දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත නුසුදුසු අභිනයක් සිදු කරන ලද බව පවසමින් පාර්ලිමේන්තුව තුළ කතාබහක් ඇති වී තිබුණා. එසේම අමාත්‍යවරයා විසින් සිදු කරන ලද එම අභිනය ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම ඡායාරූපය සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ මැදඇඟිල්ල පෙන්වමින් දිව එලියට දමා නුසුදුසු අභිනයක් සිදු කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

ඒ සම්බන්ධයෙන් තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.



Facebook Facebook Facebook Facebook Facebook
X ඔස්සේ ද, මෙම සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 මාර්තු 20 දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් ප්‍රශ්ණයක් විමසන ලද අතර එම ප්‍රශ්ණයට පිළිතුරු ලබා දීම සඳහා අමාත්‍යවරයා විසින් සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා . පිළිතුරු ලබා දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටීම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් ප්‍රශ්ණ කිරීමට ලක් කරන අතර මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්වයක් උදගත වී තිබෙනවා.
සුළු මොහොතකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් කතානායකවරයාට කියා සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා විසින් අපහාසාත්මක අභිනයක් සිදු කළ බවයි. එම අවස්ථාවට අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින්.
තමා විසින් අධිකරණ ඇමති හර්ෂණා නානායක්කාරගෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ බලය විමධ්‍යගත කර ප්‍රාදේශීය නීතිපති කාර්‍යාල ආරම්භ කිරීම පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් විමසූ බවත් අමාත්‍යවරයා විසින් එයට පිළිතුරු දීම මගහැරි බවත් තමා විසින් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට කරුණු පවසන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තමාට අපහාසාත්මක අභිනයක් සිදු කළ බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්‍ර්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
අප විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ අදාළ දිනයේ පාර්ලිමේන්තු වාර්තාකරණයන් පරීක්ෂා කළ අතර එම කිසිඳු වාර්තාවක් තුළ අදාළ සිදුවීම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් අපහාසාත්මක අභිනයක් සිදුකරන ආකාරය දැක්වෙන දර්ශනයක් වාර්තා කර තිබුණේ නැහැ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යය වාර්තා මෙතනින්.
අමාත්‍යවරයා විසින් අදාළ අපහාසාත්මක අභිනය දක්වන අවස්ථාවේ දර්ශනයක් ඉහත කිසිඳු වාර්තාවක නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් අපහට ස්වාධීනව කරුණු තහවුරු කළ නොහැකියි. කථානායක ද මේ අවස්ථාවේ දී පවසන්නේ තමා අධිකරණ අමාත්‍යවරයා එවැන්නකි අභිනයක් සිදුකළා ද යන්න නොදුටු බවත්, ඒ ගැන ලිඛිතව පැමිණිල්ලක් ලබාදෙන ලෙසයි.
අදාළ සාක්ෂි නොමැති බැවින් අමාත්‍යවරයා විසින් එවැනි අපහාසාත්මක අභිනයක් සිදු කළ හෝ නොකළ බව ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකියි. නමුත් අමාත්‍යවරයා විසින් අදාළ අපහාසාත්මක අභිනය සිදු කළ අවස්ථාවේ දර්ශනයක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය සම්බන්ධයෙන් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්
සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කරන ලද අතර එහිදී අනාවරණය වූයේ අදාළ ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.


එසේම අප සිදු කළ පරීක්ෂාවේදී අදාළ ඡායාරූපය Google හි කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතයෙන් සංස්කරණය කර ඇති බවත්, එහි SynthID ඩිජිටල් Watermark අඩංගු බවත් තහවුරු වුණා.

මීට වසරකට පෙර පාර්ලිමේන්තුවේ ඡායාරුපයක් යොදාගනිමින් සිදුකළ සංස්කරණයක්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජායාරූපය සම්බන්ධයෙන් අප විසින් තවදුරටත් සිදු කළ පරීක්ෂාවේදී අදාළ ජායාරූපයේ අමාත්‍යවරයා ඇඳ සිටින ඇඳුම, පසුබිම සහ පසුබිමේ දිස්වන අනෙකුත් පුද්ගලයන් යන ලක්ෂණ අතිශය සමානව දැක්වෙන ජායාරූපයක් හමුවුණා.
එම ජායාරූපයේ අමාත්‍යවරයා විසින් අපහාසාත්මක අභිනයක් සිදුකරන ආකාරය දැකගන්නට ලැබෙන්නේ නැති අතර එය මෑතක දී ලබාගත් ඡායාරුපයක් ද නොවේ. මීට වසරකට පෙර, එනම් 2025 මාර්තු 08 වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදී පාර්ලිමේන්තුව අමතන අවස්ථාවක් එහි දැක්වෙනවා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. වීඩියෝව මෙතනින්.
අදාළ අවස්ථාවේ ජායාරූපයක් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අමාත්‍යවරයා විසින් අපහාසාත්මක අභිනයක් සිදු කරන බව දැක්වෙන ජායාරූපය නිර්මාණය කර ඇති බව ඒ අනුව තහවුරු වනවා.

මාධ්‍ය ලේකම් – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර
අප විසින් සිදු කළ විමසීමේදී අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් සඳහන් කළේ එවැනි ආකාරයේ අභිනයක් සිදු නොකළ බවට අමාත්‍යවරයා විසින් සඳහන් කළ බවත් අදාළ ඡායාරූපය ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් බවයි. අදාළ සිදුවීමට අදාළ වීඩියෝ වාර්තාවක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් එය ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි බවටත් වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුව තුළ අපහාසාත්මක අභිනයක් සිදු කළ අවස්ථාවක් බවට දක්වමින් හුවමාරු වන ඡායාරූපය, මීට වසරකට පෙර පාර්ලිමේන්තුවේ සිදුවූ කතාවකදී ලබාගත් දර්ශන යොදාගනිමින්, කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.
කෙසේවෙතත් අමාත්‍යවරයා අපහාසාත්මක අභිනයක් සිදු කළ බවට විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටි අතර, එසේ හෝ නොකළ බව ස්වාධීනව සත්‍යාපනය කිරීමට සාක්ෂි නොමැති බැවින්, අදාළ කරුණු සහ සාක්ෂි නිසිආකාරව නිල වශයෙන් තහවුරු වීමෙන් අනතුරුව, මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වනවා.


