Cow & Gate ළදරු කිරිපිටි බෙදා හැර ඇති සියලු රටවලින් නැවත කැඳවලාද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

නෙස්ලේ ළදරු කිරිපිටි වර්ගවල විෂ ද්‍රව්‍ය අඩංගු වී ඇති බැවින් ගෝලීය වශයෙන් නැවත කැඳවීම් 2026 වසරේ මුල් භාගයේදී සිදු කළ අතර ඊට දින කිහිපයක මත්තෙන් ඩැනෝන් සමාගමට අයත් තව ත් ළදරු කිරිපිටි සන්නාමයක් වන Aptamil සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා. මේ අතර Cow & Gateසහ Nutrilon ගෝලීය කැඳවීමක් කර ඇති බවට දක්වමින් සටහන් හුවමාරු වී තිබූ අතර මේ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

එක්සත් රාජධානියේ නිෂ්පාදිත ළදරු පිටි වන Cow & Gate, Nutrilon නිෂ්පාදන සියල්ල නැවත කැඳවා ඇති බව ත්, එහි විෂ සහිත අහිතකර ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බවට දක්වමින් සටහනක් පළ වී තිබුණා. එමෙන් ම මිලදී ගෙන ඇති Cow & Gate, Nutrilon ළදරු කිරපිටි නැවත මිලදී ගත් ස්ථානයට ලබා දී මුදල් ලබා ගන්නා ලෙස Danone ආයතනය සඳහන් කර ඇති බවට ත් දක්වමින් සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

දෙමාපියනි, Baby Formula ළදරුවන්ට ලබා දෙනවා නම් ප්‍රවේසම් වන්න!

UK වල තියෙන හොදම සහ මිල වැඩිම Baby Formula එක විදිහට ගණන් ගැනෙන්නේ Danone Company එකෙන් නිෂ්පාදන කරන Cow & Gate, Nutrilion වගේ නිෂ්පාදනයි. ඒ නිෂ්පාදන සියල්ල company එකෙන් recall කරලා කියලා ලඟදී announces කරා. ඒකේ ළදරුවන්ට විශ සහ අහිතකර දේ අඩංගු වෙලා තියනවා කියලා. දෙමව්පියන්ට කියලා තිබුනා ගත්ත තැනටම ගෙනිහින් දීලා refund ගන්න කියලා.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ ආකාරයෙන්.

මෙහි සත්‍ය තොරතුරු පිළිබඳව තොරතුරු සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) : 

Cow & Gate යනු බ්‍රිතාන්‍ය ළදරු කිරිපිටි සහ ළදරු පෝෂණ නිෂ්පාදන සන්නාමයක් වන අතර එය මේ වන විට ප්‍රංශ බහුජාතික සමාගමක් වන ඩැනෝන් සතු වනවා.

අද වන විට, Cow & Gate ක්‍රියාත්මක වන්නේ Aptamil සහ Nutrilon වැනි අනෙකුත් ළදරු පෝෂණ සන්නාම සමඟින්වේ.

Cow & Gate ළදරු කිරිපිටි නිෂ්පාදන සියල්ල යළි කැඳවා ඇති බවට ජාත්‍යන්තර ධාරා වාර්තා කිරීමක් හෝ ඩැනෝන් ආයතනය විසින් ප්‍රකාශයක් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

නමුත්, අයර්ලන්තයේ නිෂ්පාදිත Aptamil ළදරු කිරිපිටිවල ආහාර විෂ වීමට හේතු වන විෂ ද්‍රව්‍යයක් එනම් සෙරියුලයිඩ් විෂ සහිත ARA තෙල් (arachidonic acid)  අඩංගු බවට පවසා සිටියදී ත්, එම සහතික කිරීම් නොතකා අයර්ලන්තයේ ද  එම කිරිපිටි අලෙවි කරන ලද බව අයර්ලන්ත ආහාර සුරක්ෂිතතා අධිකාරිය (FSAI) පවසා ඇති බවට අයර්ලන්ත මාධ්‍ය වාර්තා කරනු ලබනවා.

මේ හේතුවෙන් එම ළදරු කිරිපිට නැවත කැඳවා ඇති අතර මෙලෙස කැඳවා ඇති නිෂ්පාදන සහ කාණ්ඩය ඩැනෝන් ආයතනයේ Aptamil උපතේ සිට ලබා දිය හැකි ළදරු කිරිපිටි කිරි ග්‍රෑම් 800 ටබ් වන අතර එහි කල් ඉකුත් වීමේ දිනය 2026-10-31 ලෙස ලැයිස්තුගත කර තිබේ. සෙරියුලයිඩ් විෂ සහිත ප්‍රශ්නය උද්ගතවූ ළදරු පිටි කාණ්ඩය විකුණා ඇත්තේ 2025 වසරේ මැයි – ජූලි යන මාස අතරදී බව එම ආයතනය පෙන්වා දෙනු ලබනවා.

ඩැනෝන් නිෂ්පාදන ආරක්ෂිත බවත් අදාළ සියලුම ආරක්ෂක රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවත් තහවුරු කරන බව ඔවුන් පවසනවා. ඇතැම් දේශීය ආහාර සුරක්ෂිතතා බලධාරීන් ඔවුන්ගේ මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව ත්, එම සන්දර්භය තුළ, වගකිවයුතු නිෂ්පාදකයෙකු ලෙස සහ නවතම මාර්ගෝපදේශයට අනුකූල වීම සඳහ‍ා ආහාර ආරක්ෂාව සම්බන්ධ පවත්නා තත්ත්වය හේතු කොටගෙන, නියමිත ආරක්ෂක උපදෙස් වල වෙනස්කම් යටතේ, Danone පුද්ගලික සමාගම ළදරු කිරිපිටි සීමිත කාණ්ඩයක නිෂ්පාදන කිහිපයක් වෙළඳ ප්‍රදේශවලින් අනාරක්ෂිත භාණ්ඩ ලෙස ඉවත් කිරීමට තීරණය කළ බවට ඔවුන් පවසනවා. මෙය සම්පූර්ණ බෙදා හරින ලද කිරිපිටි ඉවත් කිරීමක් නොවන බවත් සඳහන් කර තිබුණේ මෙලෙසින්..

බහුජාතික ආහාර නිෂ්පාදන සමාගමක් වන මෙම ආයතනය අයර්ලන්තයේ Wexford සහ Cork පළාතේ Macroom හි පිහිටි කර්මාන්තශාලාවලදී Aptamil, Nutrilon සහ Cow & Gate යන වෙළඳ නාමයන් යටතේ ළදරු කිරි පිටි නිෂ්පාදනය කර තිබේ.

ළදරු කිරිපිටි අයර්ලන්තයේ නිෂ්පාදනය කරන ලද නමුත්, බලපෑමට ලක් වූ කාණ්ඩය එක්සත් රාජධානියේ වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කරන ලද අතර මෙම කාණ්ඩය Boots.ie වෙබ් අඩවිය හරහා එක්සත් රාජධානියේ සිට අයර්ලන්ත පාරිභෝගිකයින් මාර්ගගත මිලදී ගැනීම් හරහා අයර්ලන්තයට වක්‍රව බෙදා හරින ලද බව අයර්ලන්ත ආහාර ආරක්ෂණ අධිකාරිය (FSAI) සිය ආපසු කැඳවීමේ නිවේදනයේ සඳහන් කර ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අයර්ලන්ත ආහාර සුරක්ෂිතතා අධිකාරිය පැවසුවේ ආපසු කැඳවීමට සම්බන්ධ නිෂ්පාදන අයර්ලන්තයේ සිට යුරෝපීය සංගමයේ, එක්සත් රාජධානියේ ඇතුළු වෙනත් රටවලට අපනයනය කර ඇති බවයි.

ජර්මනියේ Aptamil ළරු කිරිපිටි අවම වශයෙන් කාණ්ඩ තුනක් ආපසු කැඳවා ඇති බව ත්, බලපෑමට ලක් වූ කාණ්ඩය 2025 මැයි සහ ජූලි අතර විකුණන ලද අතර කල් ඉකුත්වන දිනය, කාණ්ඩය සහ වේලාව ඇසුරුමේ පහළ පිටුපස සොයාගත හැකි බව ත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.

නමුත් නැවත කැඳවීම අදාළ වන්නේ බලධාරීන් විසින් හඳුනාගත් නිශ්චිත කාණ්ඩ සඳහා පමණ් වන අතර ගෝලීය වශයෙන් සියලුම Aptamil නිෂ්පාදන නොවේ.

එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය (FSA) නැවත කැඳවීමේ නිවේදනයක් පළ කරමින් සඳහන් වන්නේ Aptamil First Infant Formula 800 g (batch exp 31-10-2026) හි බලපෑමට ලක් වූ කාණ්ඩය මිලදී ගත් පාරිභෝගිකයින්  එය භාවිතා කිරීම නැවැත්විය යුතු බවයි. එමෙන් ම සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් සඳහා රිසිට්පතක් සහිතව හෝ රහිතව ඔවුන් එය මිලදී ගත් වෙළඳසැලට එය නැවත භාරදිය යුතු බවයි.

ඒ පිළිබඳව දැන්වීම් පළ කර තිබුණේ මෙලෙසින්.

boots.ie | archive

my.morrisons.com

ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය

ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියෙන් ද, අප විමසීමක් කරනු ලැබුවේ, වෙළඳ පොළේ ඉහත සඳහන් කාණ්ඩ යටතේ ළදරු පිටි මිලදී ගැනීමක් කළ බවට හෝ ඉන් දරුවන්ට බලපෑම්සිදු වී ඇති බවට හෝ පැමිණිලි වාර්තා වී ඇත් ද, යන්නයි. එම අධිකාරියේ මාධ්‍ය අංශය සඳහන් කළේ, එවැනි පැමිණිලි ලැබී නොමැති බවයි. එම ආයතන හරහා සිදු කරන කැඳවීම් සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන අතර එම නිෂ්පාදන නැවත කැඳවීම් කරනු ලබන්නේ ඔවුන්ගේ ජාල හරහා බව ත් සඳහන් කළා. 

ශ්‍රී ලංකාවේ Cow & Gate නිෂ්පාදන නිල ආනයනකරු

ශ්‍රී ලංකාවේ Cow & Gate නිෂ්පාදන නිල ආනයනකරු සහ බෙදාහරින්නා ලෙස කටයුතු කරන Darley Butler & Co., Ltd ආයතනයෙන් අප විමසීමක් කරනු ලැබුවා.  ඔවුන් සඳහන් කළේ, Cow & Gate නිෂ්පාදන ඉන්දුනීසියාවෙන් මෙරටට ආනයනය කරන බව ත්, ලේබල් මාරු කිරීමක් මත ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය ජූලි මාසෙන් පසු නවතා දැමූ අතර නැවන නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවේ, පසුගිය සැප්තැම්බර් මස දී බව ත්, නැවත කැඳවා ඇති කාණ්ඩය මෙරටට ආනයනය කර නොමැති බව ත්, සඳහන් කළා. එලෙස කැඳවා ඇත්තේ අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ බෙදා හැර ඇති නිෂ්පාදන පමණක් බව ත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් අප Danone පුද්ගලික සමාගමෙන්ද, විද්‍යුත් ලිපයක් යොමු කොට මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා විමසීමක් කළ අතර ඔවුන්ගෙන් පිළිතුරක් ලද විගස මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

Nestle, Aptamil සහ Lactalis  ළදරු කිරිපිටි සඳහා හේතු වූ සෙරියුලයිඩ් විෂ ද්‍රව්‍ය

ආපසු කැඳවීමේ තත්ත්වයට ඩැනෝන්ගේ නිෂ්පාදන පමණක් නොව, ළදරු කිරිපිටි වෙළඳ නාම කිහිපයක්ම සම්බන්ධ විය. 2026 මුල් භාගයේදී පසුගිය ජනවාරි 6 වන දින යුරෝපීය රටවලින් නෙස්ලේ ළදරු කිරිපිටි ආපසු කැඳවීමකට සම්බන්ධ වී තිබුණේ ද, Lactalis ළදරු කිරිපිටි නැවත කැඳවීමටකට ලක් කර තිබුණේ ද, අමුද්‍රව්‍යයක් වන ARA තෙල් දූෂිත වීම හේතුවෙනි. මව්කිරි වල අඩංගු වැදගත් වර්ධන ගුණාංග කිහිපයක් ලබා දීම සඳහා ළදරු කිරිපිටි වලට මෙම තෙල් එකතු කරනු ලැබේ.

මෙම සන්නාමයන් යටතේ නිෂ්පාදනය කරන ලද ළදරු කිරිපිටි සමඟ දූෂිත වී කිරිපිටි වලට අමුද්‍රව්‍යයක් ලෙස එකතු වී තිබූ, ළදරු කිරිපිටි වල තීරණාත්මක අමුද්‍රව්‍යයක් වන ARA තෙල් තනි චීන සැපයුම්කරුවෙකුගෙන් ලබා ගෙන ඇති බව ත්, ඔහුගෙන් ලබා ගත් ARA තෙල්වල මෙම දූෂණය සිදුවී ඇති බව ත් FSA විසින් සොයාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සෙරියුලයිඩ් යනු බැසිලස් සීරියස් නම් බැක්ටීරියාවේ ඇතැම් වික්‍රියා මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක් වන අතර එය ආහාර විෂ වීමට හේතු විය හැකි බව FSAI පවසා තිබුණේ මෙලෙසින්.

Aptamil ප්‍රශ්නය උද්ගත වූ කාණ්ඩයේ, ළදරු කිරිපිටි භාවිත කිරීම මගින් ළදරුවන්ට ආසාදනයක් හෝ රෝගී තත්ත්වයක් ඇති වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් සෙරියුලයිඩ් ආහාර විෂවීමේ රෝග ලක්ෂණ අතර වමනය, බඩේ කැක්කුම ඇති විය හැකි අතර  ආහාර ප්‍රමිති ඒජනසිය පවසන්නේ,  (FSA)  ආහාර පිසීමෙන් හෝ උතුරන වතුර භාවිතයෙන් හෝ ළඳරු කිරිපිටි සෑදීමේදී එය අක්‍රිය කිරීමට හෝ විනාශ කිරීමට අපහසු බවයි‍.  නෙස්ලේ සමාගම ප්‍රශ්න ගත ළදරු කිරිපිටි නිෂ්පාදන හමුවූ අවස්ථාවේ ඒ සම්බන්ධව උපදෙස් සහිත සම්පූර්ණ  නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්

එකම විෂ ද්‍රව්‍යයක් තිබීමේ හැකියාව නිසා පූර්වාරක්ෂාවක් ලෙස නෙස්ලේ එහි SMA ළදරු කිරිපිටි කාණ්ඩ කිහිපයක් ආපසු ගෝලීය වශයෙන් කැඳවා තිබුණා.

මේ සම්බන්ධයෙන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු වී තිබූ අතර එම වකවාණුවේදී ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

ප්‍රශ්නගත නෙස්ලේ ළඳරු කිරිපිටි නැවත කැඳවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් අයිති ද?  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එක්සත් රාජධානියේ නිෂ්පාදිත ළදරු පිටි වන Cow & Gate, Nutrilion නිෂ්පාදන සියල්ල නැවත කැඳවා ඇති බව ත්, එහි විෂ සහිත අහිතකර ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බවට පළවන සටහන් නොමග යන සුළු බවයි. ප්‍රශ්න ගත Aptamil First Infant Formula 800g වර්ගයේ කල් ඉකුත් වීමේ දිනය 31-10-2026 යට යෙදී ඇති කාණ්ඩය ව අතර  2025 වසරේ මැයි සිට අගෝස්තු යන කාල සීමාව තුළ එක්සත් රාජධානියේ, අයලර්ලන්තය, ජර්මනිය වැනි යුරෝපා රටවල් කිහිපයක විකුණා තිබේ. කෙසේ වෙතත් මෙම නැවත කැඳවීම අදාළ කාණ්ඩයේ පමණක් බව එන්ගලන්තයේ ආරක්ෂිත සුරක්ෂිතතා ආයතන තහවුරු කරයි. මෙරටට මෙම ප්‍රශ්න ගත කාණ්ඩය ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකාවේ Cow & Gate නිෂ්පාදන නිල ආනයනකරු සහ බෙදාහරින්නා ලෙස කටයුතු කරන Darley Butler & Co., Ltd ආයතනය ද, මෙරට පාරිභෝගික අධිකාරිය ද, තහවුරු කරයි.

Avatar

Title:Cow & Gate ළදරු කිරිපිටි බෙදා හැර ඇති සියලු රටවලින් නැවත කැඳවලාද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *