ඉන්දියාවේ රාජස්ථාන් හි දැරියක් බරපතල අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළ වීඩියෝ පට නොවේ! 

Internatioanl Misleading

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ශ්‍රී ගංගානගර් හි 13 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් 2026 ජූනි 18 වැනිදා සිට 23 වැනිදා දක්වා දින පහක් පුරා සමූහ දූෂණයට ලක් කර ඇති බවට පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එහි සැකකරුවන් 32 දෙනෙකුගෙන් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙම පසුබිම මූලික කරගනිමින් වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නට විය. මෙම සිදුවීමට අදාළ වීඩියෝ ලෙස දක්වමින් හුවමාරු වී තිබූ බොහෝ වීඩියෝ පට මෙම සිදුවීමට අදාළ නොවන මීට පෙර වාර්තා වී ඇති සිදුවීම් වලට අදාළ වීඩියෝ පට බවට අප කළ කරුණු පරීක්ෂාවෙන් අනාවරණය වුණා.

Claim 1

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පලමු වීඩියෝව රාජස්ථාන්හි 13 හැවිරිදි දැරියක් දින පහක් පුරා අතවරයට ලක්ව ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook 

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook Facebook

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත වීඩියෝවෙන් රෝහල් කාමරයක් යැයි සිතිය හැකි ස්ථානයක දැඩි ලෙස කම්පනයට පත්ව හඬමින් සිටින දැරියක් දැක්වෙන අතර, කිහිප දෙනෙකු ඇය අසල සිටිමින් ඇයව අස්වසන ආකාරයත්, නිල ඇඳුම් වලින් සැරසී සිටින පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද එම ස්ථානයේ සිටින බවත් දැකගත හැකියි. 

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ශ්‍රී ගංගානගර් හි 13 හැවිරිදි දැරියක් බරපතල අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව කිසිඳු විශ්වසනීය හෝ නිල මූලාශ්‍රයක් මගින් ඉහත දර්ශන ඇතුළත් වීඩියෝව වාර්තා කර නැත. ඒ හේතුවෙන් අප විසින් එම වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.

උත්තර ප්‍රදේශ්හි හර්දෝයි, බිල්ග්‍රම් (Bilgram) ප්‍රදේශයේ සිදුවූවක්

එහිදී මෙම වීඩියෝවේ දර්ශන ඇතුළත් ඉන්ස්ටග්‍රෑම් (Instagram) සටහනක් හමු හඳුනාගැනීමට හැකි වුණා. එහි දක්වා තිබුණේ, උත්තර ප්‍රදේශ්හි හර්දෝයි, බිල්ග්‍රම් (Bilgram) ප්‍රදේශයේ සිදුවූ පැහැරගැනීමක් පිළිබඳවයි. 

ඒ ඔස්සේ යමින් අපි එම සිදුවීම පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා.

එහිදී පුවත්පත් වාර්තාවක් හමු වූ අතර එහි සඳහන් ව තිබුණේ, අපට හමු වූ අතර, එහි සඳහන් ව තිබුණේ, හර්දෝයිහි බිල්ග්‍රම් ප්‍රදේශයේදී 11 හැවිරිදි දැරියක රවටා, පැහැරගෙන ගොස් සමූහ අපයෝජනයට  ලක් කර ඇති බවයි. මෙම සිදුවීමට නිසි යුක්තිය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිසිය තමන්ට තර්ජනය කළ බවට සහ නිසි ක්‍රියාමාර්ග නොගත් බවට දැරියගේ පියා චෝදනා කර තිබූ බවද එහි සඳහන් විය.

හර්දෝයිහි සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් සමාජ මාධ්‍යවල පළ වූ සටහන් ද දැකගත හැකි වූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හර්දෝයි පොලිසිය විසින් එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු ද වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු ඉදිරිපත් කරමින් හර්දෝයි පොලිසිය සඳහන් කර තිබුණේ, ඔවුන් මේ සම්බන්ධව නඩු කටයුත්තක් ආරම්භ කර ඇති බවත්, ඊට අමතරව ළමයින් ලිංගික අපරාධවලින් ආරක්ෂා කිරීමේ පනතේ (POCSO Act) වගන්ති ද ඊට ඇතුළත් කර ඇති බවයත් ය. X

රාජස්ථාන් පොලිසිය ද X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින්, වෛරල් වෙමින් පවතින වීඩියෝවක් අසත්‍ය ප්‍රකාශයක් සමඟ හුවමාරු කරගනිමින් පවතින බවත්, එම වීඩියෝව උත්තර ප්‍රදේශ්හි හර්දෝයි ප්‍රදේශයෙන් වාර්තා වූවක් බවත් පවසමින් කරුණු පැහැදිලි කර තිබේ.

X

ඒ අනුව පැහැදිලි වන්නේ ඉහත වීඩියෝව උත්තර ප්‍රදේශ්හි හර්දෝයි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් අතවරයට ලක් කරන ලද දැරියකගේ වීඩියෝ පෙළක් බවයි. එය රාජස්ථානයේ ශ්‍රී ගංගානගර්හි සිදුවූ සමූහ අපයෝජන සිද්ධියට ව්‍යාජ ලෙස සම්බන්ධ කරමින් ප්‍රචාරය කර ඇත.

Claim 2

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දෙවන වීඩියෝවේ දක්වා තිබුණේ දෑත් ගැටගසා ඇති පුද්ගලයන් පිරිසකට පහරදෙමින් මහාමාර්ගයක රැගෙන යන ආකාරයයි. එම වීඩියෝවද, ඉන්දියාවේ අවුරුදු දහතුනේ දැරිය කෙලෙසු නරුමයින්ට ජනතාව දුන් ගුටි පූජාව යනුවෙන් දක්වමින් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

Facebook 

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook |Facebook |Facebook | Facebook |Facebook |Facebook |Facebook |Facebook F |acebook

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප එම වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.

2026 මාර්තු මස පතාන් දිස්ත්‍රික්කයේ ගොවිපළකට එල්ල වූ ප්‍රහාරයකට එරෙහිව වැරදිකරුවන් ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්

එහිදී අදාළ වීඩියෝව 2026.05.19 දිනයේ හුවමාරු කරගෙන තිබූ X සටහනක් හමු වූ අතර, එහි දක්වා තිබුණේ, ගුජරාටි ප්‍රාන්තයේ, පතාන් හි සිදුවූ සිදුවීමක් බවයි.

X

එසේම තවදුරටත් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී මීට මාස තුනකට පෙර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් වාර්තා වී තිබූ ප්‍රවෘත්ති වාර්තාවක් හමු වුණා. එම ප්‍රවෘත්ති වාර්තාවේ දක්වා ඇති ආකාරයට මෙම සිදුවීම ගුජරාටයේ පතාන් දිස්ත්‍රික්කයේ සිදු වූවක් වන අතර, කිසියම් කල්ලියකට අයත් යැයි කියනු ලබන පුද්ගලයින් 18 දෙනෙකුට මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ, මෙම කල්ලිය ප්‍රදේශයේ ගොවිපලකට සහ පොලිස් වෑන් රථයකට පහර දීම බවත් එහි වාර්තා කර ඇත.

එසේම මෙය සනාථ කරමින් 2026 මාර්තු 19 වන දින පල වූ තවත් පුවත් වාර්තාවක සඳහන් වන්නේ මෙය පතාන් දිස්ත්‍රික්කයේ ජිලියා ගම්මානයේ ගොවිපළකට එල්ල වූ ප්‍රහාරයකට එරෙහිව වැරදිකරුවන් ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් බවයි. පොලිසිය විසින් සියලුම පුද්ගලයන් පතාන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් මාර්තු 23 දක්වා රැඳවුම් භාරයට ගෙන ඇති බවත් එහි වාර්තා කර ඇත.

එසේම අදාළ වීඩියෝව ගුජරාටි ප්‍රාන්තයේ ආරවුලකට අදාළ සිදුවීමක් බවත්, එය ශ්‍රී ගංගානගර් හි දැරිය අපයෝජනයට ලක් කළ සිදුවීමට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් දක්වමින් ඉන්දියාවේ News 18 නම් ආයතනය විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්.

මේ අනුව, පැහැදිලි වන්නේ මෙම වීඩියෝව රාජස්ථාන් අපයෝජන සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය මාර්තු මාසයේදී පතාන් හි ගොවිපලක සිදුවූ ගැටුමක් මූලික කරගත් සිදුවීමක් බවත් ය.

Claim 3

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම සිදුවීමට අදාළ බව කියමින් පුද්ගලයන් පිරිසක් අත් ගැටගසා රැගෙන යන ආකාරය දැක්වෙන තවත් වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප විසින් එම වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.

ගුජරාටයේ ඛේඩා දිස්ත්‍රික්කයේ බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක්

එහිදී 2026 අප්‍රේල් 19 දින X (ට්විටර්) ගිණුමක මෙම වීඩියෝව සමග පළ කර තිබුණු සටහනක් දැකගැනීමට ලැබුණා. එහි සඳහන් ව තිබුණේ,

“ඛේඩා (Kheda) බාලවයස්කාර අපයෝජන නඩුව: 8ක් අත්අඩංගුවට, විමර්ශන ක්‍රියාත්මකයි.  යනුවෙනි.

X

ගුජරාටයේ ඛේඩා දිස්ත්‍රික්කයේ බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් අට දෙනෙකු ගුජරාට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වලට අනුව, සැකකරුවන් විසින් වින්දිත දැරිය රවටා, ලිංගික අතවර කර, තර්ජනය කර ඇති බවට චෝදනා එල්ල වන බවත් එහි දක්වා ඇත. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කරන ලද පරීෂාවේදී 2026 අප්‍රේල් 18 වන දින ඉන්දියවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් හමු වූ විය. එහි ඉහත වීඩියෝවේ සිටින පුද්ගලයන්ම සිටින ඡායාරූපයක් ඇතුළත් කර තිබුණි. එම වාර්තාවට අනුව, ගුජරාටයේ ඛේඩා හි බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්ව ඇත. සැකකරුවන් වසර තුනක් තිස්සේ වින්දිත දැරිය අපයෝජනය කර තිබේ. එහිදී සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, මෙම දර්ශනය ශ්‍රී ගංගානගර් දූෂණ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලි වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී ඇති රාජස්ථාන් හි  බාලවයස්කාර දැරියගේ සමූහ අපයෝජන සිද්ධිය 

ඉන්දියාවේ, රාජස්ථාන් ප්‍රදේශයේ ශ්‍රී ගංගානගර් හි 13 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් දින පහක් පුරා හෝටල් කිහිපයක රඳවා තබා ගනිමින් සමූහ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ ඛේදනීය සිදුවීමක් පසුගියදා වාර්තා විය. මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රධාන සැකකරුවන් ඇතුළු 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධය සඳහා අනුබල දුන් සහ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය හෝටල් තුනක් සම්පූර්ණයෙන්ම කඩා විනාශ කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ. 

පොලිස් විමර්ශන සහ පුවත් වාර්තා අනුව, ඉකුත් ජුනි 18 වන දින අදාළ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉහත බාලවයස්කාර දැරිය අතුරුදහන් වී ඇත. ඇය නිවස බලා පැමිණීම සඳහා ගොඩ වූ ත්‍රිරෝද රථයක රියදුරෙකු විසින් ඇයව රවටා, ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වෙත මුදලට අලෙවි කර තිබේ. 

දැරියගේ පවුලේ අය විසින් කරන ලද අතුරුදහන් වීමේ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ගංගානගර් පොලිසිය, විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) අනුයුක්ත කරමින් සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇත.ඒ අනුව ජුනි 22 වනදා රාත්‍රියේ ‘ඛුන්ගර්’ (Khungar) නැමැති හෝටලයක් වටලා සිරකර සිටි දැරියව නිරුපද්‍රිතව බේරාගැනීමට පොලිසිය සමත් විය. 

මෙම සිදුවීමත් සමඟ ප්‍රාන්තය පුරා දැඩි මහජන විරෝධයක් සහ විරෝධතා මතු විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් පරිපාලනය, ගොඩනැගිලි රෙගුලාසි උල්ලංඝනය කරමින් සහ මෙවැනි සාහසික අපරාධ සඳහා ඉඩකඩ සලසා දෙමින් පවත්වාගෙන ගිය හෝටල් තුනක් වන Hotel Khungar, Joy Inn, සහ Sapphire Inn යන හෝටල් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට පියවර ගෙන ඇත. 

ශ්‍රී ගංගානගර් පොලිස් අධිකාරී (SP) හරිශංකර් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින් පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ කිසිදු වරදකරුවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ නොදෙන බවත්ය. බේරාගත් දැරිය දැනට වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගනිමින් පසුවෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ රාජස්ථාන්හි 13 හැවිරිදි දැරියක් සමූහ දූෂණයකට ලක් කිරීමේ සිදුවීමට අදාළ වීඩියෝ පට ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත වීඩියෝ පට, එම සිදුවීමට සම්බන්ධ දර්ශන පෙළක් නොවන බවයි. 

ඇතැම් වීඩියෝ පට මීට පෙර වාර්තා වී ඇති වෙනත් අපයෝජන සිදුවීම් වලට අදාල වීඩියෝ කොටස් වන අතර ඇතැම් දර්ශන අපයෝජන සිදුවීම් වලට අදාළ නොවන වෙනත් පැරණි සිදුවීම් වලට අදාල වීඩියෝ පට වේ.

රාජස්ථාන්හි 13 හැවිරිදි දැරියක් සමූහ දූෂණයකට ලක් කිරීමේ සිදුවීමට සම්බන්ධව පුළුල් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධය සඳහා අනුබල දුන් සහ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය හෝටල් තුනක් සම්පූර්ණයෙන්ම කඩා විනාශ කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

Result Stamp

Title: ඉන්දියාවේ රාජස්ථාන් හි දැරියක් බරපතල අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළ වීඩියෝ පට නොවේ!

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *