ඕමානය හරහා ට්‍රක් රථ භාවිතා කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකර තෙල් ප්‍රවාහනය කළ හැකිද?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මැදපෙරදිග වත්මන් යුද තත්ත්වය හමුවේ,  ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් නැව්ගත කිරීමේ මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනා ගමනයට ඉරානට ඉඩ නොදීම මත එම සන්ධිය මඟ හැරීම සඳහා විසඳුමක් ඉදිරිපත් කරන බව පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මෙම ඡායාරූපයේ දැක්වෙන ලෙස පහසුවෙන් තෙල් නැව්ගත කිරීම සිදු කළ හැකිද යන්න පිළිබඳ විශේඥයින් දක්වන අදහස් සමගින් මේ සම්බන්ධයෙන් අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම රූපයෙන් ඇඟවෙන්නේ තෙල් ටැංකිවලට පර්සියානු ගල්ෆ් පැත්තේ වරායන්වලදී බොරතෙල් ගොඩබෑමට හැකි බවත්, පසුව ට්‍රක් රථ ඔස්සේ ඕමානය හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ගොඩබිම හරහා තෙල් ප්‍රවාහනය කිරීමට හැකි බවත්ය. ඉන්පසු ඕමාන් බොක්ක පැත්තේ ඇති ටැංකිවලට තෙල් නැවත පැටවීමට හැකි අතර, එමගින් හෝමූස් සමුද්‍ර සන්ධිය මඟ හැරීමට නැව්ගත කිරීම්වලට ඉඩ සැලසෙන බවයි.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ කොහෙද?

හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් නැව් ගමනාගමන ස්ථානයයි.

උතුරින් ඉරානය සහ දකුණින් ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පිහිටා ඇත. එහි ඇතුල්වීමේ සහ පිටවීමේ දී එය කිලෝමීටර 50 ක් එනම්, සැතපුම් 31ක් පමණ පළල වන අතර එහි වක්‍ර ස්ථානයේ දී කිලෝමීටර 33 ක් එනම්, සැතපුම් 20 පමණ පටු වේ. එය ගල්ෆ් සහ අරාබි මුහුද අතර ඇති එකම සමුද්‍රීය සම්බන්ධතාවය වේ.

ප්‍රධාන මැද පෙරදිග තෙල් සහ ගෑස් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළඳපොළට සැපයුම් ගෙනයාමට ඒ හරහා සිදුවන අතර ආනයනය කරන රටවල් එහි අඛණ්ඩ ක්‍රියාකාරි වීම මත රඳා පවතී.  මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන දැවැන්ත තෙල් පරිමාව

යෝජිත ට්‍රක් රථ මාර්ගයේ ප්‍රධාන ගැටලුව වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණයයි. එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට (Energy Information Administration -EIA) අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්, දිනකට සාමාන්‍යයෙන් බැරල් මිලියන 20 ක් පමණ ප්‍රවාහනය කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් තොරතරු මෙතනින්.

මෙම පරිමාව ගෝලීය තෙල් පරිභෝජනයෙන් 20% ක් පමණ සහ මුහුදු තෙල් වෙළඳාමෙන් දළ වශයෙන් හතරෙන් එකක් නියෝජනය කළේය.

දිනකට බැරල් මිලියන 5.5 ක් පමණ නැව්ගත කිරීම් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන වලින් සමන්විත වූ අතර, ඩීසල් සහ ජෙට් ඉන්ධන වැනි ඉන්ධන අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු ලෙස ගල්ෆ් කලාපයේ භූමිකාව ඉස්මතු කරයි.

හෝමූස් හරහා ගමන් කරන තෙල්වලින් ආසන්න වශයෙන් 80% ක් ආසියානු වෙළඳපොළට නැව්ගත කරනු ලබන අතර, ජපානය, දකුණු කොරියාව, චීනය සහ ඉන්දියාව සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන සැපයුම් මත දැඩි ලෙස රඳා පවතී.

පසුගිය වසරේ මුල් භාගයේදී එක්සත් ජනපදය පර්සියානු ගල්ෆ් රටවලින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් 400,000 ක් පමණ ආනයනය කළ අතර එය එක්සත් ජනපද බොරතෙල් සහ ඝනීභවනය ආනයනයෙන් දළ වශයෙන් 7% ක් විය.

පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර සහ එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සම්බන්ධ යාත්‍රා ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව, නැව් ගමනාගමනය තියුනු ලෙස පහත වැටී ඇත.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) ට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රා සඳහා ඓතිහාසික දෛනික සාමාන්‍යය වාණිජ නැව් 138 ක් පමණ වේ.

ගොඩබිම් ප්‍රවාහනය හරහා එවැනි දැවැන්ත ප්‍රවාහනයක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දැනට පවතින ප්‍රමාණයට වඩා බොහෝ දුරට යටිතල පහසුකම් සහ සැපයුම් අවශ්‍ය වනු ඇත. මේ පිළිබඳව තොරතුරු මෙතනින් සහ මෙතනින්.

ටැංකි ධාරිතාව සහ ට්‍රක් රථ ධාරිතාව

තෙල් ටැංකි සහ ට්‍රක් රථ අතර ප්‍රවාහන ධාරිතාවේ වෙනස මෙම අදහස ප්‍රායෝගික නොවන බව වැටහේ. සාමාන්‍ය විශාල තෙල් ටැංකියකට බොරතෙල් බැරල් මිලියන 2 ක් පමණ රැගෙන යා හැකි අතර, සම්මත ටැංකි ට්‍රක් රථයකට සාමාන්‍යයෙන් බැරල් 150–200 ක් පමණක් රැගෙන යා හැකිය.

මෙයින් අදහස් කරන්නේ තනි විශාල ටැංකියක භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආසන්න වශයෙන් ට්‍රක් රථ ගමන් 10,000 සිට 15,000 දක්වා අවශ්‍ය වන බවයි. සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන දිනකට බැරල් මිලියන 20 ක් දක්වා මෙය පරිමාණය කිරීම සඳහා සෑම දිනකම ට්‍රක් රථ ගමන් ලක්ෂ ගණනක් අවශ්‍ය වන අතර එය යථාර්ථවාදී නොවේ. 

පවතින විකල්ප මාර්ග දැනටමත් නල මාර්ග භාවිතා කරයි

කලාපයේ රටවල් දැනටමත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය මඟ හැරීම සඳහා විකල්ප මාර්ග සංවර්ධනය කර ඇත. නමුත් මේවා ට්‍රක් රථ හරහා නොව නල මාර්ග මත රඳා පවතී.

උදාහරණයක් ලෙස, සෞදි අරාබිය නැගෙනහිර බටහිර (පෙට්‍රොලීන්) නල මාර්ගය ක්‍රියාත්මක කරන අතර එය නැගෙනහිර තෙල් බිම්වල සිට රතු මුහුදේ යාන්බු වරායට බොරතෙල් ප්‍රවාහනය කරයි. ඒ හා සමානව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හබ්ෂාන් ෆුජයිරා(Habshan–Fujairah) නල මාර්ගය ඕමාන් බොක්ක වෙත තෙල් සෘජුවම ගෙන යන අතර එමඟින් අපනයනවලට සමුද්‍ර සන්ධිය මඟ හැරීමට ඉඩ සලසනු ලබයි.

කෙසේ වෙතත්, මෙම මහා පරිමාණ නල මාර්ග පවා හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කරන නැව්ගත කිරීම් ප්‍රමාණය ආවරණය නොවන අතර අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන තෙල්වලින් කොටසක් පමණක් ආවරණය කරන බවත්, ගෝලීය තෙල් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් තවමත් මෙම සමුද්‍ර මාර්ගය මත රඳා පවතින බවත්ය.  මේ පිළිබඳව තොරතුරු මෙතනින්.

යටිතල පහසුකම් සහ පිරිවැය සීමාවන්

දැවැන්ත පරිමාණයෙන් ට්‍රක් රථයකින් තෙල් ප්‍රවාහනය කිරීම සඳහා දැනට නොපවතින පුළුල් යටිතල පහසුකම් අවශ්‍ය වනු ඇත. ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා මාර්ග ජාල දිනපතා ලක්ෂ සංඛ්‍යාත බර ටැංකි ට්‍රක් රථ හැසිරවීමට සැලසුම් කර නොමැත. ඊට අමතරව, ටැංකි වලින් තෙල් බෑම, ට්‍රක් රථවලට මාරු කිරීම සහ වෙනත් නැව්වලට නැවත පූරණය කිරීම සඳහා වරායන්ට ප්‍රධාන පහසුකම් අවශ්‍ය වනු ඇත.

බොරතෙල් ට්‍රක් රථ නල මාර්ගවලට වඩා සැලකිය යුතු ලෙස මිල අධිකය. නල මාර්ග ප්‍රවාහනය සාමාන්‍යයෙන් බැරලයකට ඩොලර් කිහිපයක් පමණක් වැය වන අතර, ට්‍රක් රථ ප්‍රවාහනය දුර සහ සැපයුම් මත පදනම්ව කිහිප ගුණයකින් වැඩි විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද, පෙන්වා දෙන්නේ.

ආරක්ෂාව සහ මෙහෙයුම් අවදානම්

ට්‍රක් රථ මගින් මහා පරිමාණ බොරතෙල් ප්‍රවාහනය කිරීම ප්‍රධාන ආරක්ෂක සහ සැපයුම් අභියෝග ද පැන නගී. දිනපතා ලක්ෂ සංඛ්‍යාත ටැංකි ට්‍රක් රථ සම්බන්ධීකරණය කිරීමෙන් මාර්ග අනතුරු, තෙල් කාන්දුවීම් සහ පාරිසරික හානි අවදානම වැඩි වේ. තවද, ටැංකි වලින් ට්‍රක් රථවලට තෙල් මාරු කර නැවත නැව් වෙත තෙල් මාරු කිරීම නල මාර්ගවල අඛණ්ඩ ප්‍රවාහයට සාපේක්ෂව මන්දගාමී හා සංකීර්ණ ක්‍රියාවලියක් වනු ඇත. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන  ඉහත ඡායාරූපය ගෝලීය තෙල් ප්‍රවාහනයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු බව පෙන්වා දිය හැක . ඕමානි අර්ධද්වීපය සාපේක්ෂව කෙටි ගොඩබිම් හරස් මාර්ගයක් සිතියම හරහා  දැක ගන්නට ලැබුණද, මුසන්දම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඕමාන් කොරිඩෝව හරහා ගොඩබිම් දුර භූගෝලීය වශයෙන් සාපේක්ෂව කෙටි වන අතර, පැටවීම සහ බෑම සඳහා භාවිතා කරන නිශ්චිත වරායන් මත පදනම්ව දළ වශයෙන් කිලෝමීටර් 190–320 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත්, එවැනි මාර්ගයක ශක්‍යතාව දුරින් පමණක් තීරණය නොවන බව විශේෂඥයින් සටහන් කරයි.

සෑම දිනකම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ගෝලීය තෙල් නැව්ගත කිරීම්වල දැවැන්ත පරිමාණයෙන් අදහස් වන්නේ මේ හරහා ට්‍රක් රථ මගින් තෙල් ප්‍රවාහනය කිරීම සඳහා අතිශයින් විශාල වාහන සංඛ්‍යාවක් සහ සැලකිය යුතු යටිතල පහසුකම් අවශ්‍ය වන අතර, සාපේක්ෂව කෙටි ගොඩබිම් හරස් මාර්ගයක් තිබියදීත් වූවත් එම අදහස ප්‍රායෝගික නොවන බවයි. එබැවින්, ඕමානය හරහා ට්‍රක් රථ භාවිතා කරමින් තෙල් නැව්ගත කිරීම් හෝමූස් සමුද්‍ර සන්ධිය මඟ හැරිය හැකි බවට කරන ප්‍රකාශය නොමඟ යවන සුළු වන අතර එය ප්‍රායෝගික නොවේ. 

Result Stamp

Title: ඕමානය හරහා ට්‍රක් රථ භාවිතා කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකර තෙල් ප්‍රවාහනය කළ හැකිද?

Fact Check By: Pavithra Sandamali

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *