෙස ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වීම සිදුව තිබුණා. 

2018 වසරේදී කේරලයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාව සඳහා ඉන්දීය රු. කෝටි 77 ක් පරිත්‍යාග කළ බවට එවක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සංසරණය වූ අතර එය ද කිසිදු මූලාශ්‍රයක් විසින් තහවුරු කර නොතිබූ අතර ඇතැමුන් පවසා තිබුණේ එය අසත්‍ය පුවතක් බවයි. තවත් පුවත් වාර්තාවක් මෙතැනින් 

මේ අතර 2015 වසරේ නේපාලයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඩොලර් මිලියන 8ක් පරිත්‍යාග කර ඇති බවට වාර්තා පළ වී තිබූ අතර පසුව Save the Children නිවේදනය කර තිබුණේ, ඔහු එලෙස ඩොලර් මිලියන 8ක් පරිත්‍යාග කර නොමැති බවයි. තවත් වාර්තාවක් මෙතැනින් 

2016 වසරේ  බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එක් පාපන්දු ක්‍රීඩකයෙකු හැර සියලු ක්‍රීඩකයින් ඇතුළු 70 අධික පිරිසක් මිය  ගිය අවස්ථාවේදී ද ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ යුරෝ මිලියන 3ක් පරිත්‍යාග කළ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවත් සංසරණය විය. පසුව ඒවා ද අසත්‍ය බව විදසේ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබිණ. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලිව පෙන්වා දිය හැක්කේ, සුප්‍රකට පාපාන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක ආධාරයක් ලබා දී ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් කිසිදු පදනමක් නැති අසත්‍ය සටහන් බවයි. 

Avatar

Title:සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *