දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෑතකදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරත් සමග ලෝකයේ බොහෝ දෙනෙක් ගුවන් යානා ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්. සමාජ මාධ්‍ය වේදිකාවල ගුවන් යානා ආශ්‍රිත සිදුවීම් සම්බන්ධ බොහෝ සත්‍ය සටහන්, වීඩියෝ මෙන්ම පරිශීලකයින් නොමග යවන සුලු ආකාරයේ අසත්‍ය පළ කිරීම් ද බහුලව දැකගත හැකියි. මේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින ගුවන් යානා අනතුරක් බව කියන වීඩියෝවක නිරවද්‍යතාව පිළිබඳ සිදුකළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
” ගුවන් නියමුවාගේ දක්ෂතාව නිසා වෙන්න ගිය ලොකු අනතුරක් වැළකී ගියා” යනුවෙන් සඳහන් කරමින් විනාඩි 10කට ආසනන් කාලයක් දක්වා දිවෙන මෙම වීඩියෝව පසුගිය 22 වනදා පළ කර ඇත්තේ, #srilanka #planecrash යන හෑෂ් ටැග්ස් ද සහිතවයි. දර්ශන පෙළට අනුව විශාල ගින්නක් ද සමග ගුවන් යානයක් ගුවන්තොටුපොළකට ගොඩබස්වන අතර ඒ වන විටත් යානයේ පිටුපස කොටසේ ගිනිගනිමින් ඇති ආකාරයක් දැකගත හැකියි. යානය තුළ සිටින මගීන් ජීවිත බේරා ගැනීම සඳහා යානයේ හදිසි පිටවීම් දොරටුවලින් ඉවතට පනින ආකාරය ද දැකගත හැකියි. ඒ සමගින් ගිනිනිවීම් රථ, ගිලන් රථ සහ සහන සේවකයින් වාහාම එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට දැඩි ප්‍රයත්නයක් දරන ආකාරයක් ද පෙනේ. කෙසේ වෙතත් අදාළ දර්ශන පෙළට අනුව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකිවන ආකාරයක් පෙන්නුම් නොකරන අතර කෙසේ වෙතත් යානයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම පාහේ ගිනි ගෙන ඇති බවක් නිරීක්ෂණය වේ.
මේ අතර මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව හුවමාරුවී තිබුණේ මේ අයුරිනි.
ඒ අනුව මෙය සැබෑ ලෙසම මෙය ශ්‍රී ලංකාවේදී ගුවන් යානායක් ගිනිගන්නා හෝ වෙනත් රටකදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් දැයි අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මගීන් රැගත් ශ්‍රීලංකන් ගුවන් යානයක හෝ ශ්‍රී ලංකාවේදී වෙනත් යම් හෝ ගුවන් යානයක මෙවැනි ගින්නක් හට ගත්තේ නම්, එය මෙරට ප්‍රධාන ධාරාවේ සියලුම මාධ්‍යවල මෙන්ම සෙසු මාධ්‍යන්හි ද ශීර්ෂ පාඨ සහිත පුවතක් වනු නොඅනුමානයි. එහෙත් අදාළ දිනයේ හෝ ආසන්න දිනයකදී කිසිදු මාධ්‍යක් මෙවැනි පුවතක් වාර්තා කර ඇති බවක් දැකගන්නට නොමැත. මෙලෙස ගිනිගැනීමට ලක්වන යානය ශ්‍රීලංකන් ගුවන් යානයක් බවට හෝ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළකදී සිදු වූ ගිනිගැනීමක් බවට බැලූ බැල්මට පෙන්නුම් නොකරන නිසා අප එය සමීපව නිරීක්ෂණය කළේ ය. එහිදි දැකගත හැකි වූයේ මෙම ගුවන් යානය ශ්‍රීලංකන් නොව රුසියානු ගුවන් සේවය වන Aeroflot ලාංඡනය සහිත ගුවන් යානයක් බවයි.
තව ද මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කරමින් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට අප ක්‍රියා කළේ ය. එහිදී ඉහත වීඩියෝවේ රූප රාමුවලට සමාන රූපරාමු සහිත වීඩියෝ දර්ශන බොහෝ විදෙස් මාධ්‍ය ඔස්සේ මෙලෙස පළ කර තිබෙනු දැකගත හැකි වුණා.
ඒ අනුව තවදුරටත් සිදුකළ කරුණු පරීක්ෂාවේදී තහවුරු වූයේ, මෙම වීඩියෝව 2019 මැයි 05 වැනිදා මොස්කව්හි ෂෙරෙමෙටෙවෝ ගුවන් තොටුපළේ සිදුවූ Aeroflot ගුවන් යානය ගිනිගන්නා අවස්ථාවේ දර්ශන පෙළක් බවයි. වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතැනින්
ජීවිත 41 ක් බිලිගත් Aeroflot ගුවන් යානා අනතුර
2019 මැයි 05 වැනිදා රුසියාවේ මොස්කව්හි ෂෙරෙමෙට්යෙවෝ ගුවන් තොටුපළෙන් ගුවන්ගත කෙරුණු Aeroflot Sukhoi Superjet 100 යානය හදිසියේම ගොඩබෑමත් සමග හටගත් ගින්නෙන් පුද්ගලයින් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් යානා අනතුරේ දර්ශනවලට අනුව යානයේ සිටි මගීන් යානය ගිනිගන්නා අතරතුරම යානයේ හදිසි පිටවීමෙන් බිමට පනින ආකාරය ද දැකගත හැකි වූ අතර අනතුර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රුසියානු ජාතික ගුවන් සේවය පවසා තිබුණේ, තාක්ෂණික දෝෂයක් මත යානය යළි ගොඩබැස්සවූ බවයි. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 73 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සිට තිබුණා. මගීන් 33 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 37 දෙනෙකු අනතුරින් දිවිගලවා ගත්තා. මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින්.
ඒ අනුව මෙම අනතුර මෙරට සිදු වූ ගුවන් අනතුරක් හෝ ශ්‍රීලංකන් ගුවන් යානයක් වෙනත් රටක ගුවන්තොටුපොළක ගිනි ගන්නා ආකාරය නොවන බව පැහැදිලි වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, “ගුවන් නියමුවාගේ දක්ෂතාව නිසා වෙන්න ගිය ලොකු අනතුරක් වැළකී ගියා” යනුවෙන් ෆේස්බුක් ඔස්සේ මුදා හැර ඇති ඉහත වීඩියෝව කිසිදු ආකාරයකින් මෙරටදී ශ්‍රීලංකන් ගුවන් යානයක් හෝ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළකදී හෝ ගුවන් යානක් ගිනි ගන්නා දර්ශන පෙළක් නොවන බවයි. එය මීට වසර කිහිපයකට ඉහතදී රුසියාවේ මොස්කව්හි ෂෙරෙමෙට්යෙවෝ ගුවන් තොටුපළේදී Aeroflot Sukhoi Superjet 100 ගුවන් යානය ගිනිගත් සිද්ධියේ දර්ශන පෙළක් බවත් පැහැදිලි වේ. සංවේදී මෙන්ම, සමස්ත ලෝකයේ ම අවධානයට ලක්වන සමාජය නොමග යවන සුළු ආකාරයේ බරපතළ ගනයේ සිදුවීම් සමාජමාධ්‍ය ජාලා ඔස්සෙ පළ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයකි.

Title:ශ්‍රීලංකන් ගුවන් යානයක් ගිනි ගන්නා වීඩියෝවක් ද?
Written By: Fact Crescendo TeamResult: Misleading
