ලාංකික ධීවරයින්ට ලක්වූ පහරදීම ගැන කරුණු දැක්වීමක්… 

Insight Social

දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාත්‍යන්තර මුහුදේදී කිසියම් පිරිසක් විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට දරුණු ලෙස පහරදීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගියදා වාර්තා වූණා. එම ධීවරයින් ප්‍රකාශ කර තිබුණේ, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව අදාළ පහරදීම සිදු කළ බවටයි. මේ Fact Crescendo එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ කරුණු පරීක්ෂාවයි. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පසුගිය 29 වනදා ලාංකික ධීවරයින්ට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී ඇතිබව මෙම සටහනෙහි සඳහන් වේ. වෙන්නප්පුවෙන් මුහුදු ගොස් යළි එමින් සිටි යාත්‍රා දෙකක ධීවරයින් පිරිසක් මෙම පහරදීමට ලක්ව ඇති බව ද එහි සඳහන් ය. 

Facebook | Archived Link

ධීවරයින්ට එල්ල වී ඇති ප්‍රහාරයන් සම්බන්ධව විවිධ පැතිකඩ ඔස්සේ සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මේ. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජාත්‍යන්තර මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට වන පුවත මෙරට ප්‍රධාන පෙළේ ඇතුළු සියලුම මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තාවලට අනුව ධීවරයින් 18 දෙනෙකු රැගත් යාත්‍රා 3ක් වෙන්නප්පුව වෙල්ලමන්කරෙයි ධීවර වරායෙන් පසුගිය දෙසැම්බර් 3 වැනිදා පිටත්ව ගොස් තිබූ අතර ධීවර කටයුතුවල නිරතව යළි පැමිණෙමින් සිටි ධීවර යාත්‍රා 2ක සිටි ධීවරයින්ට පසුගිය 29 වැනිදා කිසියම් පිරිසක් පහරදී තිබුණා. අනෙක් යාත්‍රාවේ සිටි පිරිස පහරදීමට ලක්ව තිබුණේ පසුගිය 30 වැනිදා ය. පහරදීමට ලක්වූ ධීවරයින් ගොඩබිමට රැගෙන ඒමෙන් පසු කඩිනමින් රෝහල්ගත කර තිබූ බව පසුගිය 02 වැනිදා මාධ්‍ය වාර්තා කර තිබූ අතර  අනෙක් ධීවර යාත්‍රාවේ සිටි පිරිස රැගෙන ඒම සඳහා නාවික හමුදා නෞකාවක් පිටව ගොස් ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව තිබුණා. 

මේ අතර ප්‍රහාරයන්ට ලක්ව රෝහල්ගත කෙරුණු ධීවරයින් මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබුණේ, නෞකාවක් පැමිණ සිය බෝට්ටු නතර කරන ලෙස දැන්වූ බවත් පසුව පහරදීම සඳහා බෝට්ටු ආසන්නයට පැමිණි කුඩා බෝට්ටුවල ඉන්දීය ධජය ඇති බව දුටු බවයි. පැමිණි පිරිස අතර සිංහලෙස් කතා කළ අයෙකු සිටි බව අදාළ ධීවරයා ප්‍රකාශ කළ අතර තවත් ධීවරයෙක් කියා සිටියේ, පැමිණි පිරිස ධීවරයින් සන්තකයේ මත්ද්‍රව්‍ය තිබේ දැයි විමසමින් පහරදීම සිදු කළ බවයි. පහරදීම සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිටි තවත් ධීවරයෙක් පැවසුවේ, පෙනීමේ දුර්වලතාවය නිසා තමන්ට දැඩි ලෙස පහර නොදුන්න ද අනෙකුත් ධීවරයින්ට පැමිණි පිරිස දැඩි ලෙස පහරදුන් බවයි. පහරදීමට ලක්වූ ධීවරයිගේ තුවාල සහිත ඡායාරූප ද සහිතව බීබීසී පුවත් අදාළ සිදුවීම මෙලෙස වාර්තා කර තිබුණා. 

ප්‍රාදේශීය වාර්තාකරුවන් 

මේ අතර වෙන්නප්පුවෙන් මුහුදු ගිය දිනිති දුව – 1 සහ දිනිති දුව – 2 යාත්‍රා දෙකේ ධීවරයින්ට පසුගිය 29 වැනිදා පහරදීම සිදු කර ඇති බවත් සඳුන් පුතා ධීවර යාත්‍රාවට පසුගිය 30 වැනිදා දියෙගෝ ගාර්සියා දූපත්වලට ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේදී පහරදීම සිදු කර ඇති බවත් අප වාර්තාකරු ප්‍රකාශ කළා. අදාළ ධීවර පිරිසට කිසියම් පිරිසක් ඉතා කුරිරු අන්දමින් පහරදී ඇති බව ද අප වාර්තාකරුවන් ද තහවුරු කළා. අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම පහරදීම ඉන්දීය ආරක්ෂ අංශ විසින් සිදු කළ බවට ධීවරයින් ප්‍රකාශ කරන බවයි.  

ධීවරයින්ට ම්ලේච්ඡ ලෙස පහරදීලා’’ – ධීවර ඇමති 

මේ අතර ධීවරයින්ට පහරදීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 02 වැනිදා මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඝෘජුවම චෝදනා කළේ, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් මෙම පහරදීම පිටුපස සිටින බවයි. මේ පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්වරයා ද දැනුම්වත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

මේ අතර  ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් පසුගිය 4 වැනිදා උදෑසන ගොඩබිමට රැගෙන ඒමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ධීවරයින්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය රාමලිංගම් එදින කොළඹ ජාතික රෝහලට පිටත්ව ගිය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. 

ඔවුන්ගේ තත්ත්වය විමසා බැලීමෙන් පසු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ධීවරයින්ට පහරදී ඇති ආකාරය ඉතා ම්ලේච්ඡ බවයි. ඉන්දීයානුවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බවට ධීවරයින් චෝදනා කළ ද ඉන්දීය නිලධාරීන් මීට සම්බන්ධ නොමැති බවට ඉන්දීය රජය ප්‍රකාශකර ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා. 

කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන්නේ, ඉන්දීය නම, ධජය සහ භාෂාව භාවිත කරමින් වෙනත් කණ්ඩායමක් මෙම අපරාධය සිදු කළේ නම්, එය ඉන්දියාවට අපකීර්තියක් මෙන්ම ධීවර ප්‍රජාවටත් දැඩි තර්ජනයක් බවයි. 

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම්වත් කර ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී, විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළා. තව ද ධීවර අමාත්‍යාංශය ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව ද විපතට පත් ධීවරයින්ට අවශ්‍ය සියලු සහන සහ උපකාර සලසන බව ද අමාත්‍යවරයා පැවසී ය.  

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ප්‍රතිචාරය 

මේ අතර ජාත්‍යන්තර මුහුදේදී ලාංකික ධීවරයින්ට එල්ලවී ඇති ප්‍රහාරය සම්බන්ධව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතාගෙන් අප වීමසීමක් සිදු කළා. ලේකම්වරයා ප්‍රකාශ කළේ, අදාළ ධීවරයින් පිරිස ධීවර කටයුතුවලින් පසු අරාබි මුහුදේ සිට ශ්‍රී ලංකාව දෙසට ගමන්කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි. කළු ඇඳගත් පිරිසක් පැමිණ ධීවර බෝට්ටු නවතා ඉතා දරුණු ආකාරයෙන් ධීවරයින්ට පහරදී ඇති බවයි. පහරදීමට ලක්වූ ධීවරයින් ප්‍රකාශ කරන පරිදි මෙම පහරදීම සිදු කර ඇත්තේ, ඉන්දියාවෙන් බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා. පහරදීමට ලක්ව ප්‍රතිකාර ලැබූ සියලු ධීවරයින් මේවනවිට රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවත් සිදුවීමට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ද බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා කියා සිටියා. 

එල්ල වන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය නාවික හමුදාව හෝ වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලාංකික ධීවරයින්ට ඉන්දීය නිලධාරීන් පහරදීමක් සිදුකර නොමැති බව නිශ්චය කරගෙන ඇති බවත් සහ එය තහවුරු කළ හැකි බවත්ය. මහ කොමසාරිස් කාර්යාල මාධ්‍ය ප්‍රකාශකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉන්දියාව දිගින් දිගටම ධීවරයින්ගෙ ජීවනෝපාය කරුණු සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට සහ කිසිදු තත්ත්වයක් යටතේ බලය භාවිත නොකළ යුතු බවට වන ස්ථාවරයක සිට ඇති බවයි. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රතිචාරය 

ධීවර කටයුතු සඳහා ගොස් එමින් සිටි ලාංකික ධීවරයින්ට මුහුදේදී කිසියම් පිරිසක් විසින් ධීවරයින්ට පහරදීමේ සිදුවීම සම්බන්ධව අප නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් බුද්ධික සම්පත්ගෙන් විමසීමක් සිදු කළා. මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේ, දැනුම්දීමකට අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික හමුදාව මැදිහත්වී ධීවරයින් පිරිසක් ගොඩබිමට රැගෙන ආ බවයි. 

තවද, මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මහ මුහුදේදී සිදුවන හදිසි අවස්ථාවක්, අනතුරක්, රෝගීවීමක් වැනි ඕනීම සිදුවීමක් සම්බන්ධව කෙරෙන විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාව තාක්ෂණිකව සහය දැක්වීම සිදු කරන බවයි.  තව ද මෙවැනි සිදුවීමක් වාර්තාවූ සැනින් නාවික හමුදාව පාර්ශවයෙන් සිදුවිය යුතු විමර්ශන සිදු වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

මේ අනුව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් යළි පැමිණෙමින් සිටි ලාංකික ධීවරයින් කිසියම් හෝ පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව ඇති බව පැහැදිලි වන අතර සිදුවීමට මුහුණ දුන් ධීවරයින් ප්‍රකාශ  කරන්නේ, තමන්ට පහර දුන්නේ, ඉන්දීයාවෙන් බවටයි. කෙසේ වෙතත් එල්ලවන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරන අතර මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ, ඉන්දීය නාවික හමුදාව හෝ වෙරළාරක්ෂක බලකාය මෙවැනි පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළ හැකි බවයි. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Avatar

Title:ලාංකික ධීවරයින්ට ලක්වූ පහරදීම ගැන කරුණු දැක්වීමක්…

Fact Check By: Sagarika Chathumali 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *