දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක තොරතුරු හුවමාරුවෙමින් පවතී. මෙවැනි පසුබිමක බන්ධනාගාර ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නැමති පුද්ගලයකු බූස්ස බන්ධනාගාරයේදී ඝාතනය වී ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ සම්බන්ධයෙන් සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.




Facebook Facebook Facebook Facebook Facebook Facebook
ඒ අනුව මෙහි සත්‍යය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් ඉරිදා (ජූලි 5) ආරම්භ වූ දරුණු නොසන්සුන්කාරී සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු දිවයින පුරා පිහිටි වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබිණි. පල්ලෙකැලේ බෝගම්බර විවෘත බන්ධනාගාරය, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය, වැලිකඩ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ඒ අතර විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
‘කටුවැල්ලේගම සුරේෂ්‘ නැමැත්තා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ
මූලික විමර්ශනවලට අනුව, ගැටුම හටගෙන ඇත්තේ බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව නිලධාරීන්ට තොරතුරු ලබා දුන් රැඳවියන් පිරිසක් ඉලක්ක කර ගනිමිනි. බන්ධනාගාරගතව සිටින ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තා විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවටද මේ වන විට අනාවරණය වී ඇත. ඒ අනුව මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මීගමුව බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන මහමොළකරු ලෙස සැලකෙන කටුවැල්ලේගම සුරේෂ් නැමති පුද්ගලයා ගාල්ල, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එවැනි පසුබිමක එම බන්ධනාගාරය තුළදී ඔහු ඝාතනය වී ඇත්නම්, සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් වාර්තාකර තිබිය යුතු අතර, අප විසින් සිදුකළ මූලික පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ, කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් මෙම කටුවැල්ලේගම සුරේෂ් නැමැති පුද්ගලයා ඝාතනය වී ඇති බවට තහවුරු කර නොමැති බවයි.
එසේම මෙම පුද්ගලයා බූස්ස බන්ධනාගාරයේ නිරුපද්‍රිතව සිටින බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පුවත් වාර්තා කර තිබුණා. එම වාර්තාව මෙතනින්.
කටුවැල්ලේගම සුරේෂ් නමැති පුද්ගලයා ඝාතනය වී ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍යයි
පොලිස් මාධ්‍ය කොට්ඨාශය
බන්ධනාගාර ගැටුම මෙහෙය වූ කටුවැල්ලේගම සුරේෂ් නමැති පුද්ගලයකු බූස්ස බන්ධනාගාරයේදී ඝාතනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් අප විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසන ලද අතර එහිදී තහවුරු වූයේ කටුවැල්ලේගම සුරේෂ් නමැති පුද්ගලයා ඝාතනය වී ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. කෙසේ නමුත්, මීගමුව බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස, බූස්ස බන්ධනාගාර වෙත මාරුකර යවන ලද පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට මියගොස් ඇති බවත්, ඔවුන් හදිසි අසනීප තත්වයන් හේතුවෙන් මියගොස් ඇති බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් ප්‍රකාශ කළා. කෙසේ නමුත්, මෙම පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනයේ පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් තහවුරු කළා.
බන්ධනාගාර මූලස්ථානය
අප විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයෙන් ද විමසීමක් කළ අතර එහිදී බන්ධනාගාර මූලස්ථානය විසින් තහවුරු කළේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති පුද්ගලයෙකු බූස්ස බන්ධනාගාරයේ දී මියගොස් ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. මීගමුව බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද පුද්ගලයකු මිය ගොස් ඇති නමුත්, එම පුද්ගලයා මෙහි සඳහන් පුද්ගලයා නොවන බවට තහවුරු කරනු ලැබුවා.
බූස්ස බන්ධනාගාරය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමසීමේදී, බූස්ස බන්ධනාගාරය විසින් ද තහවුරු කළේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති පුද්ගලයා මියගොස් ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව අප වෙත අදහස් දක්වමින් එම පුද්ගලයා ජීවතුන් අතර සිටින බවට බූස්ස බන්ධනාගාරය විසින්ද තහවුරු කළා.
මෙවැනි සටහනක් නිර්මාණය වීමට හේතුව කුමක්ද ?
මීගමුවේ සිට බූස්ස සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් දෙදෙනෙකු හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා වී තිබුණි. කටුවැල්ලේගම සුරේෂ් ද බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති බැවින් සහ මෙම ගැටුමේ මහමොළකරු ඔහු බවට මේ වන විට වාර්තා වී ඇති බැවින් බූස්ස බන්ධනාගාරයේදී මිය ගොස් ඇත්තේ ඔහු බවට සටහන් නිර්මාණය වූවා විය හැකිය.
මීගමුවේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබූ එක් රැඳවියෙකු එහිදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එසේම මීගමුවේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද අනෙක් රැඳවියා ද එහි රැගෙන යාමෙන් පසු මියගොස් ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
මීගමුව බන්ධනාගාර ගැටුමේ වත්මන් තත්වය
මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල ක්‍රියාත්මක වූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය සමස්ත සංඛ්‍යාව මේ වන විට 29 දක්වා ඉහළ ගොස් ඇත. තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාමත් සමඟ මියගිය නිලධාරීන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත විමර්ශන පවරා ඇති අතර, ජනාධිපති ලේකම්වරයා විසින් පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විශේෂ විමර්ශන කමිටුව අද (ජූලි 09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රථම රැස්වීම පවත්වා ඇත. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මීගමුවේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමේ මහ මොළකරු ලෙස මේ වන විට අනාවරණය වී ඇති කටුවැල්ලේගම සුරේෂ් නොමැති පුද්ගලයා බූස්ස බන්ධනාගාරයේ දී ඝාතනය වී ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. මීගමුවේ සිට බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කර යවන ලද පුද්ගලයන් දෙදෙනෙකු හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා වී ඇති නමුත් ඒ අතර මෙම කටුවැල්ලේගම සුරේෂ් නැමති පුද්ගලයා නොමැති බවට තහවුරු වී ඇත.


