ජනපති අනුරගේ නිල සංචාරයක් පිලිබඳ තොරතුරු නොමැති බවක්, ජර්මානු රජයේ විදේශ කටයුතු කාර්යාලය පැවසුවා ද ?

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

2025 ජුනි මස ජනපති අනුර කුමාර දිසානායක ජර්මනියේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පළවී තිබුණා. මේ අතර ජනපති අනුර එම සංචාරයට සහභාගී වුයේ නිල සංචාරයක ලෙස නොවන බව හඟවමින්, ඒ බවට එරට විදේශ කටයුතු ෆෙඩරල් කාර්යාලය තහවුරු කළ බව ද දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබූ අතර එහි නිරවද්‍යතාවය සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණු සටහන පහතින්. 

අනුරගේ ජර්මන් සංචාරය ගැන තොරතුරු නෑ, ජර්මනියේ විදේශ කටයුතු ෆෙඩරල් කාර්යාලය.

ජර්මනියේ තියනවා තොරතුරු දැන ගැනීමේ වෙබ් පිටුවක්. https://fragdenstaat.de/

ඒකෙන් රජයට අදාලා අමාත්යාංශයවල තොරතුරු ඉල්ලන්න පුලුවන්

මේ යටතේ මම ජර්මනියේ විදේශ කටයුතු කාර්යාලයට ඉල්ලීමක් කරා අනුරගේ 2025 ජුනි 14 ජර්මන් සංචාරය ගැන.

මම ඇසුවේ,

එරට IFG හි 1 වන වගන්තියට අනුකූලව පහත කරුණු

1. 2025 ජුනි 14 වන දින ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජර්මනියේ සංචාරය ජර්මානු ෆෙඩරල් රජයේ ආරාධනයක් මත සිදු වූවාද (රාජ් සංචාරයක් හෝ නිල සංචාරයක්)?

2. ජනාධිපති දිසානායක ජර්මනියේ ගත කළ කාලය තුළ සිදු කළ සියලුම සංචාර සහ හමුවීම් නිල ස්වභාවයක් ගත් ඒවාද, නැතහොත් ඔහු පෞද්ගලික හමුවීම්වලටද සහභාගී වූයේද?

මෙයට පිලිතුර වශයෙ මට ලැබුනේ, මේ සම්බන්ධව ජර්මනියේ විදේශ කටයුතු ෆෙඩරල් කාර්යාලය තොරතුරු නොමැති බවයි.

එහෙනම් අනුර ජර්මන් ගියේ කාගේ වියදමෙන්ද ?

මේ ලබා දී තිබෙන තොරතුරු වැරදිනම්,ලංකා රජය අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිරිමි.

පහත ජර්මන් භාශාවෙන් ලැබුන පිලිතුර හා පරිවර්තන ඇතුලත් කර ඇත.”

Facebook | Archived Link  FB | FB | FB

මේ පිළිබඳව YouTube ඔස්සේ ද, වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙහි පෙන්වා දී ඇති අයුරින් ජනපති  නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජූනි 11 වන දා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේ මෙලෙසින්.

ජනපති අනුර ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වන්නේ එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුව බව මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය වෙත පැමිණි ජනාධිපතිවරයා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ජර්මානු ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබූ අතර මෙරට මාධ්‍ය ද, එම අවස්ථාව පිළිබඳ ප්‍රවෘත්ති විකාශයේ පළ කර තිබුණා.

ජර්මානු මාධ්‍ය සහ විදේශ කාර්යාලය ජනපති අනුරගේ සංචාරය වාර්තා කළා ද ?

ජර්මනියේ ඇතැම් මාධ්‍ය ද, ජනපති අනුර එරට දී සිදුකළ සංචාරයේ අවස්ථා සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එසේම Auswärtiges Amt ෆෙඩරල් විදේශ කාර්යාලයේ පුවත් පලකරන නිල ‘X’ ගිණුම මගින් ද (Current news from the Federal Foreign Office – In English),  ජනපති අනුර බර්ලිනයේදී පිළිගත් බවට ඡායාරූප සටහනක් මගින් ම සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙම සංචාරය නිල සංචාරයක් නොවුනා නම් ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව නිල පිළිගැනීමේ උත්සවයක් පවත්වා මෙලෙසින් මෙරට ජනපති පිළිගැනීම සිදු නොවනු ඇත.  මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශවීය සාකච්ඡා ද, වූ බව ත්, රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු වූ බව ත් ඒ පිළිබඳ ඡායාරූ සහ වීඩියෝ මගින් ද, දැක ගන්නට ලැබේ. වීඩියෝ දර්ශන මෙලෙසින්.

එසේ තිබියදී, ජර්මනියේ විදේශ කටයුතු ෆෙඩරල් කාර්යාලය මගින් මේ පිළිබඳ තොරතුරු නොමැති බවට දක්වා තිබීමක් සිදුවිය හැකි ද ?

ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය 

මේ ගැන පැහැදිලි කිරීමක් ලබාගැනීමට, ජර්මානු සියලුම රාජ්‍ය තාන්ත්‍රික සහ නිල සංචාර හසුරුවන ෆෙඩරල් විදේශ කාර්යාලය (Auswärtiges Amt) ෆෙඩරල් රජයේ මාධ්‍ය සහ තොරතුරු කාර්යාලය (Bundespresseamt) වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරමින් අප වැඩිදුර කරුණු විමසනු ලැබුවා.

ෆෙඩරල් විදේශ කාර්යාලය විසින් අපට තොරතුරු සනාථ කරමින් පිළිතුරු විද්‍යුත් තැපෑලක් යොමු කර තිබූ අතර එයට පිළිතුරු ලබාදෙමින් ඔක්තෝබර් 14 වැනිදා පවසා තිබුනේ ඉහත සමාජ මාධ්‍ය සටහන නිසා ඇති වී ඇති ව්‍යාකූලත්වය පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර සිටින බවයි.

ඒ ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින්, Auswärtiges Amt හෙවත් ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය නැතහොත් ජර්මනියේ නිල විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආසියානු පැසිෆික් කාලපය පිලිබඳ තොරතුරු නිලධාරියා ලබාදුන් තොරතුරු පහතින්.

විදේශ කටයුතු අමාත්‍යාංශය (Auswaertiges Amt) සහ විදේශ කටයුතු සඳහා වූ ෆෙඩරල් ඒජන්සිය (Bundesamt für Auswaertige Angelegenheiten නැතහොත් BfAA) යනු වෙනස් රජයේ ආයතන දෙකකි. (විවිධ නගරවල කාර්යාල ද පිහිටුවා ඇත) 

යම් හෙයකින් අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයා විසින් යොමු කර තිබු ප්‍රශ්නය වැරදීමකින් BfAA වෙත යොමු වී ඇති අතර, කෙසේ වෙතත්, එය ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ සංචාර වැනි විදේශ ප්‍රතිපත්ති කටයුතුවලට සම්බන්ධ ආයතනයක් නොවේ.

එමෙන් ම ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක මහතාගේ සංචාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට/ෆෙඩරල් විදේශ කාර්යාලයට,  frag-den-staat (සමාජ මාධ්‍ය පරිශීලකයා සිය පැණය යොමු කළ ආයතනය) හරහා කිසිඳු ප්‍රශ්න කිරීමක් නොලැබුණු බවයි.

2025 ජුනි 11 සිට 14 දක්වා බර්ලිනයේ ජනපති අනුරගේ සංචාරය රටවල් දෙකෙහි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ඉතාමත් වටිනා සහ වැදගත් සලකුණක් ලෙස ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය සලකන බවත් එම විද්‍යුත් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

එම විද්‍යුත් ලිපිනය පහතින්.

පටලැවිල්ලට හේතු වූ කරුණු:

මෙහිදී සිදුවී තිබෙන්නේ, සමාජ මාධ්‍ය පරිශීලකයා විසින්, ජනපති අනුරගේ විදේශ සංචාරය පිළිබඳ සිය ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ, FragDenStaat නමැති නිල ජර්මානු රජයේ ආයතනයක් හෝ අමාත්‍යාංශයක් වෙත නොවේ. 

මෙම ආයතනය ජර්මානු බලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට පුරවැසියන්ට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) වන Open Knowledge Foundation Germany විසින් ක්‍රියාත්මක කරනු ලබන සිවිල් සමාජ වේදිකාවකි. මෙම වේදිකාව පරිශීලකයින්ට නිදහස් තොරතුරු පිළිබඳ පනතේ ඉල්ලීම්, ජර්මානු සහ EU පොදු බලධාරීන්ට ඉදිරිපත් කිරීමට හැකියාව ලබා දෙයි, නමුත් එය රජයේ ආයතනයක් නොවේ.

මේ අනුව සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති අදාළ විද්‍යුත් ලිපියේ පිළිතුර සමඟ පෙනී යන්නේ අදාළ ආයතනය විසින් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයා යොමු කර ඇති ප්‍රශ්නය Bundesamt für Auswärtige Angelegenheiten (BfAA) ආයතනයකට ඉදිරිපත් කර ඇති බවයි. නමුත් මෙය ජර්මනියේ විදේශ අමාත්‍යාංශය / ෆෙඩරල් විදේශ කාර්යාලය නොවේ. මෙය ජර්මානු Auswärtiges Amt (ෆෙඩරල් විදේශ කාර්යාලය) යටතේ ක්‍රියාත්මක වන, විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතු පිළිබඳව සේවා සපයන ආයතනයයි. 

මෙම ආයතනයේ කාර්යභාර අතර මානුෂීය ආධාර ව්‍යාපෘති සඳහා අරමුදල් කළමනාකරණය, ඇතැම් වීසා සැකසීමේ කටයුතු, ෆෙඩරල් විදේශ කාර්යාලයන්හි වෙනත් රටවල ඇති දේපළ යනාදිය කළමනාකරණය​ ඇතුළු පරිපාලන කටයුතු දැක්විය හැක. නමුත් රජයන් අතර රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී කටයුතු කරන්නේ සෘජුවම විදේශ කටයුතු අමාත්‍යංශයයි.

Conclusion (නිගමනය)

ඒ අනුව පැහැදිලි වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක, ජර්මනියේ නිල සංචාරයක් නොකළ බවට, ජර්මානු රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලැබුණු පිළිතුරක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ ඉහත සටහන හේතුවෙන්, සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් ඇති බවයි.

ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය Auswärtiges Amt (ෆෙඩරල් විදේශ කාර්යාලය)  අපට විද්‍යුත් ලිපියක් ඔස්සේ කරුණු පැහැදිලි කරමින් සඳහන් කර සිටියේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ජනපති අනුරගේ සංචාරය ඉතාමත් වටිනා සහ වැදගත් සලකුණක් ලෙස ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය සලකන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Avatar

Title:ජනපති අනුරගේ නිල සංචාරයක් පිලිබඳ තොරතුරු නොමැති බවක්, ජර්මානු රජයේ විදේශ කටයුතු කාර්යාලය පැවසුවා ද ?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply