ඉන්ධන බවුසරයකින් ඉන්ධන බැහැර කරන දර්ශන පෙළක් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

උද්ගතව පවතින ලෝක ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන කළමණාකරයකින් යුතුව භාවිත කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමුව පවතිනවා. එවැනි පසුබිමකදී ඉන්ධන බවුසරයකින් ඉන්ධන ඉවත දමන අවස්ථාවක් බවට හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

තෙලුත් නැති දවස් වල මොනවද මේ බාන්නේ” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක ඉන්ධන බවුසරයකින් ඉන්ධන ඉවත දමන දර්ශන පෙළක් ලෙස හඟවමින් පල කර තිබූ අදාල වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉන්ධන යනු වර්ණක සහිත දියරයක් වුවත්, වීඩියෝවේ දැක්වෙන්නේ පැහැදිලි සුදු පැහැති ජලයයි. ජලය බිමට වැටෙන විට ඇති වන සුදු පැහැති පෙන බුබුළු සාමාන්‍ය ඉන්ධන බැහැර කිරීමකදී දක්නට ලැබෙන්නේ නැහැ.

ඒ අනුව ඉන්ධන බවුසරයකින් මේ ආකාරයට ජලය ඉවත් කිරීමට  සිදුවන අවස්ථා සම්බන්ධයෙන් අප විසින් පරීක්ෂා කළා. ඉන්ධන බවුසර් රථ සම්බන්ධයෙන් ජලය යොදා සිදුකරන මෙම ක්‍රියාවලිය ප්‍රතිකලනය (Calibration) හෝ නඩත්තු සේදීම ලෙස හඳුනාගත හැකියි.

නඩත්තු කිරීම සහ පිරිසිදු කිරීම (Maintenance & Tank Cleaning)

ටැංකියක් ඇතුළත කාලයත් සමඟ මඩ, මලකඩ හෝ අපද්‍රව්‍ය තැන්පත් විය හැකියි. එවිට අධි පීඩන ජල ප්‍රවාහ මඟින් ටැංකිය ඇතුළත පිරිසිදු කෙරේ. ටැංකියේ සිදුරක් හෝ කාන්දුවක් තිබී එය පෑස්සීමෙන් පසුවත්, එම පෑස්සුම ශක්තිමත්දැයි බැලීමට ටැංකියට ජලය පුරවා පරීක්ෂාවක් සිදු කරයි. එහිදීත් පරීක්ෂාව අවසානයේ ජලය ඉවත් කිරීමට සිදු වේ. ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම විසින් කොලොන්නාව පර්‍යන්තයෙහි තාක්ෂණික පිරිවිතර ලේඛනයන්හි ඒ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙලෙසින්.

ප්‍රතිකලනය (Calibration) සඳහා ජලය භාවිතා කරන ආකාරය

ඉන්ධන බවුසරයක සෑම ටැංකියකම නිවැරදි ඉන්ධන ධාරිතාව මැනීම සඳහා මෙම ක්‍රියාවලය සිදු කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති හා න්සේවා පනත අනුව, වෙළඳාම සඳහා යොදාගන්නා සෑම මිනුම් මෙවලමක්ම (බවුසර් ද ඇතුළුව) රජයේ අනුමත නිලධාරීන් ලවා පරීක්ෂා කර සහතික කළ යුතුය. ඉන්ධන බවුසර් ප්‍රතිකලනය කිරීමේදී ඉන්ධන වෙනුවට ජලය භාවිතා කරනු ලබයි. ඉන්ධන දැවෙන සුළු බැවින් ප්‍රතිකලන උපකරණ සමඟ භාවිතා කිරීමේදී අනතුරු සිදුවීමේ අවදානම, විශාල පරිමාවන් මැනීමේදී ජලය භාවිතය වඩාත් ලාභදායී වීම ඊට හේතු වනවා. ප්‍රතිකලනය අවසානයේ බවුසර් ටැංකියේ ඇති ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. එම ක්‍රියාවලිය Flushing හෝ Draining ලෙස හැඳින්වෙනවා. ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම විසින් කොලොන්නාව පර්‍යන්තයෙහි තාක්ෂණික පිරිවිතර ලේඛනයන්හි ඒ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙලෙසින්

ඉන්ධන බවුසරයක ටැංකියේ ධාරිතාව නිවැරදිදැයි මැන බැලීම සඳහා ඉන්ධන වෙනුවට ජලය භාවිතා කිරීම ජාත්‍යන්තර ප්‍රමිතියයි. මෙහිදී සිදුවන ක්‍රියාවලිය “Water Draw Method” ලෙස හැඳින්වෙනවා. බවුසර් ටැංකියට සම්පූර්ණයෙන් ජලය පුරවා, එම ජලය සහතික කරන ලද මීටරයක් හරහා පිටතට ගලා යාමට සලස්වයි. එහිදී මීටරයේ පෙන්වන අගය සහ ටැංකියේ ඇති දර්ශකය සමපාත වේදැයි පරීක්ෂා කෙරෙනවා. ටැංකි සහ බවුසර් ජලය යොදාගෙන ප්‍රතිකලනය කරන ආකාරය පිළිබඳව Asia Pacific Legal Metrology Forum (APLMF) විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ මෙලෙසින්.

ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම (CPSTL) 

CPSTL ආයතනය විසින් බවුසර් රථ සඳහා ලබාදෙන තාක්ෂණික කොන්දේසි පත්‍රිකාවක (Technical Specifications) 3.12 ඡේදයේ Calibration පිළිබඳව සහ ± 0.25 ක නිරවද්‍යතාව පවත්වා ගත යුතු ආකාරය ගැන සඳහන් වනවා.

ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම (CPSTL)

අප විසින් මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ (CPSTL) වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සහ පරිපාලක) ඊ.ඒ.ආර්.ඩී. බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, අදාළ වීඩියෝවේ දැක්වෙන ඉන්ධන බවුසරයෙන් පිටතට ගලායන්නේ ඉන්ධන නොවන බවයි. ප්‍රතිකලන සහ පිරිසිදු කිරීම් කටයුතු සඳහා ජලය භාවිතා කරන බවත් එවැනි කිසියම් නඩත්තු හෝ පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහා යොදාගත් ජලය ඉන්ධන බවුසරයෙන් බැහැර කරන අවස්ථාවක් බවත් ඔහු සඳහන් කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් සඳහන් කළේ බවුසරයෙන් ඉවත් කරන්නේ ඉන්ධන නොවන බවත් සාමාන්‍යයෙන් ඉන්ධන බවුසර කිසියම් නඩත්තු කටයුත්තකට ලක් කල පසු එහි ඇති ජලය මෙලෙස ඉවත් කිරීමට කටයුතු කරන බවත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන වීඩියෝව ඉන්ධන බවුසරයකින් ඉන්ධන ඉවත දමන අවස්ථාවක් නොව නඩත්තු, පිරිසිදු කිරීමේ කටයුත්තකින් පසුව හෝ ප්‍රතිකලන ක්‍රියාවලියකින් පසු බවුසරයේ ඇති ජලය ඉවත් කරන අවස්ථාවක් බවයි. ඒ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් පර්‍ය්න්ත සමාගමේ වැඩබලන නියෝජ්‍ය සමාන්‍යාධිකාරී සහ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් ද තහවුරු කර තිබෙනවා.

Result Stamp

Title: ඉන්ධන බවුසරයකින් ඉන්ධන බැහැර කරන දර්ශන පෙළක් ද ?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *