දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
නිපා වෛරසය පිළිබඳ මේ දිනවල ප්‍රධාන වශයෙන් සමාජයේ අවධානය ලැබී ඇති මාතෘකාවක් වනවා. වෛරස් තත්ත්වයේ ඇති භයානකම මත බොහෝ අසත්‍ය තොරතුරු හුවමාරු වන අතර නිපා වෛරසය පිළිබඳ සැබෑ තතු පිළිබඳව ද, ඔබව දැනුවත් කරමින් Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
නීපා රෝගීන් ලංකාවේ වාර්තා වී ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

මේ අතර නිපා වෛරසය පිළිබඳ සමාජය අවධානයෙන් පසුවන මොහොතක නිපා වෛරස් ආසාදිතයින් හමුවී ඇති බවට හඟවමින් ඩෙංගු රෝගීන් වාර්තා වීම පිළිබඳ ලිපියේ ඇතුළත පමණක් සඳහන් කරමින් සමාජය නොමග යැවීමට ඇතැම් මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද, කටයුතු කර තිබුණේ මෙලෙසින්.
|
|
|
|
මේ සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී යන්නේ මෙම පුවත නිපා වෛරසය සම්බන්ධයෙන් පළ කර ඇති බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

මෙහි සත්‍ය තොරතුරු සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්‍රී ලංකාවට නිපා වෛරස් අවදානමක් පවතිනවාද?
වසංගත රෝග විද්‍යා අංශය
අප මේ පිළිබඳව තහවුරු වූ නිල තොරතුරු ලබා ගැනීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගෙන් අප විමසීමක් කරනු ලැබුවා.
ඒ මහතා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානම් තක්සේරුව මෙවලමක් ඇති බව ත්, ඉන් පවසන්නේ, නිපා වෛරසය පැතිරීමේ අවදානම සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ඉතාම අවම මට්ටමක බවයි. එය අවදානමක් නොමැති තරම් මට්ටමක බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේ. ගෝලීය පැතිරීමක් ලෙස සඳහන් කළත්, ඉන්දියාවේ පමණක් දැනට ආසාදිතයින් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වී ඇති අතර එය පාලනය වී ඇති බවත් සඳහන් කළා. කෙසේ වෙතත් ලංකාවේ නිපා වෛරස් මෙතෙක් ආසාදිතයින් හමුවී නොවී අති බව ත්, නිපා රෝගියෙකු වාර්තා වී ද, නොමැති බවත් මේ පිළිබඳ ක්ෂණික තර්ජනයක් නොමැති නිසා අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ත් පවසා සිටියා. නිපා වෛරසය ආසාදිතයෙක් හමුවුවහොත් ප්‍රතිකාර කිරීමේ හැකියාව මෙරට සෞඛ්‍ය අංශයට පවතින අතර ඩිජිටල් වේදිකාවක් හරහාද, ආසාදිතයන් ඇත්ද යන්න සමීපව නිරීක්ෂණය කිරීමේ හැකියාවද, පවතින බැවින් බිය නොවිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතාගෙන් ද අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේද, නිපා වෛරස් ආසාදිතයින් හමු නොවී ඇති බවත්, මෙරට වෛද්‍ය පර්යේෂණ ආයතනය අධ්‍යක්ෂවරයා ද පැවසුවේ කිසිදු රෝග විනිශ්චයක් හෝ සිදු නොවී ඇති බවට යන්න වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා තහවුරු කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශය
නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව කිසි විටෙක නිපා ආසාදිත තත්ත්වයක් වාර්තා කර නොමැති බවත්, සැක සහිත රෝගීන් හඳුනා ගැනීමට සුපරීක්ෂාකාරීව සහ සූදානමින් සිටින බවත්ය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාව තුළ නිපා රෝගීන් නොමැති බව තහවුරු කළ අතර, රෝගය පිළිබඳව අනවශ්‍ය ලෙස බිය නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධ මාධ්‍ය වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.
මීට පෙර 2023 වසරේදී නිපා වෛරසයේ මොළයේ රුධිර වහනය සහ ඉදිමීම වැනි සමාන රෝග ලක්ෂණ ඇති දරුවන් දෙදෙනෙකු රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔවුන්ට නිපා රෝගී තත්ත්වය ආසාදිත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා.
එම දරුවන් දෙදෙනා දැඩි ලෙස රෝගාතුරව සිටියද නිපා වැළඳී ඇති බවට තහවුරු කිරීමට නොහැකි බවයි එවකට රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අප කළ විමසීමේදී සඳහන් කළේ. එම කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.
නිපා වෛරසය යනු කුමක්ද?
නිපා වෛරසයේ ඉතිහාසය
නිපා වෛරසය (NiV) යනු zoonotic Virus එනම්, සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වෛරසයක් වේ. වෛරසය පැතිරීම 1998-1999 මැලේසියාවේ, Sungai නිපා ගම්මානයෙන් ආරම්භ වී තිබූ අතර ඌරු ගොවිපොළක ඌරු ගොවීන් සහ ඌරන් සමඟ වැඩ කළ අනෙකුත් අය අතර ස්නායු හා ශ්වසන රෝග ලක්ෂණ සහිත දරුණු රෝගයක් ඇති වී තිබුණා. මුලදී, වෛද්‍යවරුන් සැකකර තිබුණේ, එය ජපන් එන්සෙෆලයිටිස් බවයි, නමුත් පසුව පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නව වෛරසයක් ලෙස හඳුනා ගත් අතර එම ගම්මානයේ නාමය මෙම වෛරසය නම සඳහා භාවිත කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මෙම වසංගතය ප්‍රධාන වශයෙන් පැතිර ගියේ Pteropus විශේෂයේ පළතුරු අනුබව කරන වවුලන්ගෙන් (ස්වාභාවික ධාරක) ආසාදනය වූ ඌරන් හරහා ය.
1998-1999 දී වකවාණුවේදී මැලේසියාවේ මිනිස් රෝගීන් 265 ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 100 කට වඩා වැඩි විය. සිංගප්පූරුවේ, 11 දෙනෙකුට ආසාදනය වී ඇති අතර, බොහෝ විට මැලේසියාවේ සිට ඌරන්ට නිරාවරණය වූ ඝාතකාගාර සේවකයින්ගෙන් බව අනුමාන කෙරේ. එක් මරණයක් ද එවකට වාර්තා වී තිබේ. පැතිරීම පාලනය කිරීම සඳහා මැලේසියාවේ ඌරන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මරා දමා ඇති බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරන්නේ, පැතිරීම සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය අනුව මරණ අනුපාතය 40% සහ 75% අතර පරාසයක පවතින බවයි. දැනට, නිපා වෛරසය සඳහා අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් නොමැත, එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අඛණ්ඩ නිරීක්ෂණ සහ පර්යේෂණ අවශ්‍ය වන ප්‍රමුඛතා රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කරයි.
නිපා වෛරසය පැතිරෙන්නේ කෙසේද?
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, නිපා වෛරසය ප්‍රධාන වශයෙන් ආසාදිත සතුන් හෝ මිනිසුන් සමඟ සමීප සම්බන්ධතා හරහා පැතිරෙයි. වවුලන් විසින් අර්ධ වශයෙන් අනුභව කරන ලද පළතුරු හෝ අමු රට ඉඳි යුෂ වැනි වවුලන්ගේ ඛේටය හෝ මුත්‍රාවලින් අපවිත්‍ර වූ ආහාර හරහා පළතුරු වවුලන්ගෙන් මිනිසුන්ට වෛරසය සම්ප්‍රේෂණය විය හැක. ඌරන් වැනි ආසාදිත සතුන් සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් මිනිසුන්ට ද ආසාදනය විය හැකිය. විශේෂයෙන් ආසාදිත රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පවුලේ සාමාජිකයන් සහ සෞඛ්‍ය සේවකයින් අතර මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය සිදුවී ඇත. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) තහවුරු කරන්නේ නිපා වෛරසය COVID-19 හෝ ඉන්ෆ්ලුවෙන්සා වැනි වාතය හරහා පහසුවෙන් පැතිරෙන බවට මෙතෙක් සාක්ෂි නොමැති බවයි.
නිපා වෛරස් රෝග ලක්ෂණ
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අනුව, නිපා වෛරස් ආසාදනය මෘදු සිට දරුණු දක්වා පුළුල් පරාසයක රෝග ලක්ෂණ ඇති කළ හැකි අතර ඉන් ශ්වසන පද්ධතියට සහ මොළයට බලපෑම් කළ හැකිය:
සාමාන්‍යයෙන් නිපා වෛරසයට නිරාවරණය වී දින 4-14 කට පසුව රෝග ලක්ෂණ දිස්වන අතර සාමාන්‍ය වෛරස් ආසාදනවලට සමාන විය හැකි අතර, කලින් හඳුනාගැනීම අපහසු වේ.
පොදු මුල් රෝග ලක්ෂණ අතර, උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය, උගුරේ අමාරුව, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතාව දැක ගන්නට ලැබේ.
වඩාත් දරුණු අවස්ථාවල දී, ආසාදනය මොළයට හා ස්නායු පද්ධතියට පැතිර යා හැකි අතර, උග්‍ර එන්සෙෆලයිටිස් (මොළයේ දැවිල්ල) ඇති කරයි. මේ හේතුවෙන් කරකැවිල්ල සහ නිදිමත, ව්‍යාකූලත්වය හෝ සිහිමද ගතිය, කෝමා (බොහෝ විට දරුණු ප්‍රගතියකින් පැය 24-48 තුළ) දැක ගැනීමට හැකි වේ.
ඇතැම්, ආසාදිත පුද්ගලයින්ට නියුමෝනියාව හෝ උග්‍ර ශ්වසන අපහසුතා ඇති වේ. එමගින්, දැඩි හුස්ම ගැනීමේ අපහසුතාව, අසාමාන්‍ය නියුමෝනියාව ඇතුළත් වේ.
මේ අතර දරුණු නිපා වයිරස් ආසාදනයෙන් සුවය ලබන පුද්ගලයින්ට නොනැසී පවතින වලිප්පුව හෝ පෞරුෂ වෙනස්කම් වැනි දිගු කාලීන ස්නායු ආබාධ ඇති විය හැක.
මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ලිපි මෙතනින් සහ මෙතනින්.
නිපා වෛරසයේ වත්මන් ගෝලීය තත්ත්වය
මේ දිනවල, නිපා වෛරසය පැතිරීමේ අවදානමක් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වාර්තා වී ඇත. මෑතකදී, ඉන්දියාව බටහිර බෙංගාලයේ නිපා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු හමු වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.
ඉන්දියාවේ වෛරස් තත්ත්වය පාලනය වී ඇති අතර ආසාදිතයන්ගේ සමීප සම්බන්ධතා 196 ක් සඳහා කළ පරීක්ෂණ වලදී එම ප්‍රතිඵග සෘණාත්මක බවට එනම්, වෛරස සමීපතයින්ටම ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. එමෙන් ම ඉන්දියාවේ මෑතක හමුවූ ආසාදිතයන් අතර මරණයක් වූ බව තහවුරු කර නොමැත. වාර්තා කරන ලද සියලුම සමීප සම්බන්ධතා සෘණාත්මක වූ අතර සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ, ආසාදිතයින් සම්බන්ධතා පැවැත්වූ පිරිස් සොයා ගැනීම සහ අධීක්ෂණය තුළින් මෙය පැතිරීම පාලනය කර ඇති බවයි.
මෙම වාර්තාවලින් පසුව, පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස ආසියානු රටවල් කිහිපයක් ගුවන් තොටුපල සෞඛ්‍ය පරීක්ෂාවන් හඳුන්වා දෙන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර සිටින්නේ, නිපා වෛරසයට සම්බන්ධ ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් හෝ වසංගතයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, වත්මන් සිද්ධීන් ජාත්‍යන්තර වශයෙන් මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ අවදානම් තත්ත්වයක් පෙන්නුම් නොකරන බවයි.
මෙමගින් මෑතකාලීන මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නැතත් මීට පෙර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර ගිය නිපා වසංගත වලදී මරණ සිදු වී තිබේ. 2024 දී 14 හැවිරිදි පිරිමි ළමයෙක් නිපා වෛරස් ආසාදනයකින් මිය ගොස් තිබුණි. මීට පෙර, නිපා පැතිරීම බංග්ලාදේශය, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල මරණ ඇතුළත් වී ඇත්තේ වෛරසය දරුණු එන්සෙෆලයිටිස් සහ ශ්වසන අපහසුතාවයට හේතු වී ඇති බවට වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිපා වෛරසය අධි අවදානම් ලෙස වර්ග කරන්නේ ඇයි?
ලෝක සෞඛ්‍ය සංවිධානය නිපා වෛරසය ප්‍රමුඛතා රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කරන්නේ එය 40% සිට 75% දක්වා ඉහළ මරණ අනුපාතයක් ඇති නිසා සහ බලපත්‍රලාභී එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් නොමැති නිසා වෙනි. වෛරසය මොළයේ දැවිල්ල සහ ශ්වසන අපහසුතාව ඇතුළු දරුණු රෝග ඇති කළ හැකි අතර කලින් හඳුනාගැනීම අසාර්ථක වුවහොත් එය වේගවත්ව සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ ප්‍රධාන අවදානම පවතින්නේ ප්‍රමාද වූ රෝග විනිශ්චය සහ ආසාදන පාලනය තුළ මිස වේගවත් ගෝලීය ව්‍යාප්තියක නොවන බවයි. එබැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක තහනම් කිරීම් හෝ විශාල සීමා කිරීම්වලට වඩා මේ පිළිබඳ ඇති නිරීක්ෂණ, පූර්ව ප්‍රතිචාර සහ මහජන දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නිපා වෛරසය ලංකාවේ පැතිරෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. ඒ බවට වසංගත රෝග විද්‍යා අංශය මෙන් ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ද, තහවුරු කරයි.
Title:මෙරට ‘නිපා’ වෛරස් ආසාදිතයන් හමුවූ බවට අසත්‍ය සටහනක්! ‘නිපා’ ගැන ඇත්ත දැනගන්න කියවන්න!
Fact Check By: Pavithra SandamaliResult: False


