
ඇතැම් අවස්ථාවලදී සැත්කම් සඳහා විශාල මුදලක් වැය වන අවස්ථා වන් වලදී ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීම සඳහා දැනුවත් කිරීම් සමාජ මාධ්‍ය හරහා බහුලව සිදු වනවා. මේ අතරින් බොහෝ සටහන් අසත්‍ය වූවත් ඇතැම් සටහන් සත්‍ය වනවා. නමුත් එවැනි සත්‍ය සටහන් වුවද නොමග යා හැකි අවස්ථාවන් බොහොමයි.
මේ එවැනි සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි.
සමාජ මාධ්‍ය සටහන් :
මොණරාගල, 5 හැවිරිදි දියණියකට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සිදු කිරීමට ඇති හෙයින් ඊට වැය වන රුපියල් ලක්ෂ 140ක මුදල එකතු කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ මෑතකදී හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහනේ 2021 වර්ෂයේ සිදු කිරීමට නියමිත සැත්කමක් ලෙස සඳහන් කර තිබෙනු අපට නිරීක්ෂණය වූවා.
එමෙන්ම ඉහත සටහන් වලට ඇතැම් පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණේ, එම දියණිය මේ වන විට ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්ම මෙම සටහන සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ, මෙම සටහන 2021 සැප්තැම්බර් මස 05 වන දා පළ වූ සටහනක් ලෙසයි. එම සටහන මෙතනින්. Archived Link
එමෙන්ම 2021 වසරේ එම කාලය තුළදී මේ සම්බන්ධ සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා අප ඉහත සටහනේ දක්වා ඇති පියා ලෙස සඳහන් දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තා.
රසික රත්නායක වන ඔහු සඳහන් කළේ, මෙම සටහන පසුගිය වසරේ සටහනක් බවත්, එම සැත්කම සඳහා මුදල් පරිත්‍යාග ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය හරහා එම සටහන් පළ වූ අතර එම ලැබූ මුදලින් පසුගිය වසරේ සැත්කම සිදු කළ බවත්, සැත්කමින් අනතුරුව නිලැස්නි රත්නායක නමැති එම දියණිය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල එම සටහන් සංසරණය වීම හේතුවෙන් දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, මුදල් පරිත්‍යාග පිරි නැමීම සඳහා එම සටහනේ දක්වා ඇති ගිණුම් සඳහා මුදල් පරිත්‍යාග සිදු කිරීම හේතුවෙන් මේ වන විටත් අදාළ ගිණුම් අවලංගු කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මොණරාගල, 5 හැවිරිදි දියණියකට ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සිදු කිරීමට ඇති හෙයින් ඊට වැය වන රුපියල් ලක්ෂ 140ක මුදල එකතු කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන පැරණි සටහනක් බවයි. එමෙන්ම මේ වන විට එම දියණිය ජීවිතක්ෂයට පත් වී ඇති බව, දියණියගේ පියා තහවුරු කරනු ලැබුවා.

Title:පස් හැවිරිදි දියණියකට ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
