දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇහැලියගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරමින් පවතින මාර්ගයක් පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එයට හේතු වී තිබුනේ එම මාර්ගයේ කානු පද්ධතිය, පාරට වඩා උස මට්ටමකින් පිළිසකර කර ඇති ආකාරය බව දක්වමින්, සටහන් රැසක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟයි. මෙහි සත්‍ය කරුණු සොයා Fact Crescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
වයිරල් වූ ෆේස්බුක් සටහන් රැසකට මුල් වී තිබුනේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද ඡායාරූපයක්. එම ඡායාරුපය යොදාගනිමින්, ‘මේක නම් ලංකාවේ නොකරපු වැඩක් ජපානේ වගේ ගෝල්ඩ් ෆිෂ් මාළු දෙපැත්තට දාන්න වගේ යන්නේ’ යනුවෙන් ද සඳහන් පළකර තිබු පහත ෆේස්බුක් සටහනින් ඇඟවීමට උත්සාහ කරන්නේ, මෙම මාර්ගයේ දෙපස ඉදිවන කාණු පද්ධතිය මාර්ගයයේ උසට වඩා උඩින් පිහිටා ඇති බවයි.

මෙය සත්‍යයක් ලෙසට පිළිගනිමින් එකී ඡායාරුපය සමඟ විවිධ උපහාසාත්මක නිර්මාණය ද සමගින් සටහන් පෙළක් තවදුරටත් මෙලෙස හුවමාරු වී තිබුණා.






අදාළ ඡායාරූපය භාවිත කරමින් Facebook සහ Instagram ඔස්සේ පළ කර තිබූ තවත් සටහන් කිහිපයක් මෙතැනින් Archived Link සහ මෙතැනින් Archived Link
ඒවගේම ‘වැඩේ ලස්සනට කරලා තියෙනවා. පාර ඇතුලෙම වතුර බහිනවා.පාරේ දෙපැත්තේ යන මිනිස්සුන්ගේ ඇඟේ මඩ වදින්නෙත් නෑ.’ යන සඳහනින් පළ කර ඇතැම් සටහන්වලට අනුව කීනගහවෙල, කනුක්ගල්ල මාර්ගය සාදා නිම කර ඇති බවක් උපහාසාත්මක කෝණයෙන් පෙන්වා දී තිබෙනවා.

සමාජ සංවාදයක් ගොඩනැගී ඇති මෙම මාර්ගයේ සැබෑ තත්ත්වය කුමක් ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
ෆේස්බුක් ඔස්සේ සංසරණය වන ඡායාරූපය අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ නිල ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලද්දක් බව පැහැදිලිව පෙන්නුම් කරන බැවින් අප මූලිකවම අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා. ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය ද සහිතව තවත් ඡයාරූප කිහිපයක්, අදාළ මාර්ගයේ සංවර්ධනය ගැන කරුණු දක්වමින්, අමාත්‍යවරයාගේ ගිණුමේ පසුගිය ජනවාරි 12 වැනිදා සටහනක් පළකර ඇති ආකාරය දැකගත හැකි වුණා.
එම සටහන පළකර තිබුනේ “සංවර්ධනය කරමින් පවතින ඇහැලියගොඩ, කීනගහවෙල, කනුක්ගල්ල මාර්ගය නිරීක්ෂණය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගිය දා (10) එක්විණි.” යනාදී වශයෙනි. Facebook | Archived
කෙසේවෙතත් එම සටහනේ Edit History පරික්ෂා කිරීමේ දී සංවර්ධනය කළ එම මාර්ගය ජනතා අයිතියට පත්වීම සිදුවූ බව දක්වා තිබීමත්, එහි විශේෂයෙන්ම එක් ඡායාරුපයක බැලු බැල්මට ම කානුව, පාරේ මට්ටමට වඩා උසින් පිහිටා ඇති ආකාරය පෙනී යාමත් නිසා, සංවර්ධනය කර ඇති මාර්ගය දෙපස ඉදිකර ඇති කාණු පද්ධතිය හරහා ජලය බැසයාම වෙනුවට ඒ හරහා නැවත මාර්ගයට ජලය පැමිණීම සිදුවන බව පෙන්වා දෙමින් එම ඉදිරිකිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් උපහාසාත්මක සටහන් රැසක් ද නිර්මාණය වී තිබුණා.
කෙසේවෙතත් අදාළ ඡායාරූප පරීක්ෂා කිරීමේදී ද, එම මාර්ගයේ සංවර්ධනය අවසන් වී ඇති බව දැක ගන්නට නොලැබෙන අතර පිළිසකර කිරීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් ඇති බව දැක ගන්නට ලැබෙනවා.
පහතින් දැක්වෙන්නේ නැවත සංස්කරණය කරමින් අදාළ ඡයරුපවල දැක්වෙන්නේ සංවර්ධනය කරමින් පවතින මාර්ගයක් ලෙස අමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන යාවත්කාලින කර තිබු ආකාරයයි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග සහ ඊට සම්බන්ධ කරමින් කාණු පද්ධියක් ස්ථාපනය කිරීමේදී ඉංජිනේරුවන් විසින් සැලසුමක් ඇතිව මෙවැනි ඉදිකිරීම් සිදු කෙරෙන බැවින් ඇත්ත වශයෙන්ම මේ ආකරයේ මාර්ගය නිර්මාණය කිරීමේ දී දෝෂයක් ඇතිව තිබුනේ ද නැතහොත් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබු ඡායාරුප සටහන් වලට හේතුව කුමක් ද යන්න සොයා බැලීමට අප මුලින්ම අදාළ ඡායාරුපය හොඳින්, විශාලනය කර පරික්ෂා කර බැලුවා.
වයිරල් ඡායාරුපය විශාලනය කොට පරික්ෂා කිරීම
එහිදී වංගුව අසලදී මාර්ගය හා සමව සහ මාර්ගයට පහළින් කාණු ඉදිකර ඇති අයුරු දැක ගන්නට ලැබුණා.

එමෙන් ම මෙම ඡායාරූපය තවදුරටත් Zoom කර බැලීමේදී මාර්ගය සහ කාණුව එක හා මට්ටමක වැනි මට්ටමක ඇති බවක් දැක ගන්නට ලැබේ. වයිරල් ඡායාරුපය 300%ක් විශාලනය කොට ලබාගත් කොටසක් පහතින්.

නමුත් මෙහි පැහැදිලිවම මාර්යේ අවසන් වන දාරය සහ කානුව පටන් ගන්නා තැන අතර සැලකිය යුතු හිඩැසක් පවතින බව පැහැදිලිව පෙනී යනවා. එබැවින් මෙම මාර්ගය පිළිසකර කොට අවසන් වී නොමැති බැවින්, මේ ගැන අප තවදුරටත් පරික්ෂා කළා.
ඇහැලියගොඩ, කීනගහවෙල ප්‍රාදේශීය වාර්තාකරු
ඇහැලියගොඩ, කීනගහවෙල, කනුක්ගල්ල මෙම මාර්ගයේ සැබෑ තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමට අප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ජනවාරි 16 එම ස්ථානයට ගොස් වීඩියෝක් ලබාගැනීමට කටයුතු කළා.
එහිදී දැක ගන්නට ලැබුණේ, මාර්ගයේ දෙපස කාණු පද්ධතිය තවදුරටත් සංවර්ධනය කරමින් ඉහත දක්වා ඇති මාර්ගයේ අවසන් වී ඇති දාරය සහ කානුව අතර ප්‍රදේශයට පස් පුරවා ඇති ආකාරයක්.
එසේ පස් පුරවා ඇති විට මාර්ගයේ මට්ටම සහ කානු බැම්ම බොහෝදුරට එක හා සමාන බවක්, මෙහිදී දැක ගන්නට ලැබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ ඡායාරූපයේ දැක්වෙන ස්ථානයේ රූප රාමුවක් හා අප සංසන්දනය කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ මාර්ගය සහ කාණුව සඳහා ඉදිකර ඇති බැම්ම අතර ඉඩස, ජනවාරි 16 දින වන විට එම ඉඩස අතර පස් දමා බෑවුම් කර තිබුණා.


ජනවාරි 16 දින එම ස්ථානයේ ලබා ගත් ඡායාරූපය
ප්‍රදේශවැසියෙකු අදහස් දැක්වීමක්
අප මේ පිළිබඳ ප්‍රදේශ වාසීන්ගෙන් ද, විමසීම් කළ අතර ඔවුන් පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ආකාරයේ ඡායාරූප ගැනීමේදී , කානු පාරට ඉහළින් ඇති ආකාරයට දිස් වූවත්, සත්‍ය වශයෙන් ම මාර්ගය දෙපස කාණු දෙක මාර්ගයට පහතින් ඇති බව ත්, අබලන්ව තිබූ මාර්ගය මේ වන විට පිළිසකර කර ඇති බව ත්, අමාත්‍යවරයා පැමිණෙන විටදී ත් මාර්ගයේ වැඩ අවසන් ව තිබූ අතර කාණු ඉදිකිරීමේ වැඩ කටයුතු අවසන් ව නොතිබුණු බවයි. එම වීඩියෝව පහතින්.
ඉංජිනේරු – මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), රත්නපුර
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපයේ කාණු බැම්ම උස්ව ඇති බවට පෙනෙන්නේ, ඡායාරූපය ලබා ගන්නා කෝණයෙන් වන අතර සත්‍ය වශයෙන් ම කානු ඒ ආකාරයෙන් පාරේ මට්ටමට වඩා ඉහළින් පිහිටා නොමැති බව ත්, මාර්ගයට පහතින් කාණු පද්ධතිය ඉදිකර ඇති බව ත්, මෙය සිදුවන්නේ, මාර්ග සංවර්ධන අධිකාරයේ ඉංජිනේරුවන්ගේ, අනෙකුත් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බව ත් ඇය පවසා සිටියා.
වර්ෂා ජලය මාර්ගයෙන් ඉක්මනින් මාර්ගයෙන් පිටතට ගලා යාමට අරමුණු කරමින් මාර්ග ඉදිවන බවත්, ඡායාරූපයේ පෙනෙන කෝණය මත වැරදි අදහසක් සමාජ ගත වී ඇති බවත්, ඒ ආකාරයෙන් ඉදිකිරීම් සිදු නොකරන බව ත් ඇය පැහැදි කළා.
දිත්වා සුළි කුණාටුවට පෙර මෙම කීනගහවෙල, කනුක්ගල්ල මාර්ගය කොන්ක්‍රීට් කොට මාර්ගයේ වැඩ කටයුතු අවසන් ව දිට්වා සුළි කුණාටුව ඇති වීමටත් පෙර නිම වී තිබූ බවත්, දිත්වා හේතුවෙන් විශාල ජල පහරක් එම මාර්ගයට ඇතුළු වූ බවත්, මාර්ගය සුරක්ෂිත කිරීමේ අරමුණු පෙර දැරිව, මාර්ගය සංවර්ධනය කිරීමේදී වෙන් කළ මුදලින් කොටසක් ඉතිරව තිබූ බැවින් එම මුදලින් යොදාගනිමින් කාණු පද්ධතියක් ද, සෑදීමට කටයුතු කළ බව ත්, ඇය පැවසුවා.
සාමාන්‍යයෙන් කාණු පද්ධතියක් සහ මාර්ගයක් සාදනවා නම් ප්‍රථමයෙන් ම කාණු පද්ධතිය සාදා පසුව මාර්ගය සෑදිය යුතු වුවත්, කාණු පද්ධතියක් සෑදීමට මෙම සැලසුමේ තිබී නැති වූවත්, ජල ප්‍රහාරයක් පැමිණීමේදී මාර්ගය කැඩී යාමේ අවදානම අවම කිරීම සඳහා කාණු පද්ධතිය ඉදි කිරීමට පියවර ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
සති දෙකක වැනි කාලයකදී කාණු පද්ධතිය සමග මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම පිළිසකර කර අවසන් කිරීමට හැකි බව ද, මෙය අතුරු මාර්ගයක් වශයෙන් වැදගත්කමක් ඇති පාරක් බව ද පෙන්වා දුන්නා.
එසේම ඉංජිනේරුවරිය අපට තහවුරු කළේ පාරේ තාර නැවත දමා එසවීමක් කිසිලෙසකත් සිදුව නොමැති බවත්, කානු පහතින් පිහිටා ඇති බැවින් එවැන්නක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි අදහසකින් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සිදුකළ ඡායාරූප නිර්මාණය බවත්, මේ ගැන ඕනෑම අයෙකුට පැමිණ පරික්ෂා කළ හැකි බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන නොමග යන අර්ථකථනය නිසා ම ඔවුන් විසින් ද, මෙම මාර්ගය සහ කාණු පද්ධතිය සම්බන්ධයෙන් පැහැදි කිරීමක් සිදු කර තිබුණේ මෙලෙසින්.
එහිදී ද අදහස් දක්වන්නේ මාර්ගය සහ කානුව අතර කොටස (shoulders) පස් යොදා පිරවීම අවසන් වී තිබුනේ නම් මෙම නොමඟ යවන සුළු අවස්ථාව ඇති නොවන බවත්, මාර්ගයේ මට්මට වඩා පහළින් කානුව ඇති බවයි.
එම මාර්ගය ආරම්භ වන ස්ථානය Google Maps ඔස්සේ මෙතනින්.
මෙම මාර්ගය සංවර්ධන කිරීම පෙර තිබූ තත්ත්වය ගැන ද ඡායාරූප කිහිපයක් ඉංජිනේරුවරිය අපට ලබා දුන්නා.


කාණු බැම්ම සහිත මාර්ග ඡායාරූප ගැනීමේදී දිස්වන අයුරු
ලංකාවේ වෙනත් මාර්ගයක් ඉදිකෙරෙමින් පවතින අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් ද ඇය අප වෙත යොමු කළ අතර එහිදී ද ලබාගත් කෝණය අනුව, මාර්ගය සහ කානුව අතර කොටස පස් දමා පෙරවීමට පෙර, කානුව ඉහළින් ඇති අයුරින් දිස්වන අයුරු දැක ගන්නට ලැබෙනවා.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති
ඡායාරූපයක් සමග සමාජ සංවාදයක් නිර්මාණය වී ඇති කීනගහවෙල මාර්ගය පිළිබඳ පැහැදිලි කරමින් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුසේන දුනුවිල ප්‍රකාශ කළේ, එම මාර්ගයේ ඉදිකිරීම් තවමත් අවසන්ව නොමැති බවයි.
මෙය මීට පෙර ඉදිකිරීම් නවතා තිබූ ව්‍යාපෘතියක් බවත්, මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළව කඩා ඉවත් කළ යුතු විශාල ගලක් තිබූ බවත් එම ගල කඩා ඉවත් කිඑීම සඳහා ප්‍රදේශවාසීන් ස්වේච්ඡාවෙන්ම සහය වීම මත ඒ සඳහා වෙන්කර තිබූ රු. ලක්ෂ 50ක පමණ මුදලක් ඉතිරි වූ බවත් සභාපතිවරයා සඳහන් කර සිටිනවා.
ඒ අනුව වෙන්කර තිබු මුදලින් කොටසක් ඉතිරි වූ බවත්, එය යොදාගනිමින් කාණු පද්ධතියක් ඉදි කළ හැකි බවට කොන්ත්‍රාත්කරු යෝජනා කළ බවත්, ඒ අනුව මෙම කාණු පද්ධතියේ ඉදිකිරීම් සිදුවන බවත් ඔහු පෙන්වා දෙනවා.
මාර්ගයේ මාධ්‍ය ලක්ෂයේ සිට බැලීමේදී කාණු පද්ධතිය අගල් එක හමාරක් පමණ පහතින් පිහිටා ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.
තව ද සතියක පමණ කාලයකින් පසු මෙහි ඉදිකිරීම් අවසන් වූ පසු මාර්ගෙයේ සහ කාණු පද්ධතියේ පිහිටීම පැහැදිලිව දැකගතහැකි බවත් සභාපතිවරයා කියා සිටියා.
රුවන්සිරි විමලරත්න – ඇහැළියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මාර්ගයේ තත්ත්වය නිරීක්ෂණය සඳහා අප එම ස්ථානයට ගිය අවස්ථාවේ එහි සිටි ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා ද අප සමග මෙම ඉදිකිරීම සම්බන්ධව අදහස් පළ කළා. මන්ත්‍රීවරයා කියා සිටියේ, ඉංජිනේරුවරුන්, තාක්ෂණික නිලධාරීන් සම්බන්ධ වී තවමත් ඉදිකරමින් පවතින මෙම මාර්ගයේ මට්ටමට වඩා කාණු පද්ධතිය උසින් වැඩි බවට වන සටහන් අසත්‍ය බවයි.
මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන බවත් කාණු පද්ධතියක් ඉදි කිරීම මෙම මාර්ග සංවර්ධනය අදාළ ඇස්තමේන්තුවේ නොමැති නමුත්, මුදල් ඉතිරිවීම මත අමතර කාර්යයක් ලෙස කාණු පද්ධතිය ඉදිකරීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් අප සමග කියා සිටියා.
Fact Check 2:
එසේම ඉහත මාර්ගය පිළිසකර කර අවසන්ව ඇති ආකාරය ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ තව ත් ඡායාරූප කිහිපයක් සංසරණය වී තිබුණා.
එම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ, Gemini AI ඔස්සේ නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසානනිගමනය):
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සුනිල් සෙනවි අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ඡායාරූපය සටහන්හි දැක්වෙන අවස්ථාව, අදාළ මාර්ගය නිම කිරීමට පෙර අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් වන අතර එය කැමරා කාචයට හසුකරගන්නා ලද කෝණය අනුව මාර්ගයට වඩා දෙපස කාණු ඇති බවක් පෙනීම ඔස්සේ බොහෝ දෙනා නොමග ගොස් ඇති බවයි.
මාර්ගයේ සහ කානුව සමඟින් ලබාගත් සමීප ඡායාරූප සහ වීඩියෝ පරික්ෂා කිරීමේ දී මෙන්ම ඉදිකිරීමට භාර ඉන්ජිනේරුවරිය සිදුකළ පැහැදිලි කිරීම අනුව ද පැහැදිලි වන්නේ කාණු පද්ධතිය, මාර්ගයයේ මට්ටමට වඩා පහතින් පිහිටා ඇති බවයි. මේ ආකාරයේ ඉදිවෙමින් පවතින වෙනත් මාර්ගවල තත්වය ද පරික්ෂා කිරීමේ දී ද එය පෙනී යනවා.
එසේම තවමත් ඉදිකරමින් පවතින ඇහැළියගොඩ කීනගහවෙල මාර්ගයේ ඉදි කිරීම් අවසන් බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකස් කරන ලද ඡායාරූපයක් බවයි.
Title:රටම කතා වුණ ඇහැළියගොඩ කීනගහවෙල පාරේ ඇත්ත කතාව!
Fact Check By: Factcrescendo Sri LankaResult: Misleading


