
Image courtesy: Timeanddate
දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවත් විටින් විට දක්නට ලැබෙනවා. ඒ අතර බොහෝ ව්‍යජා පුවත් ද පළවන අතර සොයා බැලීමකින් තොරව මෙවැනි සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වන අවස්ථා ද දැක ගන්නට පුළුවන්.
වසර 823 කට වරක් සිදුවන දින 5 බැගින් මාසයේ දවස් කිහිපයක් දැක්වෙන සංසිද්ධිය එසේ ලොව පුරා සමාජ මාධ්‍ය ජාල තුළ පුද්ගලයින් මුලා කිරීමේ අරමුණින් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්. මේ පිළිබඳව අපගේ විමර්ෂණය පහතින්.
සමාජ මාධ්‍ය සටහන්:
“අගෝස්තු දින දර්ශනය. (ඔබේ ජීවිතයේ මෙම සංසිද්ධිය ඔබ දකින එකම අවස්ථාව මෙය වේ) 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 අගෝස්තු මාසය මෙම වසරේ සෙනසුරාදා දින 5ක් ඉරිදා සහ සඳුදා 5 ක් ඇත. එය සිදුවන්නේ වසර 823 කට වරක් පමණි. චීන ජාතිකයන් එක හඳුන්වන්නේ “ BAG FULL OF MONEY” යනුවෙනි…” යනාදී වශයෙන් දක්වමින් චීන ෆෙන්ෂුයි මත පදනම්ව මෙම පණිවුඩය හුවමාරු නොකරන තැනැත්තාට විශිෂ්ඨ අවස්ථාවක් අහිමි විය හැකි බව Migara Bandara නම් අයෙකු විසින් හුවමාරු කරගෙන තිබූ ෆේස්බුක් සටහනක දක්වා තිබුණා.

පසුගිය වසරේ මුල් වරට හුවමාරු වී තිබූ එම සටහන නැවත වරක් මේ දිනවල ද ෆේස්බුක් ඔස්සේ සංසරණය වීම ආරම්භ වී තිබුණා. මේ වන විට 3000 කට වැඩි පිරිසක් අතර එය හුවමාරු වී තිබුණි.
තව ද මේ වසරේ ද විවිධ ජුලි මාසයේ මෙවැනි ම සංසිද්ධියක් ඇති වන බව දක්වමින් ද සටහන් පෙළක් හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ පහත අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ දී සති අන්ත 5ක් සහිත මාස වසර 823 කට වරක් සිදුවන බව පැවසෙන ප්‍රසිද්ධ මිත්‍යා මතය ඇතුළත් සටහන් පිලිබඳ බොහෝ කරුණු විමර්ෂණ කණ්ඩායම් මෙන්ම වෙබ් අඩවි විසින් ද වාර්තා පළකර තිබුණා.
ඒ සියල්ලක ම දැක්වුණේ මෙය මිත්‍යාවක් පමණක් බවත් මෙවැනි සති අන්ත 5ක් ඇතුළත් මාස බොහෝ අවස්ථාවන් හි දී දැක ගන්නට ලැබෙන බවත්ය.
Timeanddate වෙබ් අඩවියේ එම මිත්‍යා මතයේ දක්වා ඇති පරිදි කරුණු සිදු නොවන්න හේතුව ගණිතමය පසුබිමින් ද විස්තර කර තිබෙනවා.
කෙසේවෙතත් වසර 823 කින් පසුව ද සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති පරිදි දින සැකසීම සිදු වුව ද එය ඊට පෙර බොහෝ අවස්ථා ගණනක දී ද සිදුවන බව අපට ද දැක ගන්නට ලැබුණා.
උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබු 2020 වසර අගෝස්තු මස සිදුවූ සෙනසුරාදා 5, ඉරිදා 5 සහ සඳුදා 5 වන දින සැකසුම නැවත අවුරුදු 823 කට පසු එනම් 2843 වසරේ ද සිදුවේ.
එසේ නමුත් ඊට පෙර අවස්ථා ගණනක දී ම එම දින සැකසුම අපට දැක ගන්නට ලැබෙනවා. එනම් 2026 (6), 2037 (11), 2043 (6), 2048 (5) යනාදී වශයෙන් වසර ගණනාවක ම එලෙසින් දින සැකසෙන බව ද දැක ගන්නට පුළුවන්. නැවත වරක් එම චක්‍රයම 2054 (6), 2065 (11), 2071 (6), 2076 (5) වසර වල දී ද දැක ගන්නට පුළුවන්. එනම් 6-11-6-5 යන වසර ගණනකට වරක් චක්‍රයකට අනුව මෙම දින සැකසුම සිදුවන බව පෙනී යනවා.
Snopes කරුණු විමර්ෂණ කණ්ඩායම ද පෙන්වා දී තිබුනේ සෑම වසර 7 කට සැරයක් නොමැති ව මෙසේ වෙනස් ආකරයේ රටාවකට අනුව දින සැකසුමක් සිදුවන්නේ අධික අවුරුදු වල බලපෑම හේතුවෙන් බවයි.
මෙවැනි ම සටහනක් පිළිබඳව අප දමිළ බසින් 2019 වසරේ සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්.
Also Read:
FACT CHECK: 2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද?
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ සති අන්ත 5ක් සහිත මාස වසර 823 කට වරක් සිදුවන බව පැවසෙන සටහන් ප්‍රසිද්ධ මිත්‍යා මතයක් පදනම් කරගත් සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක් බවයි.
අධික අවරුදු බලපෑම හේතුවෙන් මෙසේ සති අන්ත 5ක් සතිත මාස බොහෝ විට යම්කිසි චක්රාකාර රටාවකට අනුව අවුරුදු කිහිපයකට සැරයක් සිදුවන බව පෙනී යනවා.

Title:සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?
Fact Check By: Sahan PereraResult: False
