සූර්ය විදුලියනිපදවන පාරිභෝගියන්ට අත්වූ ඉරණම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හේතුවෙන් සූර්ය විදුලිය නිපදවන ගනුදෙනුකරුවෝ දැනටමත් මුහුණ පා ඇති  තත්ත්වයන් බවට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“සති අග, රජයේ නිවාඩු දිනයන්හිදී විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී නොගැනීමත්, විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මිල අඩු කිරීමත් යන හේතු නිසා සූර්ය බලාගාර හා කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් විශාල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය ඉදිරියේදී බරපතල අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන් සඳහා පාදක වී තිබුණේ, Sri Lanka Mirror වෙබ් අඩිවයේ පළ වූ ලිපියක් බව එම සටහන් වල දක්වා තිබුණා. එම ලිපිය මෙතනින්.

සූර්ය විදුලිය නිපදවන ගනුදෙනුකරුවන් මෙම සටහන් වල පෙන්වා දෙන පරිදි අර්බුදයකට ලක්ව ඇත්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

සූර්ය බලශක්ති පාරිභෝගිකයින් මුහුණ පා ඇති තත්ත්වයක් ලෙස සමාජ මාධ්‍ය වාර්තා වල පෙන්වා දී ඇති තත්ත්වය ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළ ත්, එවැනි පුවත් වාර්තා වී ඇති බව දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම නිවෙස්වල සූර්ය පැනල භාවිත කරන පාරිභෝගිකයන් විසින් හෝ විරෝධතාවක් දක්වා ඇත් ද යන්න පිළිබඳ පුවත් වාර්තා දැක ගන්නට නොලැබුණු බැවින් මෙවැනි සටහන් නිර්මාණය වීමට හේතුව කුමක්ද යන්න පරීක්ෂා කිරීමේදී විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් පසුගිය ජනවාරි මස 01 වන දා පැවැත්වූ මාධ්‍ය හමුවක් වෙත අපගේ අවධානය යොමු විය.

මෙම මාධ්‍ය හමුවේදී, ඉදිරියේදී සූර්ය බලශක්තිය ලබාගෙන විදුලිය නිපදවන නිවාස හා ආයතන සඳහා අසාධාරණයක් සිදුවිය හැකි බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ලබන ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බැවින් ජාතික විදුලිබල ප්‍රතිපත්තියට අනුව කාල පාදක (Time Of Used)) ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බවයි. 

මේ වන විට ඒකකයට අය කරන මුදල වන 45.80ක මුදල එම සැලැස්මට අනුව රාත්‍රී 6.30 – 10.30 අතර ඒකකයකට රු. 67 රාත්‍රී 10.30 – අලුයම දක්වා ඒකකයකට රු. 21 අය කිරීමට නියමිත බව ත්, මෙය ක්‍රියාත්මක වුවහොත් දහවල් කාලයේදී නිපදවන සූර්ය බල ඒකක සඳහා පමණක් ගෙවීම් සිදු කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බැවින්, සූර්ය පැනල මගින් නිපදවන විදුලිය මුදලක් අය කර නොගෙන විදුලි බල මණ්ඩලයට නොමිලේ ලබා දීමට සිදු වන බවට චෝදනා කරනවා. 

ඒ අනුව බැංකු ලෝන් ලබා ගෙන සූර්ය පැනල ස්ථාපිත කර ඇති අයට විදුලි බල මණ්ඩලයෙන් අදාළ ගනුදෙනුකරුවන්ට සූර්ය විදුලි උත්පාදනය කරනවාට ලබා දෙන මුදල් අඩු වීම මගින් ණය ගෙවා ගැනීමට නොහැකිව බැංකු පද්ධති ද, අඩාල වන බවට ප්‍රකාශ කරනු ලබන්නේ එම සංගමය බව දැක ගන්නට ලැබේ.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී ද ඔවුන් අදහස් දක්වන්නේ, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් සූර්ය විදුලි පාරිභෝගික- නිෂ්පාදකයින්ට අත්විය හැකි ඉරණම පිළිබඳ හා ඊට සමගාමීව බැංකු පද්ධති අඩාල වන බවට  උපකල්පනයක් පමණකි. 

ශ්‍රී ලංකා ජාතික විදුලිබල ප්‍රතිපත්තිය

බලශක්ති අමාත්‍යාංශය මගින් සකස් කර ඇති කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර 2025/2026 වසර සඳහා වන ශ්‍රී ලංකා ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ මේ සම්බන්ධයෙන් සඳහන් වන්නේ කෙලෙසද යන්න පිළිබඳ අප පරීක්ෂා කරනු ලැබුවා. (පිටු 15,16)

මෙම ප්‍රතිපත්තිය අනුව, සූර්ය විදුලි පාරිභෝගික- නිෂ්පාදකයින් (Prosumers) සඳහා “block tariffs” (පියවර අනුව වැඩිවන ගාස්තු ක්‍රමය) භාවිතයෙන් ඉවත්ව යාම පැහැදිලි කර තිබේ.

දැනට සූර්ය විදුලිය නිපදවන සියලුම සූර්ය විදුලි පාරිභෝගික- නිෂ්පාදකයින් හට කාල පාදක  (TOU) ගාස්තු ක්‍රමයට මාරු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය 2026 ජූනි මාසයට පෙර අවසන් කිරීමට නියමිතය. එයට මාරු වූ පසු, block tariffs ඔවුන්ට අදාළ නොවේ.

2026 ජනවාරි 1 දිනෙන් පසු ලෙස Net Metering හෝ Net Accounting ගිවිසුමකට අත්සන් කරන සූර්ය විදුලි පාරිභෝගික- නිෂ්පාදකයින් සෘජුවම TOU ගාස්තු ක්‍රමයට යටත් වේ.‍

මෙම නව ගිවිසුම් සඳහා, ජාලයට (grid) අපනයනය කරන විදුලිය හා ජාලයෙන් ආනයනය කරන විදුලිය අතර ගණනය කිරීම (reconciliation) සෑම විශේෂිත කාල පරාසයක් (උදා: peak, off-peak, day) අනුව වෙන වෙනම සිදු කරනු ඇත. එය එකම ස්ථාවර ගාස්තුවක් මත ගණනය නොවේ.

එමෙන් ම, මෙම ප්‍රතිපත්තිය TOU කාල පරාස බැටරි ශක්ති ගබඩා පද්ධති (BESS) සහ වහල මත ස්ථාපිත සූර්ය පද්ධති සමඟ සම්බන්ධ කරයි.

වහල මත සූර්ය පද්ධතිය ප්‍රධාන ශක්ති මූලාශ්‍රය ලෙස භාවිතා කර බැටරි ආරෝපණය කරන සූර්ය විදුලි පාරිභෝගික – නිෂ්පාදකයින් සඳහා විශේෂ feed-in ගාස්තුවක් පවතී.

ජාලයෙන් හෝ ජාලය සහ සූර්ය ශක්තිය එකට භාවිතා කර බැටරි ආරෝපණය කර, peak කාලයේදී නැවත විකිණීම සීමා කර ඇත. කෙසේවෙතත්, සියලුම ගනුදෙනුකරුවන් සඳහා ස්ථාවර හා ශක්ති ගාස්තු TOU කාල පරාසවල “supply cost” සමඟ සම්පූර්ණයෙන් ගැලපෙන විට, මෙම සීමාව සමාලෝචනය කිරීමට ඉඩ ඇත.

සියලුම low-voltage ගනුදෙනුකරුවන් (නිවාසීය සූර්ය භාවිතාකරුවන් ඇතුළුව) TOU ගාස්තු ක්‍රමයට මාරු කිරීම සඳහා විස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් 2026 ජූනි මාසය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

TOU ගාස්තු සඳහා භාවිතා කරන විශේෂිත කාල පරාස (time intervals) විමර්ශනය කර, විහිදුණු ශක්ති නිෂ්පාදනය (distributed generation) සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රවණතා සලකා බැලීමට නියාමකයා විසින් අධ්‍යයනයක් සිදු කරනු ඇත. මෙම අධ්‍යයනය 2027 ජනවාරි මාසය වනවිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම නව ප්‍රතිපත්තිය අනුව, ශ්‍රී ලංකාවේ සූර්ය විදුලි පද්ධතියක් ඇති හෝ ස්ථාපනය කිරීමට සැලසුම් කරන ඔබ 2026 වනවිට TOU (Time-of-Use) ගාස්තු ක්‍රමයට මාරු කරනු ලැබේ. එහිදී, ඔබ විදුලිය භාවිතා කරන හෝ නිපදවන කාලය අනුව, ඔබ මිලදී ගන්නා සහ විකිණෙන විදුලියේ වටිනාකම වෙනස් වේ. කෙසේ වෙතත් මෙය දැනටමත් අවුරුදු 20ක් සඳහා ගිවිසුම් ගතව ඇති සූර්ය විදුලි පාරිභෝගික- නිෂ්පාදකයින් සඳහා අදාළ වන බවක් දක්වා නොමැත. 

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී ඇත්තේ දැනටමත් නව ප්‍රතිපත්ති තීරණය ක්‍රියාත්මක වන බව ක්, හා ඒ හේතුවෙන් සූර්ය විදුලි පාරිභෝගික- නිෂ්පාදකයින්ට සූර්ය පැනල ස්ථාපනය කිරීමට බැංකුවලින් ලබා ගත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ත් හා ඒ හේතුවෙන්  මුළු බැංකු පද්ධතියම අස්ථාවර වී ඇති බවයි.

බලශක්ති අමාත්‍යාංශය

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ගෙන් , අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ, මෙම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය තොරතුරක් සමාජ ගත කරන බවයි. 

ශ්‍රී ලංකා ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ සඳහන් වන කරුණු පිළිබඳ මෙතෙක් කැබිනට් අනුමැතිය ලබා නොමැති බවත්, නිවසේ සූර්ය පැනල භාවිත කරන 2026 වසරේ ගිවිසුම්ගත වන නව ගනුදෙනුකරුවන් සඳහා මෙය ක්‍රියාත්මක වන බව ත්, සඳහන් කළා. 

කෙසේ වෙතත් කාල පාදක ක්‍රමයකට පරිවර්තනය වීමට සැලසුමක් ඇති නමුත් සති අන්තයේ සහ නිවාඩු දිනයන් හි ජනනය වන විදුලිය මිලදී ගැනීමක් සිදු නොකිරීමට මෙම ප්‍රතිපත්තිය මගින් කටයුතු කෙරෙන බව ත්, ඔහු සඳහන් කළා. 

එසේම මෙහිදී සිදුවන්නේ, රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම අවම කොට, සාධාරණ ගණනය කිරීමක් සඳහා ගනුදෙනු කරුවන් පාරිභෝජනය කරන ඒකක මත ගෙවීම් සිදු කිරීමට පියවර ගැනීමක් බව සඳහන් කළා. 

කෙසේනමුත් තවමත් මෙම ප්‍රතිපත්තිය තුළ ඇති කරුණු සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය යුතු අතර මෙතෙක් ක්‍රියාත්මත නොවන බව ත්, සඳහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනු ලබන්නේ, 2026 ජනවාරි මසට පෙර ගිවිසුම් ගත වූ ගැනුම්කරුවන්ට ඔවුන් ගිවිසුම් ගතවී ඇති ලෙසම ඒකක සඳහා අය කිරීම් වෙනසක් නොමැතිව ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය තවමත් ලැබී නොමැති බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් ඇති වී ඇති තත්ත්වයක් ලෙස පැතිරෙනකතා අසත්‍ය බව සඳහන් කරනු ලබනවා.

වහලමත සවිකරන ගෘහස්ථ සූර්‍ය බල පද්ධති සවිකරන ආයතනයක් – හේලීස් සොලාර්

මේ වන විටත් සූර්ය පැනල ස්ථාපනය කර ඇති ගනුදෙනුකරුවන් ද, මෙම කාල පාදක ක්‍රමය යටතේ අගතියට පත් වන බව ත්, රාත්‍රියේදී ග්‍රිඩ් හරහා විදුලිය භාවිත කරන ඒකක සඳහා රුපියල් 60 ක වැනි මුදලක් අය කිරීමට යන බැවින් එය දැනට අය කරන මුදලට වඩා තුන් ගුණයකින් පමණ වැඩි විමක් බව ඔවුන් පෙන්වා දෙනවා. 

මෙය 2026 වසරේ ජනවාරි මස සිටි ගිවිසුම් ගත වන පුද්ගලයන්ට පමණක් නොව පැරණි ගනුදෙනුකරුවන්ට ද බලපාන බවත් එම ආයතනය පෙන්වා දෙනවා.

තවද ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි ඒකකයට ගෙවනු ලබන මිල ද, කප්පාදු කර ඇති බවද, ඔවුන් පවසනවා.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube

Avatar

Title:සූර්ය විදුලිය නිපදවන පාරිභෝගියන්ට අත්වූ ඉරණම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *