මෙරට තුළ Starlink සේවාව අත්හිටුවීමට රජය තීරණය කළා ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම අත්හිටවූ බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇති වී තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“ඊලොන් මස්ක්ගේ ‘Starlink’ අත්හිටවයි ! ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බව කියමින් ආණ්ඩුව පස්සගහයි” යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ද සහිතව පුවතක් වාර්තා කර තිබුණේ මේ අයුරින්.

නමුත් මෙම ශීර්ෂ පාඨය සහිතව පළ කර තිබූ පුවතේ සඳහන් වන්නේ, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක් ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බවයි.

Fb|Archive

මෙවැනි ශීර්ෂ පාඨයක් සහිතව මෙම පුවත පළ කිරීම හේතුවෙන් මෙරට තුළ ස්ටාර්ලින්ක් සේවාව පිහිටුවීම ප්‍රමාද වීමට නිවැරදි හේතුව සම්බන්ධයෙන් සහ ස්ටාර්ලින්ක් සේවාව මෙරට පිහිටුවීම අත්හිටුවා ඇති බවට වැරදි මතයක් සමාජගත වී ඇති බව මෙම පුවත සඳහා දක්වා තිබූ අදහස්වලින් පෙනී යනවා. බොහෝ දෙනා පුවත නොකියවා සමාජ මාධ්‍ය සටහන ඔස්සේ සිය අදහස් දක්වා ඇති බවයි පෙනී යන්නේ.

එබැවින් මේ සම්බන්ධයෙන් නිවැරදි කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඊයේ (24) දිනයේ මෙරට මාධ්‍ය වාර්තා කළ පුවතක් වුණේ, මෙරට Starlink සේවාව පිහිටුවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. මෙම පුවත පළමුව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබූ අතර එහිදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ද අදහස් සහිතව එම පුවත වාර්තා කර තිබුණා.

“Starlink on hold until national security concerns are addressed” යන ශීර්ෂ පාඨය සහිතව එම පුවත වාර්තා කර තිබුණා. එනම්, “ජාතික ආරක්ෂක ගැටළු විසඳන තුරු Starlink අත්හිටුවා ඇත” යනුවෙනි.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දත්ත අන්තර්ග්‍රහණය කිරීමේ අයිතිය සහතික නොකර නව රජය සේවාවන්ට අවසර නොදෙනු ඇති බවත්,සමහර පුද්ගලයින් විසින් නීති විරෝධී ක්‍රියාවක් සඳහා Starlink චන්ද්‍රිකා සන්නිවේදන සේවා භාවිතා කරන අවස්ථා තිබිය හැකි බවත් එබැවින් ආරක්ෂක අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මේ සම්බන්ධයෙන් ස්ටාර්ලින්ක් සමඟ සාකච්ඡාවලට සම්බන්ධ වී ඇති බවයි.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික  නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසා ඇත්තේ, නීතිමය අවශ්‍යතාවයක් ඇති වුවහොත් දත්ත නීතිමය වශයෙන් අල්ලා ගැනීමට හෝ සන්නිවේදන තොරතුරු වෙත ප්‍රවේශ වීමට Starlink අයිතිය සහතික කිරීමෙන් පසුව පමණක් සේවාවන් ක්‍රියාත්මක කළ හැකි බවයි.

සමහර පුද්ගලයින් විසින් ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සඳහා Starlink චන්ද්‍රිකා සන්නිවේදන සේවා භාවිතා කරන අවස්ථා තිබිය හැකි බවත්, එසේ නම්, නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවැනි සන්නිවේදනයට අදාළ දත්ත ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ට අයිතිය තිබිය යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව මෙම පුවත තුළ Starlink සේවාව මෙරට පිහිටුවීම අත්හිටුවන බවට වාර්තා කර නොමැති අතර නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසන ලෙස සන්නිවේදන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීමෙන් පසුව පමණක්  Starlink සේවාව ක්‍රියාත්මක කළ හැකි බවටත් වාර්තා කර ඇත.

ඩිජිටල් ආර්ථික  නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

මෙරට තුළ Starlink සේවාව අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. එම පුවත මෙතනින්.

දත්ත සහ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීම සම්බන්ධයෙන් අදාළ සමාගම තුළින් සිදුවන ප්‍රමාදයක් හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“ස්ටාර්ලින් සර්විස් එක අපිට ඩෑෂ් බෝර්ඩ් එක ලබා දිය යුතුයි. අපේ ආරක්ෂක කටයුතු පිළිබඳ සොයාබැලීමක් කරන්න. ඒ පහසුකම ආවට පස්සෙ ඒ කට්ටියගෙ සර්විස් එකට ලයිව් යන්න පුලුවන්.

දැනට ලංකාවේ ISD කෙනෙක් වැඩ කරනකොට පහසුකම ලබා ගන්නා පාරිභෝගිකයා මොකක් හරි වැරදි දෙයකට ඒ සපසුකම පාවිච්චි කළෝතින්, ඒකට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒකට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය දත්ත ලබා ගැනීමේ පහසුකම තිබිය යුතුයි. ඒක කොහොමත් ඒ කට්ටියගෙ ඇග්‍රිමන්ට් එකේ තියෙනවා.

ඒක ඒගොල්ලො තවම ලබා නොදීම නිසයි තවම ලයිව් යන්න බැරි ප්‍රශ්නය තියෙන්නෙ. ඒක ඒ පැත්තෙ තියන ප්‍රමාදයක්.”

ඒ අනුව Starlink සේවාව මෙරට පිහිටුවීම අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවට අමාත්‍යවරයා ප්‍රකාශ නොකරන අතර Starlink සේවාව මඟින් දත්ත සහ සන්නිවේදන තොරතුරු අන්තර්ග්‍රහණය කර ගනිමින් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය Dashboard එකක් ලබාදීම සිදුවිය යුතු බවත්,එම පහසුකම ලබාදීමෙන් පසුව මෙම සේවාව ආරම්භ කළ හැකි බවටත්, අමාත්‍යවරයා පවසනු ලබනවා.

Starlink යනු කුමක්ද ?

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව යනු පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථාන ගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියකි. 

ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට ස්ටාර්ලින්ක්, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරනු ලැබෙනවා. සරලව පැවසුවහොත්, ස්ටාර්ලින්ක් විසින් රේඩියෝ තරංග හරහා අන්තර්ජාල දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරනු ලබනවා.

ෆයිබර් ඔප්ටික් කේබල් වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට යොමු විය හැක.

ඇමෙරිකාවේ ස්ථාපිත එලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60 ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කරනු ලැබුවා.

Starlink සැටලයිට් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමේ සැලසුම

2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති පෙර රජය විසින් Starlink සමාගමට මෙරට තුළ සේවාව ලබාදීමට අවසරයක් ලබා දී තිබුණා. එහෙත්, වත්මන් රජය එම තීරණය පිළිබඳ නැවත සලකා බලමින් සිටිනවා. 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මීට පෙර Starlink සේවාව සඳහා පැකේජ පහකට අනුමැතිය ලබා දී තිබුණා. මෙම පැකේජවල මිල ගණන් රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 දක්වා විහිදෙයි. එහෙත්, ඉහත කරුණු පරීක්ෂාවේ සඳහන් කළ ලෙස දත්ත පරීක්ෂා කිරීමට මෙරටට එම සමාගමෙන් අවසරයක් නොලැබීම හේතුවෙන්, මෙම සේවාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වී ඇත.

මෙරටට Starlink සේවාව ලබාගැනීම සම්බන්ධ වැඩිදුර විස්තරයක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම අත්හිටවූ බවට පළවන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු බවයි.

නීතිමය අවශ්‍යතාවයක් ඇති වුවහොත් දත්ත නීතිමය වශයෙන් අල්ලා ගැනීමට හෝ සන්නිවේදන තොරතුරු වෙත ප්‍රවේශ වීමට අයිතිය ලබාදීම එම සමාගමෙන් සහතික කිරීමෙන් පසු, එනම්, ඔවුන් එම සේවාව සැපයීමේදී ලබාදිය යුතු ඩෑෂ් බෝඩර් එක ලබාදීමෙන් පසු මෙම සේවාව මෙරට ක්‍රියාත්මක කළ හැකි බවයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එඅරංග වීරරත්න පවසන්නේ.

Avatar

Title:මෙරට තුළ Starlink සේවාව අත්හිටුවීමට රජය තීරණය කළා ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *