ගම්වාසීන් මිද්දෙණිය ජාතික ජන බලවේග කාර්යාලයට පහරදී විනාශකර දැමුවා ද?  

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මුල්ගිරිගල ආසනයේ මිද්දෙණියේ පිහිටි මාලිමා කාර්යාලයට ගම්වාසීන් පහරදී විනාශ කර ඇති බව කියමින් ගිනිබත්කරන ලද ස්ථානයක ඡායාරූපයක් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, බහුලව සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

‍බොරු කියා පොරොන්දු ඉටු නොකළ බව කියමින් මුල්ගිරිගල ආසනයේ මිද්දෙණිය මාලිමා කාර්යාලය ගම්වාසීන් පහරදී ඇති බව කියන මෙම සටහන සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ ගිනි තබා විනාශ කර ඇති අයුරු දැක්වෙන ඡායරූපයක් ද සහිතවයි. මෙහි එක් බිත්තියක ජාතික ජන බලවේගයේ නිල ලාංඡනය ද දැකගත හැකි අතර මෙය නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ කාර්යාලය බව ද එහි සඳහන් ය.   

Facebook | Archived Link

සත්‍ය සටහනක් බවට විශ්වාස කරමින් සැලකිය යුතු පිරිසික් මෙය සිය ගිණුම් වෙත හුවමාරු කරගෙන තිබූ අතර තවත් පිරිසක් මෙය සත්‍ය සිදුවීමක් බවට අනුමාන කරමින් මෙලෙස අදහස් පළ කර තිබුණා. 

එම තේමාව යටතේම සමාජ මාධ්‍ය පරිශීලකයින් රැසක් මෙම ඡායාරූපය සහිත සටහන සිය ගිණුම් ඔස්සේ සමාජ මාධ්‍යට මුදා හැර තිබුණේ මෙලෙසයි. 

Facebook | Archived Link                 Facebook | Archived Link

Facebook | Archived Link                 Facebook | Archived Link

මිද්දෙණියේ මාලිමා කාර්යාලයට පහරදීලා යන තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ තවත් සටහනක දැක්වෙන්නේ, මෙය දැවැන්ත අනතුරු ඇඟවීමක් සහිත ප්‍රහාරයක් බවයි. 

Facebook | Archived Link

මෙහි සත්‍යතාව විමසා ලද පාඨක ඉල්ලීම් ද මුල් කරගනිමින් අප සමාජ මාධ්‍ය ජලා ඔස්සේ, බහුලව සංසරණය වන මෙම සටහන්වල නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පොරොන්දු ඉටු නොකළ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් රටේ කිසියම් හෝ ස්ථානයක දේශපාලන කාර්යාලයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන්වල දැක්වෙන පරිදි ගිනිතබා විනාශ කර තිබේ නම්, එවැනි ප්‍රවෘත්තියක් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා සියල්ලක්ම විසින් වාර්තා කර තිබිය යුතු නමුත් ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යක් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ පුවතක් වාර්තා කර නොමැත.  

කෙසේ වෙතත් මෙම සටහන්වල සත්‍ය අසත්‍යතාව තවදුරටත් විමසා බැලීම සඳහා අප මිද්දෙණිය ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියෙකු හරහා තොරතුරු විමසා බැලීමක් සිදු කළා. ඔහු ප්‍රකාශ කළේ, පසුගිය 15 වැනිදා මුල්ගිරිගල ආසනයේ ජාතික ජන බලවේග සම්බන්ධීකරණ කාර්යාලයේ ජනේලයකට කිසියම් පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ඉන්  ජනේලයක වීදුරුවකට සුළු හානි සිදුව ඇති බවත් මේ වනවිට එය පිළිසකර කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා. තවද ගල් ප්‍රහාරය එල්ල කර ඇත්තේ, මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු විසින් බව ද ඔහු සඳහන් කළා. 

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ කාර්යාලය මෙය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මහජන දිනයන් පවත්වනු ලබන්නේ මෙම කාර්යාලයේදී බවත් අප වාර්තාකරු සඳහන් කළා. 

අද (17) උදෑසන වන විට මුල්ගිරිගල ආසනයේ ජාතික ජන බලවේග මහජන සම්බන්ධීකරණ කාර්යාලයේ දර්ශන සහ ඡායාරූප කිහිපයක් වාර්තාකරු අප වෙත ලබාදුන් අතර එම දර්ශන නිරීක්ෂණයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල දැක්වෙන ස්ථානය මෙය නොවන බවත් එහි දැක්වෙන ආකරයෙන් කාර්යාලය ගම්වාසීන් විසින් ගිනිබත් කර නොමැති බවත් පැහැදිලිවය පෙනේ. 

      මුල්ගිරිගල ආසනයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයේ අද (17) උදෑසන ලබාගත් ඡායාරූප

මේ අතර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් ද අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව විමසා සිටි අතර ඔවුන් ද තහවුරු කර කියා සිටියේ, සටහන්වල දැක්වෙන ආකාරයේ සිදුවීමක් මිද්දෙණියේ පිහිටි ජතික ජන බලවේග සහ නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ කාර්යාලයේ සිදුව නොමැති බවයි. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය 

මේ අතර සමාජ මාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වන මිද්දෙණියේ පිහිටි මාලිමාවේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවී තිබේ දැයි අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ද විමසීමක් සිදු කළා. පොලිසිය ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයෙන් දේශපාලන කාර්යාලයකට  ගිනි තැබීමක්, හෝ විනාශ කිරීමක් පිළිබඳව රටේ කිසිදු ස්ථානයකින් වාර්තා නොවන බවයි. පොලිසිය ප්‍රකාශ කළේ, මිද්දෙණියේ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයේ ජනේලයකට මානසික ආබාධායක් සහිත පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තාවන බවයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බව ද පොලීසිය පැවසුවා. 

නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්

පොරොන්දු ඉටු නොකිරීම මත මුල්ගිරිගල ආසනයේ මිද්දෙණිය මාලිමා කාර්යාලයට ගම්වාසීන් එල්ල කළ ප්‍රහාරයකින් අදාළ කාර්යාල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට වන සටහන් පිළිබඳව අප නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගෙන් ද විමසා සිටියා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සහ එහි අන්තර්ගතයෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එවැනි කිසිදු ප්‍රහාරයක් කාර්යාලයට එල්ලවී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කර කියා සිටියා. සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් විසින් අසත්‍ය ඡායාරූපය යොදා ගනිමින් සකසන ලද  අසත්‍ය සටහන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. තමන් පසුගියදා එම ස්ථානයේ මහජන දිනය පැවැත්වූ බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,  කාර්යාලයේ ජනේලයක අඟල් 8-10 ප්‍රමාණයේ වීදුරුවක් හානී වී තිබූ බවයි. මෙය සාමාන්‍ය සිදුවීමක් බවත් සිදුවීම කුමක් ද යන්න පිළිබඳව පැහැදිලිව නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් 

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සකසන ලද ඡායාරූපයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප එම ඡායාරූපය AI ඔස්සේ සංස්කරණය කරන ඡායාරූප පරික්ෂා කරන මෙවලමක් වෙත  යොමු කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ,  මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

 අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පොරොන්දු ඉටු නොකළ බවට චෝදනා කරමින් මුල්ගිරිගල ආසනයේ මිද්දෙණිය මාලිමා කාර්යාලය ගාම්වාසීන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ඡායාරූපය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් එය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. පසුගිය 15 වැනිදා පුද්ගලයෙකු විසින් කාර්යාලයේ ජනලේයකට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් ජනේලයක වීදුරුවකට සුළු හානි සිදුව ඇති අතර මේ වනවිටත් එය පිළිසකර කර ඇත. ගල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට ද පාර්ශව කිහිපයක් විසින් තහවුරු කරනු ලැබුවා. 

Avatar

Title:ගම්වාසීන් මිද්දෙණිය ජාතික ජන බලවේග කාර්යාලයට පහරදී විනාශකර දැමුවා ද?  

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *