මෑතකදී ඉරාන හමුදාවේ අත්අඩංගුවට පත් අමෙරිකානු හමුදා සෙබළුන්ගේ ඡායාරූප සහ දර්ශන පෙළක් ද? 

Internatioanl Misleading

දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දිනෙන් දින උග්‍ර වෙමින් පවතින මැද පෙරදිග යුද්ධය සහ ඒ ආශ්‍රිත සිදුවීම්, ප්‍රකාශ, දර්ශන ලොව පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා සියල්ලකම පාහේ කතාබහට ලක් වන ප්‍රධාන මාතෘකාවයි. මෙලෙස ඉදිරිපත්වන තොරතුරු අතර සත්‍ය මෙන්ම සමාජය නොමග යවන සුළු අසත්‍ය තොරතුරු ද බහුලයි. මේ මැදපෙරදිග යුද්ධයට අදාළව එලෙස සංසරණය වන සටහන් කීපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉරානය විසින් කාන්තා සාමාජිකාවක ද ඇතුළුව අමෙරිකානු නාවික භටයින් 10 දෙනෙකු අත්අඩගුවට ගෙන ෆාර්සි දූපතේ රඳවා ඇති බව කියන මෙම සටහන පළ කර ඇත්තේ, ඡායාරූප කිහිපයක් ද සමගයි. එම ඡායාරූපවලට අනුව අදාළ සෙබළ පිරිස බිම ඉඳගෙන සිටින අතර ඔවුන් භාවිත කළ බව කියන යාත්‍රාව ද ඡායාරූප අතර දැකගත හැකියි. 

Facebook | Archived Link

ඉහත ඡායාරූපවලට සමාන බවක් පෙන්වන වීඩියෝ දර්ශනයක් ද සමාජ මාධ්‍යයෙහි සංසරණය වන්නේ, ඉරාන හමුදා අත්අඩංගුවට පත්වූ අමෙරිකානු හමුදා සෙබළුන් යන තේමාවෙනි. එම දර්ශනයට අනුව අමෙරිකානු ධජය සහිත යාත්‍රාවක් තුළ සෙබළුන් පිරිසක් හිස පිටුපසට දෑත් තබා ගෙන දණ ගසා සිටින අතර කිසියම් පිරිසක් විසින් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවක් බැලූ බැල්මට හැඟී යයි. 

Facebook 

සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවෙහි සහ ඡයාරූප ඇතුළු අන්තර්ගතයෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට ජාත්‍යන්තර පුවත් ඒජන්සි, ප්‍රමුඛ පෙළ මාධ්‍ය ඇතුළු සියලුම ධාරාවේ මාධ්‍ය විසින් ඇතැම් අවස්ථාවල සජීවි විකාශයන් ලෙසත් පවතින යුදමය තත්ත්වයේ තොරතුරු ජනතාව වෙත සමීප කරමින් සිටී. එහෙත් සමාජ මාධ්‍යයේ සඳහන් වන පරිදි අමෙරිකානු සෙබළුන් පිරිසක් ඉරාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වන ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් හෝ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ දර්ශන කිසිදු මාධ්‍යක් වාර්තා කර නොමැත. 

ඒ අනුව අප මෙම වීඩියෝවේ රූපරාමු සහ ඡායාරූප Revers Image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට පියවර ගත්තා. 

අපගේ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වූයේ, මෙම සිදුවීම අමෙරිකා – ඉරාන – ඊශ්‍රායල යුද්ධයට අදාළ සිදුවීමක් නොව මීට වසර කිහිපයකට ඉහතදී වාර්තා වූ සිදුවීමක දර්ශනයක් සහ ඡායාරූප කිහිපයක් බවයි. ඒවා, 2016 ජනවාරි 12 වනදා ඉරානයේ ෆාර්සි (Farsi Island) දූපත අසල ඉරාන මුහුදු සීමාවට ඇතුළු වූ අමෙරිකා එක්සත් ජනපද මැරීන් සෙබළුන් 10 දෙනෙකු (සෙබළියක ද ඇතුළුව) ඔවුන් ගමන් කරමින් සිටි යාත්‍රා දෙකක් ද සමගින් ඉරාන ඉස්ලාම් විප්ලවීය බලකායේ (IRGC) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ දර්ශන සහ ඡායාරූප බවයි. පිරිස අත්අඩංගුවට ගැනිමෙන් පසු අත්අඩංගුවට පත් අවස්ථාවේ සහ රඳවා සිටි අවස්ථාවේ  දර්ශන සහ  ඡායාරූප ද ඉරාන මාධ්‍ය මගින් විකාශය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් එම පුවත මෙලෙස වාර්තා කර තිබුණා. 

Presstv

hindustantimes

සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමෙරිකානු හමුදාව මුල් අවස්ථාවේ පවසා ඇත්තේ, යාන්ත්‍රික දෝශයක් නිසා අදාළ යාත්‍රා දෙක ඉරාන මුහුදට අහඹු ලෙස ඇතුළු වී ඇති බවයි. එහෙත් IRGC නාවික හමුදාව ප්‍රකාශ කර තිබුණේ, මෙම සිදුවීම් අමෙරිකානු යාත්‍රාවල නාවික පද්ධතිවල තාක්ෂණික ගැටලුවක් නිසා සිදුව ඇති බවයි. කෙසේ වෙතත් පසුව දෙරටෙහි රාජතාන්ත්‍රික සහ ආරක්ෂක බලධාරීන් අතර පැවති කඩිනම් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගත් මැරීන් සෙබළුන් පිරිස ඉන් දිනකට පසු එනම් ජනවාරි 13 වැනිදා මුදා හැරීමට ඉරානය පියවර ගෙන තිබුණා. 

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ, මේ වනවිට පවතින යුද්ධයට අදාළව ඉරානය විසින් අමෙරිකානු සෙබළුන් අත්අඩංගුවට ගෙන ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ, 2016 වසරේ සිදුවීමට අදාළව ඉරානය විසින් නිකුත් කර තිබූ දර්ශන සහ ඡායාරූපයි.  

අමෙරිකානු මැරීන් සෙබළුන් ඉරාන නාවික හමුදාව අත්අඩංගුවට පත්වීමේ සිදුවීම අදාළ දර්ශ සහ ජායාරූප ද සහිතව එවක සියලුම ජාත්‍යන්තර මාධ්‍ය මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. 

වත්මන යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ දැනටමත් දීර්ඝ කාලයක් තිස්සේ රඳවා සිටින එක්සත් ජනපද ජාතිකයින් ගණනාවක් ඇති බැවින් ඔවුන් බේරා ගැනීම පිළිබඳ අවදානය යොමු වී ඇති බවට ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ඉරානය විසින් අමෙරිකානු නාවික භටයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ෆාර්සි දූපතේ රඳවා ඇති බව කියමින් පළ කර ඇති ඡායාරූප සහ ඉරාන හමුදා අත්අඩංගුවට පත්වූ අමෙරිකානු හමුදා සෙබළුන්  යනුවෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව පවතින යුදමය තත්ත්වයට අදාළ සිදුවීමක ඡායාරූප හෝ දර්ශන නොවන බවයි. එම ඡායාරූප සහ දර්ශන 2016 වසරේ ඉරාන නාවික හමුදාාව විසින් ඉරාන මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරි අමෙරිකානු මැරීන් භටයින්ගේ ඡායාරූප සහ දර්ශන පෙළකි. 

Result Stamp

Title: මෑතකදී ඉරාන හමුදාවේ අත්අඩංගුවට පත් අමෙරිකානු හමුදා සෙබළුන්ගේ ඡායාරූප සහ දර්ශන පෙළක් ද?

Fact Check By: Sagarika Chathumali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *