ප්‍රශ්නගත නෙස්ලේ ළඳරු කිරිපිටි නැවත කැඳවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් අයිති ද?  

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නෙස්ලේ සමාගමේ විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ළඳරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් සම්බන්ධයෙන් මේ වනවිට ගෝලීය වශයෙන් අවධානය යොමු වී තිබේ. ඒ ළදරු කිරිපිටි කාණ්ඩ කිහිපයක ආහාර විෂවීමකට හේතුවිය හැකි විෂ ද්‍රව්‍යක් අඩංගු වියහැකි බවට මත පළ වීමත් සමගයි. මේ ඒ පිළිබඳව Fact Crescendo අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක්. 

සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :

Cereulide නම් විෂ ද්‍රව්‍යක් අඩංගුවිය හැකි බවට පරීක්ෂණවලින් පෙන්නුම් කර ඇති බැවින් ලොව පුරා නෙස්ලේ NAN කිරිපිටි නැවත කැඳවන බව මෙම ෆේස්බුක් සටහනේ සඳහන්ව ඇත. 

Facebook | Archived Link

එම තේමාවෙන්ම පළ වී තිබූ, පසුව යාවත්කාලීන කරන ලද තවත් සටහනක් පහතින්. 

Facebook | Archived Link

මෙම සටහන්වල නිර්වද්‍යතාව පිළිබඳව විමසමින්, ලොවපුරා මෙන්ම විශේෂයෙන්ම ලංකාවේ නෙස්ලේ ළදරු කිරිපිටිවල ඇති අවදානම් තත්වය ද විමසමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් අප වෙත යොමු කරන ලද ඉල්ලීම් ද සලකා ඒ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.  

Explainer (කරුණුපැහැදිලිකිරීම) :

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා 

නෙස්ලේ සමාගම විසින් විවිධ සන්නාම යටතේ ලොව පුරා බෙදාහරින ලද ළඳරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක් යළි කැඳවා ඇති බවට පුවත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමග එය ලෝකය පුරා අවධානයට ලක් කරුණක් බවට පත්වුණා. 

බීබීසී පුවත් ස්වය වාර්තා කරන්නේ, ආහාර විෂවීමට හේතුවක් විය හැකි විෂ ද්‍රව්‍යක් අඩංගුවි ඇති බවට ඇති වූ සැකය මත නෙස්ලේ සමාගම පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස ළඳරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක් ගෝලීය වශයෙන් ආපසු කැඳවීමක් සිදු කර ඇති බවයි. නෙස්ලේ සමාගම උපුටා දක්වමින් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ලොව පුරා අලෙවි වී ඇති සිය ළඳරු කිරිපිටි නිෂ්පාදනයේ කාණ්ඩ කිහිපයක් ළඳරුවන්ට ලබාදීම ආරක්ෂිත නොවන බවයි. 

සෙරියුලයිඩ් (Cereulide) අඩංගුවිය හැකි එම කිරිපිටි ලොවපුරා අලෙවි වී ඇති බවත් කෙසේ වෙතත් කිරිපිටි පානයෙන් කිසිදු දරුවෙකු රෝගී වූ බවට මෙතෙක් වාර්තා නොමැති බවත් පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස ස්වේච්ඡාවෙන් අදාළ කාණ්ඩ යළි කැඳවීම සිදු කරන බවත් සමාගම පවසා තිබු බවත් එහි දැක්වෙනවා. 

මේ අතර තවත් විදෙස් මාධ්‍ය වාර්තතාවක දැක්වෙන්නේ, නෙදර්ලන්තයේ Nunspeet කර්මාන්තශාලාවේ සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු මෙලෙස පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස කිරිපිටි යළි කැඳවීම ආරම්භ කර ඇති බවයි. 

පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස ලෙස එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ඇතුළුව මැදපෙරදිග රවල් කිහිපයක් ද  නෙස්ලේ ළඳරු කිරිපිටි තොගයක් යළි කැඳවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. එම වාර්තාවේ දැක්වෙන්නේ ‍ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව, ඉරානය, කුවේට්, ඕමානය, කටාර් සහ සෞදි අරාබිය යන කිරිපිටි තොග මෙලෙස ආපසු කැඳවා ඇති බවයි.  තව ද UAE  ඖෂධ  ආයතනය උපුටා දක්වමින් අදාළ වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ,  NAN Comfort 1, NAN Optipro 1, NAN Supreme Pro 1, 2, 3, S-26 Ultima 1, 2, 3, සහ Alfamino නිෂ්පාදන  කාණ්ඩ යළි කැඳවීම සිදු කර ඇති බවයි. 

මේ අතර UAE  ඖෂධ ආයතනය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ, බලපෑමට ලක්ව ඇති නිෂ්පාදන කාණ්ඩ ලබාදීමෙන් දරුවන් රෝගී වූ බවට වාර්තාවීම් හෝ තහවුරුවීම් කිසිවක් නොමැති බවයි. ප්‍රශ්නගත ළඳරු කිරිපිටි නිෂ්පාදනයන්ට අදාළව පළ වී තිබූ තවත් මාධ්‍ය වාර්තා කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්  

නෙස්ලේ සමාගමේ කරුණු පැහැදිලි කිරීම 

සිය සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ළඳරු කිරිපිටි සම්බන්ධව මතුව ඇති තත්ත්වයට අදාළව නෙස්ලේ සමාගම උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, සැපයුම්කරුවෙකු විසින් සපයන ලද අමුද්‍රව්‍යක ගැටලුවක් පිළිබඳව අනාවරණය වීමෙන් පසු භාවිත කරන සියලුම ළඳරු පෝෂණ නිෂ්පාදන පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි. බලපෑමට ලක් විය හැකි ළදරු නිෂ්පාදන සඳහා භාවිත කළ සියලුම arachidonic acid (ARA) තෙල් සහ අදාළ තෙල් මිශ්‍රණ සියල්ලම පරීක්ෂාවට ලක් කර ඇති බව ද එහි සඳහන් වේ 

සමාගම වැඩිදුරටත් නිවේදනය කරන්නේ, මේ දක්වා අදාළ නිෂ්පාදන හා සම්බන්ධව කිසිදු දරුවෙකු රෝගී වී ඇති බවට වාර්තා නොවන බවත්  දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව යම් ගැටලුවක් පවතින්නේ නම්, වාහම ළමා රෝග විශේෂඥවරයෙකු හමුවන ලෙසයි.  කෙසේ වෙතත් සමාගම නිකුත් කළ උපදෙස් මාලාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, රෝග ලක්ෂණ පහළ නොවුණ ද  ආපසු කැඳවීමේ දැන්වීට අදාළ ප්‍රශ්නගත නිෂ්පාදනය භාවිතය නතර කළ යුතු බවයි. 

කුමන රටවල සහ වෙළඳ සන්නාමයටන්ට ද යළි කැඳවීම අදාළ වන්නේ? 

නෙස්ලේ සමාගමට අනුව බලපෑමට ලක්වූ මේ දක්වා නෙස්ලේ ළඳරු කිරිපිටි නිෂ්පාදන යළි කැඳවා ඇති රටවල් ලැයිස්තු පහත පරිදි වේ

මේ ගැන තවත් වාර්තාවක් මෙතනින්. කෙසේවෙතත්, මෙම රටවල් අතර ලංකාව, ඉන්දියාව යනාදී කලාපිය රටවල් සඳහන් නොවීම නිසා, උද්ගත වී ඇති තත්වය මත දේශීය පාරිභෝගිකයින්ට ඇති බලපෑම ගැන දැනගැනීමට අප නෙස්ලේ ලංකා සමාගම සම්බන්ධ කර ගත්තා.

ශ්‍රී ලංකාවේ තත්ත්වය – නෙස්ලේ ශ්‍රී ලංකා ප්‍රතිචාරය 

නෙස්ලේ ආයතනය පැවසුවේ, නෙස්ලේ ලංකා සමාගම විසින්, ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන සියලු නිෂ්පාදන පරිභෝජනය සඳහා සුරක්ෂිත බවත් සිය සමාගම විසින් මෙරට තුළ බෙදා හරින නිෂ්පාදන කිසිවක් ස්වේච්ඡාවෙන් යළි කැඳවීමේ ක්‍රියාවලියට අදාළ නොවන බවත් ය. 

මීට අදාළව නෙස්ලේ ලංකා සමාගම නිවේදයක් ද නිකුත් කර තබුණා. අදාළ නිවේදනය පහතින්.  

නැවත කැඳවීමට ලක්වූ නිෂ්පාදන, විදෙස් රටවලින් කිරිපිටි ගෙන්වා විකුණන වෙළඳසැල්වල තිබිය හැකි ද?

මෙසේ නැවත කැඳවීමට ලක්වූ ඇතැම් ළදරු නිෂ්පාදන නිල වශයෙන් නෙස්ලේ සමාගම හරහා ලංකාවේ බෙදා හැරීමක් සිදුවන්නේ නැති නිසා, ප්‍රශ්නගත සෙරියුලයිඩ් හේතුවෙන් මෙරට වෙළඳපොලේ සෘජු බලපෑමක් නොමැති වුවද, නැවත කැඳවන ලද ඇතැම් (SMA වැනි) වෙළඳ නාම විදෙස් රටවලින් ආනයන කරන ආයතන සහ මාර්ගගත විකුණුම්කරුවන් හරහා ශ්‍රී ලංකාව තුළ මිලදී ගත හැකිය. එබැවින් දෙමාපියන් එවැනි නිෂ්පාදන මිලයට ගන්නේ නම් ජාත්‍යන්තර නැවත කැඳවීමේ ලැයිස්තු සමඟ පරීක්ෂා කළ යුතු වෙනවා.

බලපෑමට ලක්වූ නිෂ්පාදනයක් ඔබ සතුව තිබේදැයි පරීක්ෂා කර ගන්නේ කෙසේ ද? 

එසේම නෙස්ලේ මව් සමගාම සිය ගෝලීය දැනුම්දීම හරහා වැඩිදුරටත් පවසා තිබුනේ, ARA තෙල් ගෝලීය වශයෙන් අලෙවි කරන විවිධ ළදරු නිෂ්පාදන සඳහා භාවිත කරන බැවින්, බලපෑමට ලක්වූ නිශ්චිත වෙළඳ නාම සහ නිෂ්පාදන රටින් රටට වෙනස් වන බවත්, ඒ ඒ රටවල බලපෑමට ලක්වූ දේශීය නෙස්ලේ නිෂ්පාදන සන්නාම අදාළ වෙබ් අඩවි වල ප්‍රකාශයට පත් කරන බවයි.

එනම්, ඔබ සතුව ඇති නිෂ්පාදනය බලපෑමට ලක්ව ඇති නිෂ්පාදනයක් දැයි පරීක්ෂා කිරීමට නම්, එහි නිෂ්පාදන කාණ්ඩ අංකය, සහ අදාළ තොරතුරු අදාළ රටේ නෙස්ලේ නිෂ්පාදන සන්නාම වෙබ් පිටුව හරහා පරීක්ෂා කරගත යුතු බවයි සමාගම පැහැදිලි කර සිටින්නේ.

උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ යළි කැඳවා ඇති නිෂ්පාදන සහ කාණ්ඩ අංක මෙලෙස එරට නෙස්ලේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබුණා. පිලිපීනයේ ඇති නෙස්ලේ සමාගම විසින් ද එරට වෙනුවෙන් නිකුත් කර තිබු නිවේදනය මෙතනින්.

ඕස්ට්‍රේලියා සහ නවසීලන්තයේ මෙලෙස ආපසු කැඳවා ඇති නිෂ්පාදන කාණ්ඩ ගැන ආහාර ප්‍රමිතිය පිළිබඳව ආයතනය වන Food Standards Australia New Zealand (FSANZ) විසින් ද නිවේදනය කර තිබුනේ මෙලෙසින්.

නැවත කැඳවීමේ නිවේදනයට අදාළ නිෂ්පාදනයක් නම්, එය භාවිතය නවතා ආපසු කැඳවීමේ නිවේදනයේ උපදෙස් පරිදි ක්‍රියාකළ යුතු වේ. 

නෙස්ලේ සමාගම දැනුම් දෙන්නේ, ආපසු කැඳවීමේ දැන්වීම, මුදල් ආපසු ලබා ගැනීම ආදි විස්තර ද අදාළ රටවල නෙස්ලේ සන්නාම වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බවයි.  

ප්‍රශ්නගත සෙරියුලයිඩ් යනු කුමක් ද? 

සෙරියුලයිඩ් (Cereulide)  යනු බැසිලස් සීරීයස්  (Bacillus cereus) බැක්ටීරියාව විසින් නිපදවනු ලබන විෂ ද්‍රව්‍යක් වන අතර එය ආහර විෂවීමේ රෝග ලක්ෂණ ඇති කළ හැකියි. එමගින් වමනය, බඩේ කැක්කුම ඇති විය හැකි අතර  ආහාර ප්‍රමිති ඒජනසිය පවසන්නේ,  (FSA)  ආහාර පිසීමෙන් හෝ උතුරන වතුර භාවිතයෙන් හෝ ළඳරු කිරිපිටි සෑදීමේදී එය අක්‍රිය කිරීමට හෝ විනාශ කිරීමට අපහසු බවයි‍.  නෙස්ලේ සමාගම ප්‍රශ්න ගත ළදරු කිරිපිටි නිෂ්පාදන හා සම්බන්ධව නිකුත් කර ඇති උපදෙස් සහිත සම්පූර්ණ  නිවේදනය මෙතැනින් 

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok| YouTube

Avatar

Title:ප්‍රශ්නගත නෙස්ලේ ළඳරු කිරිපිටි නැවත කැඳවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් අයිති ද?  

Fact Check By: Sagarika Chathumali  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *