දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැදපෙරදිග යුද තත්වය උත්සන්න වීමත් සමග පවතින ඉන්ධන කළමණාකරණය කර ගැනීම සඳහා රජය විසින් QR කේතයක් ඔස්සේ ඉන්ධන ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. අදාල QR කේතය ලබා ගත හැකි නිල වෙබ් අඩවිය ලෙසින් දැක්වෙන ව්‍යාජ වෙබ් අඩවියක් ද මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“QR කේතය මගින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර ඔබගේ QR කේතය ලබා ගැනීමට මෙතනින් යන්න” යනුවෙන් දක්වමින් වෙබ් අඩවියක සබැඳියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.


මෙහි සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන්වාහන සඳහා QR කේත භාවිතයෙන් ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් 2026.03.14 වන දින විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. 2026.03.15 වන දින උදෑසන 06 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා QR කේත ක්‍රමය බලාත්මක කරන බව එහි දක්වා තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය මෙතනින්.

QR කේතය ලබා ගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවිය https://fuelpass.gov.lk බව අදාල නිවේදනය තුළ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ඉන්ධන අවසර පත්‍ර ලබා ගැනීමේ වෙබ් අඩවිය ලෙස දක්වමින් ක්‍රියාත්මක වන ව්‍යාජ වෙබ් අඩවියක්
බලශක්ති අමාත්‍යාංශය විසින් පල කර ඇති අදාල නිවේදනය තුළ සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙබ් අඩවි සබැඳිය දකින්නට ලැබෙන්නේ නැහැ.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර විසින් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සබැඳිය සහිත වෙබ් අඩවිය ඉන්ධන අවසර පත්‍ර ලබා ගැනීමේ වෙබ් අඩවිය ලෙස දක්වමින් ක්‍රියාත්මක වන ව්‍යාජ වෙබ් අඩවියක් බවයි. එම වෙබ් අඩවියට පුද්ගලික තොරතුරු කිසිවක් ඇතුළත් නොකරන ලෙසත් එය නීත්‍යානුකූල වෙබ් අඩවිය නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව සංසරණය වන වංචනික වෙබ් අඩවි පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නෙත්තිකුමාර මහතා පවසා ඇත්තේ ඇතැම් පුද්ගලයින් පුද්ගලික තොරතුරු රැස් කිරීම සඳහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ඇති බවයි. ජාතික ඉන්ධන අවසර පත්‍රයේ නිල වෙබ් අඩවිය fuelpass.gov.lk බවත් , වෙනත් වෙබ් අඩවි හෝ තෙවන පාර්ශවයන් සමඟ පුද්ගලික දත්ත බෙදා නොගන්නා ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පද්ධතිය (QR code) ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මගෙපෙන්වීම් වීඩියෝවක් මේ වන විට රජය මගින් පල කර තිබෙනවා. එම සම්පූර්ණ වීඩියෝව මෙතනින්.
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය යථා තත්ත්වයට
එසේම තාක්ෂණික දෝෂ සහිතව පැවති ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බවත්, එය දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින බවත් ඒ හරහා මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සබැඳිය සහිත වෙබ් අඩවිය ඉන්ධන අවසර පත්‍ර ලබා ගැනීමේ වෙබ් අඩවිය ලෙස දක්වමින් ක්‍රියාත්මක වන ව්‍යාජ වෙබ් අඩවියක් බවයි.


