දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බොහෝ අවස්ථාවන්හිදී කලාකරුවන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍යයේ පැතිර යන්නේ ලැව් ගිනි පැතිර යන්නාක් මෙනි. විශේෂයෙන් ජනහිතකාමී කාලාකරුවන්ගේ දිවිගමනට මුදුන් බවට වන පුවත් ඒ අතරින් විශේෂයි. එවැනි සංවේදී සටහනක් දුටු සැනින් එය හුවමාරු කර ගැනීම සහ ශෝකය පළ කිරීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ අනුව රෙක්ස් කොඩිප්පිලි කලාකරුවා මියයාම පිළිබඳ පුවත සමාජය නොමග යවන සුළු ආකාරයෙන් පළ කර තිබීම පිළිබඳ සිදුකළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සිංහල සිනමවේ ආදරණීය ප්‍රතිවීරත්වය දිවි රඟ මඩලට සමුදෙයි. රෙක්ස් කොඩිප්පිලි ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්! යනුවෙන් සඳහන් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර තිබුණේ පසුගිය ජූලි 03 වැනිදා ය.
රෙක්ස් කොඩිප්පිලි කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරන මෙම සටහනට සමාජ මාධ්‍ය පරිශීලකයින් රැසක් ශෝකය පළ කරමින් ප්‍රතිචාර දක්වා තිබූ අතර තවත් බොහෝ පිරිසක් මෙය තම ෆේස්බුක් ගිණුම් වෙත හුවමාරු කර ගෙන තිබූ ආකාරය ද දැකගත හැකි වුණා.
ඒ අනුව රෙක්ස් කොඩිප්පිලි කලාකරුවාගේ මියයාම පිළිබඳව සමාජය නොමග යවන සුළු ආකාරයෙන් පළ කර තිබූ මෙම සටහන් පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව රෙක්ස් කොඩිප්පිලි කලකරුවාගේ අභාවය පිළිබඳව මෙරට පිළිගත් මාධ්‍ය නාලිකා තෙරතුරු වාර්තා කර තිබූ දින වකවානු පිළිබඳව අප තොරුතරු සොයා බැලුවා. 2023 දෙසැම්බර් 24 වනදා ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි යන ශීර්ෂය යටතේ බොහෝ පුවත් වාර්තා කර තිබුණා.
අවුරුදු 85ක් ආයු වළඳා රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ රෝගී තත්ත්වයක් මත 2023 වසරේ දෙසැම්බර් 24 වැනිදා මියගිය බවට වන පුවත ප්‍රධාන පෙළේ සෑම මාධ්‍ය නාලිකාවක් ම පාහේ වාර්තා කර තිබූණා. එවැනි පුවත් කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
තව ද සිංහල සිනමාවට මාහැගි මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට කලාකරුවෙකු වන රෙක්ස් කොඩිප්පිලි කලාකරුවා පිළිබඳව අන්තර්ජාලයේ ඔස්සේ විමසුමක් සිදුකළ අතර එහිදී ද ඔහු මියගිය දිනය ලෙස පැහැදිලිව සඳහන් වූයේ, 2023 දෙසැම්බර් 24 වනදායි.
මේ අතර අප පසුගිය 3 වැනිදා රෙක්ස් කොඩිප්පිලි මහතා මියගිය බවට වන සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන ඇති ඡායාරූපය පිළිබඳ අප විමසුමක් සිදු කළ අතර එහිදී අපට Dream Force – Sri Lanka නම් ෆේස්බුක් පිටුව 2023 වසරේ දෙසැම්බර් 24 වැනිදා ඊට සමාන ඡායාරූපයක් පළ කර තිබෙනු දැකගත හැකි වුණා. එම ඡායාරූපය සහ රෙක්ස් කොඩිප්පිලි මහතාගේ අභාවය පිළිබඳ දැනුම්දීමට පසුගිය 3 වැනිදා පළ කර තිබූ සටහන සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපය මෙන්ම එහි සඳහන් කරතිබූ පාඨයේ අක්ෂරවල පවා කිසිදු වෙනසක් දැකගත නොහැකි විය.
ඒ අනුව පැහැදිලි වන්නේ, පසුගිය 3 වැනිදා රෙක්ස් කොඩිප්පිලි මහතාගේ අභාවය පිළිබඳ පළ කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ, 2023 වසරේ දෙසැම්බර් 24 වැනිදා Dream Force – Sri Lanka නම් ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූපය බවයි.
රෙක්ස් කොඩිප්පිලිගේ දිවියෙන් බිඳක්..
මෙරට සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට වෙනුවෙන් නැතුවම බැරි චරිතයක් වූ රෙක්ස් ජෝසෆ් කොඩිප්පිලි 1938 වසරේ ඔක්තෝබර් 6 වැනිදා බදුල්ලේදී උපත ලබන්නේ, පිරිමි ළමුන් 3 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙසයි. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු පොලිස් සේවයට බැඳෙන ඔහු වසර 5කට පසු පොලිස් සේවයට සමුදෙයි.
රෙක්ස් කොඩිප්පිලි කතුරු මුවාත් චිත්‍රපටයේ පික් පොකට්කරුවෙකුගේ චරිතයකට පණ පොවමින් අහම්බෙන් සිනමාවට ප්‍රෙව්ශ වන අතර 1972 වසරේදී ලොකුම හිනාව චිත්‍රපටයේ අවදානම් ජවනිකා කිහිපයකට පෙනී සිටියදී බරපතළ අනතුරකට මුහුණ දී වසරකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටියේ ය. 1982 වසරේදී බයිසිකලේ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් කොඩිප්පිලි මහතා චිත්‍රපට නිෂ්පාදනය සහ තිර රචනයට ද පිවිසියේ ය.
කතුරු මුවාත්, ලොකු ම හිනාව, අපරාධය සහ දඬුවම, දුප්පතාගෙ හිතවතා, මගේ නංගි ශ්‍යාමා, කවුද රජා, නිල්ල සොයා, ආශා දෑසින් ඇතුළු චිත්‍රපට 130කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ඔහු 2019 වසරේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 2023 වසරේ දෙසැම්බර් 24 වනදා රෝගී ත්ත්තවයක් හේතුවෙන් රෙක්ස් කොඩිප්පිලි (85) මහතා දිවි රඟ මඩලට සමුදුන්නේ ය. වැඩි විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ මියගොස් ඇත්තේ, පසුගිය දිනෙක නොව, මීට වසර එක හමාරකට පමණ ඉහතදී එනම් 2023.12.24 වැනිදා බවයි. පසුගිය 3 වැනිදා රෙක්ස් කොඩිප්පිලි මහතාගේ මිය ගිය බවට වන සමාජ මාධ්‍ය සටහන 2023.12.24 වැනිදා ඔහු මියගිය දිනයේ පළ කර තිබූ ෆේස්බුක් ගිණුමකින් උපුටා ගෙන මෙලෙස පළ කර ඇති බවත් ඒ අනුව මෙය සමාජය නොගමග යැවීමේ අරමුණින් හිතාමතාම සිදු කරන ලද පළ කිරීමක් බවත් පැහැදිලි වේ.

Title:රෙක්ස් කොඩිප්පිලි කලා කරුවා මියයාම පිළිබඳ සමාජය නොමග යවන පුවතක්!
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
