ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට ද ?

Internatioanl Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැද පෙරදිග කලාපයේ යුධ ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද නොමග යවන සුළු ආකාරයේ වාර්තා කිරීම් නිරීක්ෂණය වනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට” යනුවෙන් සඳහන් කරමින් පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරාවක පල කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා.

ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළ අවස්ථාවේ පටන් ඉරානයෙන් වැඩිම ප්‍රතිප්‍රහාර සංඛ්‍යාවක් එල්ල වී ඇත්තේ කටාර් රාජ්‍යයට බව සඳහන් කරමින් පල කර තිබෙන මෙම සටහනේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන ලද එපික් ෆියුරි මෙහෙයුම (Operation Epic Fury) දියත් කරන අද අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් මේ වන විට ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි ගල්ෆ් රටවල් රැසකට (කටාර්, බහරේන්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආදී) බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පවතී.

කටාරයට එල්ල වූ ප්‍රහාර 

2026 මාර්තු 03 වනදා ඉරානය විසින් කටාරයේ දෝහා නුවරට නිරිත දෙසින් පිහිටි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථානය වන Al Udeid ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එහිදී ඉරානයේ සිට බැලස්ටික් මිසයිල 2ක් කටාරය දෙසට එල්ල වී තිබෙනවා. ඉන් එක් මිසයිලයක් කටාර් ගුවන් ආරක්ෂක පද්ධති (Air Defense) මගින් ගුවනේදීම සාර්ථකව විනාශ කර ඇති අතර, දෙවන මිසයිලය Al Udeid කඳවුරු පරිශ්‍රයට පතිත වී තිබෙනවා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

ඒ අනුව 2026.03.03 වන දින දක්වා කටාර් ගුවන් සීමාව තුළ කෲස් මිසයිල තුනක්, බැලස්ටික් මිසයිල 101 ක් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා 39 ක් හඳුනා ගෙන තිබෙනවා.

ඉරාන ප්‍රහාර ආරම්භයේ සිට සිදු වූ සමස්ත ප්‍රහාරවල සාරාංශයක් කටාර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙලිදරව් කර තිබෙනවා. එහි සාරාංශයක් පහතින්.

ප්‍රහාරක අවි වර්ගයඑල්ල වූ මුළු ප්‍රමාණයසාර්ථකව විනාශ කළ (Intercepted)කටාර් භූමියට පතිත වූ
බැලස්ටික් මිසයිල101983
ඩ්‍රෝන යානා (UAVs)392415
කෲස් මිසයිල330
Su-24 යුධ ගුවන් යානා22 (බිම හෙලන ලදී)0

2026 මාර්තු 03 වන දා වන විට ඉරානය විසින් කලාපීය රටවලට එල්ල කරන ලද ප්‍රහාර 

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව සිදු කරනු ලබන මෙහෙයුමේදී ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල 200 ක් පමණ එල්ල කර ඇති අතර ඉන් 185ක් පමණ සාර්ථකව විනාශ කර තිබෙනවා. එසේම ඩ්‍රෝන යානා 400 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් යානා 380ක් පමණ විනාශ කර තිබෙනවා. එසේම කෲස් මිසයිල 35 ක් හඳුනාගෙන ඇති අතර ඒ සියල්ලම පාහේ දේශසීමාවට ඇතුළු වීමට පෙර විනාශ කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය (MoD) නිවේදනය කර ඇති ආකාරයට ආරම්භයේ සිට, එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලස්ටික් මිසයිල 186ක් එල්ල වී තිබෙනවා. ඉන් මිසයිල 172 ක් විනාශ වී ඇති අතර 13ක් සාගරයට පතිත වී, එක් මිසයිලයක් භූමියට පතිත වී තිබෙනවා. එසේම ඉරාන ඩ්‍රෝන යානා 812ක් හඳුනාගෙන ඇති අතර ඉන් 57ක් රට තුළට පතිත වී තිබෙනවා. එසේම කෲස් මිසයිල අටක් හඳුනාගෙන විනාශ කළ බවත් වාර්තා වනවා.

බහරේන් ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඉරාන මිසයිල 76ක් බහරේනය වෙත එල්ල වී ඇති අතර ඉන් මිසයිල 73ක් සාර්ථකව විනාශ කිරීමට සමත් වී ඇත. එසේම  ඩ්‍රෝන යානා 109ක් හඳුනා ගෙන ඇති අතර ඉන් 91 ක් ගුවන් ආරක්ෂක පද්ධති හරහා විනාශ කර ඇත.

එසේම කුවේට් ආරක්ෂක අංශවලට අනුව එරටට  එල්ල වී ඇති මිසයිල 178 ක් පමණ ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කර තිබෙනවා. එසේම කුවේට් ගුවන් කලාපය තුළ හඳුනාගෙන ඇති ප්‍රහාරක ඩ්‍රෝන 384ක් පමණ විනාශ කර තිබෙනවා.

ඉරානය විසින් වැඩිම ප්‍රහාර එල්ල කරනු ලබන්නේ කටාරයට නොවේ!

ඉරානය විසින් කලාපීය රටවලට එල්ල කරන ලද ප්‍රහාර වල සාරාංශයක් මෙලෙස දැක්විය හැකියි. ඒ හරහා නිරීක්ෂණය කළ හැක්කේ ඉරානය විසින් වැඩිම ප්‍රහාර එල්ල කර ඇත්තේ කටාරය වෙත නොවන බවයි. 

ඉලක්ක වූ රටබැලස්ටික් මිසයිල සංඛ්‍යාවඩ්‍රෝන (UAV) සංඛ්‍යාවසමස්ත ප්‍රහාර සංඛ්‍යාව
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)186812998
ඊශ්‍රායලය (Israel)210420630
කටාර් රාජ්‍යය (Qatar)10139140
බහරේනය (Bahrain)76109185
කුවේටය (Kuwait)178384562

ඉරානය විසින් වැඩිම මිසයිල ප්‍රමාණයක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බවත්, සමස්ත ප්‍රහාර අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත වැඩිම ප්‍රහාර සංඛ්‍යාවක් එල්ල කර ඇති බවත් හඳුනාගත හැකියි. එසේම මෙම සංඛ්‍යා ලේඛනවලින් පිළිබිඹු වන්නේ ඉරානය ඊශ්‍රායලයට වඩා අරාබි ගල්ෆ් රාජ්‍යයන් වෙත ඩ්‍රෝන යානා වැඩි සංඛ්‍යාවක් දියත් කර ඇති බවයි. බොහෝ විට එම රාජ්‍යයන් ඉරානයට වඩා සමීප වීම ඊට හේතු විය හැකි බවද පෙනී යනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ලවන්නේ කටාරයටය යනුවෙන් පල කර තිබෙන වාර්තාව නොමග යවන සුළු බවයි. ඉරානය විසින් ඊශ්‍රායලය ඇතුළු කලාපීය රටවලට එල්ල කරන ලද ප්‍රහාරයන් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන සහ දත්ත අනුව විමර්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඉරානය විසින් වැඩිම මිසයිල ප්‍රමාණයක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බවත්, සමස්ත ප්‍රහාර අනුව එක්සත් අරාබි එමීර් රාජය වෙත වැඩිම ප්‍රහාර සංඛ්‍යාවක් එල්ල කර ඇති බවත් ය.

Avatar

Title:ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *