දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කාලීන සිදුවීම් හා සම්බන්ධ අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රචාරණයන් සඳහා දේශපාලන චරිත යොදා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ එලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ගාල්ල මහනගර සභාවේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය වේදිකාවේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන්(Social Media Posts) :
නිලධාරිනියො වතුර කෑවෙ ඔවුන්ගේ වරදින් බවත් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ පරිදි කටයුතු කළේ නම්, එවැනි තත්ත්වයක් උදා නොවන බවටත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ප්‍රකාශයක් සිදු කර ඇති බව හඟවමින් මෙම ෆේස්බුක් සටහන පළ කර ඇත්තේ, අද දෙරණ ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමානවයි. ඇය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, කිනම් සිදුවීමකට අදාළව ද යන්න පැහැදිලිව එහි සඳහන් වී නොමැති අතර සටහන සඳහා යොදාගෙන ඇති එක් ඡායාරූපයක් පසුගිය දා ගාල්ල මහනගර සභාවේ ඇති වූ සිදුවීමකට අදාළ බැවින් මෙම ප්‍රකාශය ඊට අදාළව සිදු කර ඇති බවට හැඟී යයි.

සත්‍ය ලෙසම මන්ත්‍රීවරිය එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බව සිතමින් බොහෝ පිරිසක් අදහස් පළ කර තිබූ අතර තවත් පිරිසක් මෙම සටහන හුවමාරු කර ගෙන තිබුණු ද දැක ගත හැකිවුණා


මන්ත්‍රීවරිය ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බව කියමින් ෆේස්බුක් ඔස්සේ තවදුරටත් මෙම සටහන හුවමාරු වී තිබුණේ මේ අකාරයෙනි.



Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link
ඒ අනුව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය 30 වැනිදා පැවති ගාල්ල මහනගර සභාවේ විශේෂ මහා සභා රැස්වීම අතරතුර විපක්ෂ මන්ත්‍රීවරුන් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විරෝධය පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නාගරික ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩලයට ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණා. සජබ මන්ත්‍රී රෝහිණී කවිරත්න නිලධාරිනියො වතුර කෑවෙ ඔවුන්ගේ වරදින් බවට කියමින් ජල ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ඡායාරූපයක් ද සහිතව මෙම සටහන සංසරණය වන්නේ, එවැනි වටපිටාවක් තුළයි.
මෙම සිදුවීමට අදාළව මන්ත්‍රීවරිය සිදුකළ බව කියන ප්‍රකාශය අද දෙරණ පුවත් ආකෘතිය යටතේ සංසරණය වන බැවින් අප මූලිකවම අප අද දෙරණ ෆේස්බුක් පිටුව සටහන් පරීක්ෂා කිරීමට පියවර ගත්තා. පසුගිය 30 වැනිදා ගාල්ල මහනගර සභාවේ සිදුවීමට අදාළව එහි මෙලෙස සටහනක් පළ කර ඇති ආකාරය දැකගත හැකි වූ නමුත් ගාල්ල මහනගර සභාවේ නිලධාරීන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට අදාළව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට වන සටහනක් අද දෙරණ නිල ෆේස්බුක් පිටුවේ පළ කර නොමැත.
මන්ත්‍රීවරිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි, අප අනෙකුත් මාධ්‍ය වාර්තා ද ඔස්සේ ද පරීක්ෂාවට ලක් කළ නමුත් මන්ත්‍රීවරිය විසින් ගාල්ල මහනගර සභාවේ සිදුවීමට අදාළව කිසිදු ප්‍රකාශයක් සිදු කර ඇති බවට කිසිදු පිළිගත් මාධ්‍යයක් විසින් වාර්තා කර නොමැත.
පා.ම. මන්ත්‍රී රෝහිණී කවිරත්න
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධව කරුණු සහතික කර දැනගැනීම සඳහා අප පාර්ලිමේන්තු මන්‍ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. අප කළ විමසීමේදී මන්ත්‍රීවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවත් ගාල්ල මහනගර සභාවේ සිදුවීම සම්බන්ධයෙන් හෝ ඊට අදාළව තමන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ය.
මීට පෙරද තමන්ගේ නම භාවිත කරමින් මෙවැනිම අසත්‍ය සටහනක් පළ කර තිබූ බව සඳහන් කළ මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියේ, බොහෝ කාරණවලදී පාර්ලිමේන්තුවේ හඬ අවදි කරමින් ක්‍රියා කරන නිසා තමන් මෙවැනි මහජන නියෝජිතයින්ගේ නම් මෙවැනි අසත්‍ය සටහන් සඳහා යොදා ගන්නා බවයි. මෙවැනි අසත්‍ය දේ නිර්මාණය කරමින් ඇතැම් පාර්ශව මෙතරම් පහළට වැටීම ගැන කණගාටු වන බවත්, මෙවැනි දේ ජනප්‍රියත්වය සඳහා උපායමාර්ගයක් නොවන බව ත් කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, තමන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍යක් බවත් ඉන් රජයේ නොහැකියාව කියාපාන බවත් ය.

ගාල්ල මහ නගර සභාවේ සිදු වූයේ කුමක් ද?
පසුගිය 30 වැනිදා පැවති ගාල්ල මහනගර සභාවේ විශේෂ මහ සභා රැස්වීමේදී නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමෙන් පසු සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ ඊට පෙර දිනයකදී පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇති වූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් ක්‍රියා කළ ආකාරයට එරෙහිවයි.
නගරාධිපතිවරයා කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ලේකම් මණ්ඩලය සිටි ස්ථානයට ජල ප්‍රහාරයක් ද එල්ල කළ අතර පසුව නගරාධිපතිවරයා පැය භායකට සභාව කල් තැබුවා. පැය එක හමාරක පමණ කාලයකින් පසුව නගර සභාවේ කාරක සභා අවස්ථාව ආරම්භ වූ අතර ඉන් විනාඩි කිහිපයකට පසු විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව ගියා.
පසුව නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත විපක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනකු හා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සෑම අයෙකුම රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
ජාතික ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිට වූ ගාල්ල මහනගර සභාවේ අයවැය පළමුවර කියවීම පසුගිය 15 වැනිදා පරාජයට පත්වීමත් සමග පසුගිය 24 වැනිදා එය දෙවැනි වරටත් සභාවට ඉදිරිපත් කෙරුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 21ක් හිමිවූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 15ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 6කින් අයවැය සම්මත වුණා.
නමුත් මෙම අවස්ථාවේ දී නොසන්සුන් වූ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කළේ, අයවැයට විරුද්ධව ප්‍රකාශ කළ ඡන්ද කිහිපයක් පක්ෂව ප්‍රකාශ කළ ඡන්ද සේ සලකා ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර ඇති බවයි. පසුව විපක්ෂ මන්ත්‍රීවරයෙක් නගරාධිපති අසුනේ හිදුවා දෙවැනි වරටත් ඡන්ද විමසීමක් සිදු කළා. මෙම අවස්ථාවේ සභාවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවා තිබුණා. දෙවැනි වර ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ පාලක පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 19 දෙනා සභා ගර්භයෙන් පිටව ගොස් සිටි අතර එහි රැඳී සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනා පමණයි.
ගාල්ල මහ නගරසභාවේ සිදුවීම හා ඊට අදාළ තවත් පුවත් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, ගාල්ල මහනගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට ජල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට අදාළව සජබ මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
Title:“නිලධාරිනියො වතුර කෑවෙ ඔවුන්ගෙම වැරැද්දෙන්’’ මන්ත්‍රී රෝහිණීගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Sagarika ChathumaliResult: False


