බෙල්ලට සුවඳ විලවුන් ඉසීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකරීත්වයට අහිතකර බලපෑමක් සිදු වනවාද? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

බොහෝ අවස්ථාවල සුවඳ විළවුන් ඇඟ ගල්වන පුද්ගලයින් ගෙල ආශ්‍රිත ප්‍රදේශයට සුවඳ විළවුන් යොදන අතර බොහෝ අවස්ථාවල සුවඳ විළවුන් (සෙන්ට්) වර්ගවලට අදාළ වෙළඳ ප්‍රචාණයන්වලදී ද එවැනි දර්ශන දැකගත හැකියි. එලෙස ගෙල ප්‍රදේශයට සුවඳ විළවුන් යෙදීම භයානක බවටත් ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ඝෘජුවම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය බලපාන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එලෙස සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳ සිදුකළ කරුණු විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉංග්‍රීසි බසින් පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, ගෙල ප්‍රදේශයට සුවඳ විළවුන් යෙදීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය මත එහි ඇති සුවඳ රසායනිකයන් ඝෘජුවම තැන්පත් වී එහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරවන බවයි. 

Facebook | Archived Link

ඊට සමාන තවත් සටහනක දැක්වෙන්නේ, කිසිවිටෙකත් ගෙල ප්‍රදේශයේ සුවඳවිළවුන් ගැල්වීම සිදු නොකළ යුතු බවත් එසේ කිරීමෙන් ඒවායේ ඇති රසායනික ද්‍රව්‍යයන්ට සම නැවත නැවතත් නිරාවරණය වී සම හරහා  ඇතුළු වී හෝමෝන සංඥා ක්‍රියාවලියට බාධා එල්ල වන බවයි.  

Facebook | Archived Link

ඒ අනුව මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සුවඳ විලවුන් සහ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය ගැන විද්‍යාත්මක අදහස 

සුවඳ විලවුන් පිළිබඳ කතා කිරීමේදී බහුල වශයෙන් සාකච්ඡා වන අමු ද්‍රව්‍ය ලෙස භාවිත කරන  phthalates සහ parabens වැනි ඇතැම් රසායනික ද්‍රව්‍ය පුද්ගල ශරීරයේ හෝර්මෝන පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා කළ හැකි ද්‍රව්‍ය ලෙස වර්ග කර තිබේ.  පර්යේෂණාගාර මට්ටමින් සහ ජනතාව යොදාගනිමින් සිදු කරන ලද අධ්‍යනවලදී මෙම රසායනික ද්‍රව්‍යවලට තයිරොයිඩ් ඇතුළු හෝර්මෝන පද්ධතියට බලපෑම් කිරීමේ ඇති හැකියාව පිළිබඳව පරීක්ෂාවන් සිදුකර තිබේ. Environmental Health Science හි පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක පෙන්වා දෙන්නේ,  phthalates සඳහා නිරවාරණය වන ඇතැම් පුද්ගලයෙන්ගේ තයිරොයිඩ් හෝර්මෝන මට්ටම්වල වෙනස් වීම් නිරීක්ෂණය කර ඇති බවයි.   

කෙසේ වෙතත් මෙම පර්යේෂණයේදී ගෙල ප්‍රදේශයට සුවඳ විලවුන් ඉසීම සහ තයිරොයිඩ් ආබාධ අතර ඝෘජු හේතු – ඵල සම්බන්ධයක් ඇති බවට තහවුරු කර නොමැත. දැනට පවතින තයිරොයිඩ් ආබාධ පිළිබඳ සායනික මාර්ගෝපදේශ සහ විද්‍යාත්මක සමාලෝචනයන්හි  දැනට පවතින තත්ත්වය අනුව සුවඳ විළවුන් භාවිතය, ගෙල ප්‍රදේශයට සුවඳ විලවුන් ඉසීම හෝ යෙදීම මගින් අසාමාන්‍ය තයිරොයිඩ් උත්තේජක හෝර්මෝනය (TSH) මට්ටමක් දක්වා යන බවට හෝ එය තයිරොයිඩ් අක්‍රියතාවට බලපාන සාධක ලෙස සඳහන් නොවේ. මීට අදාළව සිදු කරන ලද තවත් පර්යේෂණයකදී ද සුවඳ විලවුන් භාවිතය නිසා මිනිසුන්ගේ තයිරොයිඩ් ආබාධ ඇති වන බවට හෝ ක්‍රියාකාරීත්වයට බලපෑමක් වන බවට කිසිදු තහවුරු කිරීමක් සිදුකර නොමැත. එම පර්යේෂණ පත්‍රිකාවට අනුව සුවඳ විලවුන් භාවිතයෙන් TSH මට්ටමට බාධා ඇති කරවන බවට සෘජු සායනික සාක්ෂි කිසිවක් නොමැති බවත් වත්මන් තයිරොයිඩ් ක්‍රියාකාරීත්ව මාර්ගෝපදේශයන්ට අනුව සුවඳ විලවුන් ගෙල ප්‍රදේශයට ඉසීම, යෙදීම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට බාධාකරන හේතු ලෙස හඳුනාගෙන නොමැත. 

තයිරොයිඩ් ග්‍රන්ථිය ගෙලෙහි සමට ආසන්නව, කෙලින්ම පිහිටා නැත

මිනිස් සිරුරේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා ඇත්තේ, ගෙල ඉදිරිපස ගැඹුරු ස්ථානයකයි. එනම් සම මතුපිට සිට මිලිමීටර් 5-15ක් පමණ ගැඹුරට වන්නටය. ගෙලෙහි සම සහ තයිරොයිඩ් ග්‍රන්ථිය අතර ආරක්ෂිත ස්ථර කිහිපයක් පිහිටා තිබේ. ගෙලෙහි සම (ඝනකම මි.මී. 1-2) සම අභ්‍යන්තරේ මේදය (මි.මී. 2-5), platysma  මාංශ පේශි, සම්බන්ධක පටක සහ sternohyoid සහ sternothyroid මාංශ පේශී (එකක් මි.මී. 3-6) දක්වා ඝනකමකින් යුතු වේ. තයිරොයිඩ් ග්‍රන්ථියම මි.මී. 13-20 අතර ඝනකමකින් යුක්ත අතර එය ශ්වාසනාලය ඉදිරිපිටට වන්නට පිහිටා ඇත.  

මූලාශ්‍ර : KenHub , TeachMeAnatomy , PubMed: StatPearls  

ඒ අනුව මෙම බහු ස්ථර ව්‍යුහය නිසාම ගෙලට ඉසිනු ලබන සුවඳ විලවුන්වලට තයිරොයිඩ් ග්‍රන්ථිය මත තැන්පත්වීමට හෝ ඝෘජුව නිරාවරණය වීමට හැකියාවක් නොමැත. සමට ඇතැම් රසායනික ද්‍රව්‍ය සුළු වශයෙන් උරාගැනීමේ හැකියාවක් පැවතුණ ද එම අවශෝෂණය වීම රුධිරය හරහා සිදුවීම නිසා අදාළ රසායනික ද්‍රව්‍ය යොදන ස්ථානයට යටින් පිහිටි ඉන්ද්‍රියකට ඝෘජුවම උරාගැනීමක් සිදු නොවන අතර එහිදී සිදු වන්නේ, සමස්ත පද්ධතියටම නිරාවරණය වීමකි.  

සමට අවශෝෂණය වීම් පිළිබඳ පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ, සම මත සිදු කරන යෙදවීම් මගින් පමණක් හෝර්මෝන පද්ධතියට බාධා ඇති වන බවට ඝෘජු තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි. ඒ සඳහා ආහාර, නිවසේදී භාවිත කරන නිෂ්පාදන ඇතුළු ජනතාව භාවිත කර බෙහෝ ද්‍රව්‍යවල ඇති රසායනික ද්‍රව්‍යවලට දීර්ඝ කාලීනව නිරාවරණය වීම හෝර්මෝන ක්‍රියාවලියට බලපෑම් ඇති විය හැකි බවයි.  

සුවඳ විලවුන් භාවිතයෙන් ශරීරයට අවදානමක් තිබේ ද? 

සුවඳ විලවුන් භාවිතයේ වඩා වැඩි බලපෑමක් ඇත්තේ, හෝර්මෝන ක්‍රියාකාරීත්වයට සඳහා නොව සම සහ ශ්වසන පද්ධතිය සඳහායි. විශේෂයෙන් නිතර සහ අධික ලෙස භාවිත කිරීමේදී සුවඳ විලවුන් සඳහා සංවේදී පුද්ගලයිනගේ සමෙහි ආසාත්මිකතා, හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. 

සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශය වී තිබෙන්නේ, හෝර්මෝන පද්ධතියට බාධාකරන රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය අඩුකිරීම සඳහා ගෙලෙහි සුවඳ විලවුන් ගැල්වීමෙන් වැළකී සිටීම වෙනුවට සුවඳ අධික නිෂ්පදන අවම ලෙස භාවිත කිරීම, සුවඳ නැති විලවුන් භාවිත කිරීම යෝග්‍ය බවටයි.  

සුවඳ විලවුන්වල ඇති Phthalates ගැන පර්යේෂණවලින් කියවෙන දේවල් 

Phthalates යනු සුවඳ විලවුන්වලින් නිකුත් වන සුවඳ දිගු වේලාවක් පවත්වාගැනීම සඳහා එකතු කරනු ලබන කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයි. එමගින් සිදු වන්නේ, සුවඳ වාෂ්පවන වේගය අඩාල කිරීමයි. සමාලෝචනවලින් පෙන්වා දෙන්නේ, සුවඳ විලවුන්වල අඩංගු ද්‍රව්‍ය ලේබලයේ fragrance යටතේ Phthalates සඟවා ඇති බවයි. සුවඳ විලවුන්වල සුලභව භාවිත කරන  Phthalates  සංයෝග දෙකක්  වන්නේ, diethyl phthalate සහ dimethyl phthalate ය. අමෙරිකානු අහාර හා ඖෂධ පාලන ආයතනය (FDA) හි නියාමනයන්ට සුවඳ විලවුන්වල අඩංගු ද්‍රව්‍ය ලේබලයේ fragrance ලෙස එක වචනයකින් ලියා දැක්විය හැකි ය. 

Phthalates වලට නිරාවරණය වීමෙන් ප්‍රජනනය, වැඩීම සහ පරිවෘත්තිය ක්‍රියාවලියට ඇති වන බලපෑම් ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවට අධ්‍යන මගින් පෙන්වා දී තිබේ. මේ අතර ඇතැම් පර්යේෂණ මගින් තයිරොයිඩ් හෝර්මේනවල වෙනස්කම් සමග සම්බන්ධයක් ඇති බවට ද ඇතම් පර්යේෂණ මගින් හෙළිදරව් වී ඇත. 2024 වසරේ 10,000 කට අධික පිරිසක් යොදා ගනිමින් සිදු කරන ලද විශ්ලේෂණයකින් හෙළිවී ඇත්තේ, මුත්‍රාවල phthalate ඉහළ මට්ටමක පවතින පුද්ගලයින්ගේ ඉහළ T3 (triiodothyronine)  සහ අඩු T4 (thyroxine)  මට්ටම් ඇති බවත් , තයිරොයිඩ්-උත්තේජන කරන හෝර්මෝනය (TSH) කෙරෙහි විවිධ බලපෑම් ඇති බවත් ය. 

කෙසේ වෙතත් මෙම හෙළිදරව් කිරීම් ගෙලෙහි සුවඳ විලවුන් ඉසීමෙන් හෝ ගැල්වීමෙන් තයිරොයිඩ් ආබාධ ඇති බව බවට ඝෘජුවම සනාථ වී නොමැත. විද්‍යාත්මක සමාලෝචනයන්ට අනුව Phthalate වලට නිරාවරණය වීම සහ තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් අතර සබඳතා පෙන්නුම් කළ ද පර්යේෂණ අධ්‍යනවල දක්නට ලැබෙන සබඳතා බොහෝවිට පවතින්නේ දුර්වල මට්ටමක වන අතර  අධ්‍යනයන් අතර පවා වෙනස්කම් පවතී. ආහාර සහ ප්ලාස්ටික් වැනි ඒ සඳහා බලපාන බොහෝ සාධක  ඇති බවට විද්‍යාත්මක සමාලෝචනවලින් වැඩිදුරටත් පෙන්වා දේ. ඒ අනුව Phthalate සහ තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් අතර ඝෘජු හේතු – ඵල සබඳතාවක් තහවුරු වී නොමැත. 

ගෙලෙහි සුවඳ විලවුන් ඉසීම ආරක්ෂිතද?

බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් ගෙලට සුවඳ විලවුන් යෙදීම ආරක්ෂිත යැයි සැලකේ. විද්‍යාත්මක විශ්ලේෂණ සහ චර්ම රෝග පිළිබඳ මූලාශ්‍ර අධ්‍යනයේදී පෙන්නුම් කරන්නේ, සුවඳ විලවුන් යෙදීමේ අවදානම් තත්ත්වය තයිරොයිඩ් ආශ්‍රිත ආබාධවලට වඩා සමේ ආසාත්මිකතා වැනි දේ සම්බන්ධව ඉහළ බවයි. ගෙලෙහි සම තුනී මෙන්ම බොහෝ අවස්ථාවල හිරු එළියට නිරාවරණය වේ. ඒ අනුව නිරත නිතර සුවඳ විලවුන් යෙදිමෙන් ඇතැම් පුද්ගලයින්ට සමේ රෝග, සමේ වර්ණය අඳුරුවීම, වැනි දේ සිදුවිය හැක. එමෙන්ම මුහුණ අසලට සුවඳ විලවුන් අධික ලෙස ඉසින විට ඇඳුම වැනි රෝග ඇති පුද්ගලයින්ට අහිතකර විය හැක. 

මේ සම්බන්ධ ලිපි:  MedindiaCosmopolitanReston Dermatology and Cosmetic Center

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගෙලෙහි සුවඳ විලවුන් යෙදීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට මෙන්ම ආබාධ සඳහා ඝෘජුව බලපෑම් කරන බවට වන ප්‍රකාශ නොමගයවන සුළු බවයි. Phthalates වැනි සුවඳ විලවුන් සඳහා යොදන ඇතැම් රසායනික ද්‍රව්‍ය ඇතැම් විට හෝර්මෝන පද්ධතියට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති බවට අධ්‍යන සිදු කර ඇතත් ගෙලෙහි සාමාන්‍ය සුවඳ විලවුන් යෙදීම තයිරොයිඩ් ආබාධ සඳහා හේතුවන බවට සායනිකව සනාථ කර නොමැත. තයිරොයිඩ් ග්‍රන්ථිය චර්ම ස්ථර කිහිපයකට යටින් පිහිටා ඇති අතර ඕනෑම රසායනික අවශෝෂණයක් යොදන ස්ථානයට පහළින් ඇති ග්‍රන්ථියට ඝෘජුවම බලපෑම් කරනවාට වඩා රුධිර නාල හාරහා පද්ධතියටම බලෑමක් ඇති විය හැකියි.  

Avatar

Title:බෙල්ලට සුවඳ විලවුන් ඉසීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකරීත්වයට අහිතකර බලපෑමක් සිදු වනවාද? 

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *