ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ නීතිඥ භාවය අහෝසි වී ඇති බවට පැතිරෙන සටහන්වල ඇත්ත නැත්ත!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා “රුපියල් ලක්ෂ හැත්තෑවක” මුදලකට ගිජු වී කටයුතු කිරීම නිසා ඔහුගේ නීතිඥ තනතුර අහිමි වී ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ නීතිඥ භාවය ඉවත් කර ඇත්නම් ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වැඩි වශයෙන් අවදානයට ලක් වෙමින් වාර්තා කළ යුතු වූවත්, එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුව

අප නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වාසදායක කටයුතු මූලාශ්‍රයකින් විමසා සිටි අතර එම මූලාශ්‍රය තහවුරු කළේ, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා නීතිඥ තනතුර ඉවත් කර නොමැති බවයි.

ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය

එම සංගමය සඳහන් කළේ, නීතිඥවරයෙකු පත් කිරීම මෙන් ම ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ බැවින් දීලීප පීරීස් නීතිඥභාවයෙන් ඉවත් කරන්නේ නම් එ් පිළිබඳ තීරණය ගනු ලබන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවයි. කෙසේ වෙතත් එවැනි තීරණයක් ගත් බවට නීතිඥවරුන්ගේ සංගමය මෙතෙක් දැනුවත් කර නොමැති බව ත්, සඳහන් කළා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් ද, අප මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා විමසා සිටි අතර ඒ මහතා ද, තහවුරු කළේ, දිලීප පීරිස් නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි කර ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවයි.

“ලක්ෂ හැත්තෑව” යන ප්‍රකාශය නිර්මාණය වූ ආකාරය

අධිකරණයේ පවතින නඩු විභාගයකදී, දශක තුනක යුද්ධයේදී වීර වික්‍රම විභූෂණ සහ රණශූර වැනි උසස්ම පදක්කම් 7ක් දිනාගත් විශිෂ්ට රණවිරුවෙකු වන ලුතිනන් ශාන්ත ජයතිලක මහතා ලැබූ පදක්කම්, දිලීප පීරිස් මහතා විසින් “තහඩු කෑලි” ලෙස හඳුන්වමින් අවඥාවට ලක් කළ බවට ගම්මන්පිල මහතා චෝදනා කර තිබුණා. ලුතිනන් ශාන්ත ජයතිලක මහතා විසින් මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙතනින්.

උදය ගම්මන්පිල මහතා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී දිලීප පීරිස් මහතා ඉලක්ක කරගනිමින් වාචික විවේචනයක් එල්ල කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ, දිත්වා සුළි කුණාටුවෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණ, කුණාටුවෙන් එක් තහඩුවක් ගසා ගෙන ගිය අයට ලක්ෂ 10ක් ලබා දෙන බවයි. මේ හේතුවෙන් ශාන්ත ජයතිලක මහතාගේ කමිසේ තහඩු 7ක් ගසා ඇති බැවින් ඒවා ගසා යාමට කතා කිරීම සඳහා ලක්ෂය ගානේ තහඩු 7‌ට ලක්ෂ 10 ගානේ ලක්ෂ 70 ක් ලබා ගැනීමේ පෙරේතකමට ද, රණවිරුවන්ට අපහාස කරමින් කතා කළේ, බවට සැකයක් පවතින බවයි.

 

Facebook

මෙම අධිකරණ කටයුත්ත පැවතුණේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සලේ මහතා සම්බන්ධ විමර්ශන වේ. මෙහිදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඇතුළු මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව දිලීප පීරිස් මහතා අධිකරණයේදී දැඩි ලෙස කරුණු ඉදිරිපත් කර තිබූ අතර, රජයේ නීතිඥයෙකු ලෙස දිලීප පීරිස් මහතා විසින් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් විමර්ශන සඳහා අධිකරණය හමුවට කැඳවීමේදී සහ ඔවුන් විවේචනය කිරීම, ගම්මන්පිල මහතා ඇතුළු පිරිසකගේ දැඩි අමනාපයට හේතු වී තිබුණා.

ලුතිනන් ශාන්ත ජයතිලක මහතාට ජනාධිපතිවරයා විසින් පිරිනමන රාජ්‍ය ගෞරව සම්මාන, රජයේම ඉහළ නිලධාරියෙකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු විසින් හෑල්ලු කිරීම නුසුදුසු බව ත්, නීතිඥයෙකු අධිකරණයේදී කරුණු දක්වන විට වෙනත් පාර්ශවයන්ට අපහාස නොකළ යුතු බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ රීති 53 සහ 54 දිලීප පීරිස් මහතා උල්ලංඝනය කර ඇති බැවින් ඔහුගේ “නීතිඥ කබාය ගැලවීමට” එනම් නීතිඥභාවය අහෝසි කිරීමට කටයුතු කරන බවට ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුගේ නීතිඥභාවය අහෝසි විය හැකි බවට ප්‍රකාශ ද, නිකුත් කර තිබූ අතර මේ හේතුවෙන් මෙලෙසින් දැනටමත් දිලීප පීරිස් මහතාගේ නීතිඥ භාවය අහෝසි කර ඇති බවට සටහන් නිර්මාණය වී ඇති බවට පෙන්වා දිය හැක.

දිලීප පීරිස් මහතාට එරෙහිව ඉදිරිපත් වූ නිල පැමිණිලි සහ පෙත්සම්

දිලීප පීරිස් මහතාට එරෙහිව නීතිමය වශයෙන් තනතුරෙන් ඉවත් කිරීමට තරම් කිසිදු වංචා චෝදනාවක් ඔප්පු වී නොමැති වුවත්, මෑතකදී ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දේශපාලනික සහ සංවිධානාත්මක පෙත්සම් 2ක් වාර්තා වේ.

රණවිරුවන්ට අපහාස කළ බවට වූ පැමිණිල්ල

‘බෝධි ධම්ම මානව අවිහිංසා ජාත්‍යන්තර සංවිධානය’ විසින්,අධිකරණ ක්‍රියාවලියකදී රණවිරුවන්ගේ නිල පළඳනාවක් “තහඩු කෑල්ලක්” ලෙස හැඳින්වීමෙන් ඔහු රණවිරුවන්ට අපහාස කළ බව පවසමින්, ඔහුව අධිකරණ කටයුතුවලින් ඉවත් කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා මෙම සංවිධානය විසින් නීතිපතිවරයාට, අගවිනිසුරුවරයාට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට (BASL) ලිඛිත පැමිණිල්ලක් භාර දෙන ලදී. 

මිලිටරි බුද්ධි අංශ ප්‍රකාශ පිළිබඳ යුද හමුදාවේ අමනාපය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු මිලිටරි බුද්ධි අංශ නිලධාරීන් විමර්ශනවලට සහය නොදක්වන බවට දිලීප පීරිස් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීමත් සමග මේ හේතුවෙන් යුද හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ඔහු අතර දුරකථන මාර්ගයෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත්, හමුදාව අපහසුතාවයට පත් කිරීම ගැන ආරක්ෂක අංශවල නොසන්සුන්තාවයක් ඇති වූ බවත් The Sunday Times පුවත්පත වාර්තා කර තිබුණා.

මෙම පැමිණිලි සියල්ලම ඔහු විසින් සිදුකරන ලද රාජකාරිමය ප්‍රකාශ පදනම් කරගෙන විරුද්ධ පාර්ශවයන් විසින් සිදු කරන ලද ඒවා මිස, කිසිදු මූල්‍ය වංචාවක් හෝ වෘත්තීය විෂමාචාරයක් සම්බන්ධයෙන් ඔප්පු වූ නීතිමය වැරදි නොවේ.

ශ්‍රී ලංකා නීතියට අනුව නීතිඥවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තිය ප්‍රකාරව, නීතිඥවරයෙකු වෘත්තියෙන් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට (Disbarment) පරම බලය ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. දිලීප පීරිස් මහතාට එරෙහිව එවැනි කිසිදු ශ්‍රේෂ්ඨාධිකරණ විනය නියෝගයක් නිකුත් වී නොමැත.

ලංකාවේ නීතියට අනුව නීතිඥයෙකුගේ (Attorney-at-Law) නීතිඥභාවය අහෝසි කිරීම (disbarment/removal) සිදුවන ආකාරය පහත දක්වා ඇත.

නීතිමය පදනම

මෙය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ (Judicature Act) 42 වන වගන්තිය සහ ව්‍යවස්ථාවේ 136 වන ව්‍යවස්ථාව යටතේ සාදන ලද 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරුන්ගේ හැසිරීම හා ආචාරධර්ම) නීතිරීති මගිනි. 42 වන වගන්තියට අනුව, යම් වංචාවක්, දුෂ්කෘත්‍යයක්, අපරාධයක් හෝ වරදක් සිදු කළ බවට වරදකරු වන ඕනෑම නීතිඥවරයෙකු, විනිසුරුවරුන් තිදෙනෙකු එකට වාඩිවී, වෘත්තියෙන් අත්හිටුවීමට හෝ ධුරයෙන් ඉවත් කිරීමට හැකිය. Studocu

ක්‍රියාපටිපාටිය

1. පැමිණිල්ල/විමර්ශනය ආරම්භ වීම

  • පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් හෝ අධිකරණයක් වාර්තා කරන කරුණක් මගින් ආරම්භ විය හැක.
  • අගවිනිසුරුවරයාට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනෑම විනිසුරුවරයෙකුට, නීතිඥවරයෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් වෘත්තියෙන් අත්හිටුවීම හෝ ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විනය කමිටුවක් මගින් මූලික විමර්ශනයක් පැවැත්විය හැකි බවට නියෝග කළ හැක. Srilanka Law

2. විනය කමිටුවේ මූලික විමර්ශනය

  • විනය කමිටුව සමන්විත වන්නේ, අගවිනිසුරු විසින් පත් කරන ලද පුද්ගලයන් 15කට හෝ ඊට වැඩි පිරිසකින් සමන්විත මණ්ඩලයෙන් තෝරාගත් පුද්ගලයන් තිදෙනෙක්ගෙන්. Studocu
  • මෙම කමිටුව චෝදනා විභාග කර, නිර්දේශ සහිත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරයි.

3. චෝදනා පත්‍රය (Rule) නිකුත් කිරීම

  • ශ්‍රේෂ්ඨාධිකරණය 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 42(3) වගන්තිය යටතේ, නීතිඥභාවයෙන් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට එරෙහිව හේතු දැක්විය යුතු බවට නියෝග කරමින් නීතිඥවරයාට “Rule” එකක් නිකුත් කරයි. Lankalaw
  • 42(3) වගන්තියට අනුව, ඕනෑම නීතිඥවරයෙකු අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට පෙර, ඔහුට එරෙහි චෝදනාවේ පිටපතක් සහිත දැනුම්දීමක් සහ සාධාරණ කාලයක් තුළ හේතු දැක්වීමට ඉල්ලා සිටින නොතීසියක් ඔහුට පෞද්ගලිකව භාරදිය යුතුය. Lankalaw

4. විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාගය

  • මෙම විනය පරීක්ෂණය රහසිගතව පැවැත්වේ. නීතිඥවරයා නොපැමිණියත් විභාගය පැවැත්විය හැක. Studocu
  • සාක්ෂි විභාග වී, දෙපාර්ශවයේම කරුණු අසනු ලැබේ. නීතිඥ සංගමය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරයි.

5. අවසන් තීන්දුව

  • විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් අවසන් තීන්දුව ලබා දෙයි. මෙම මණ්ඩලය විනය කමිටුවේ නිර්දේශයට බැඳී නොසිටියි. Studocu
  • වරදකරු වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය:
    • වෘත්තියෙන් තාවකාලිකව අත්හිටුවීම (Suspension), හෝ
    • නීතිඥභාවයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම / නාමලේඛනයෙන් ඉවත් කිරීම (Disbarment/striking off) නියෝග කළ හැක.
  • තීන්දුව ලැබුණු පසු, ලේඛකාධිකාරි (Registrar) විසින් නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කරයි.

සුලභ හේතු

  • වංචාව, බොරු ලේඛන සකස් කිරීම හෝ පෝෂණය
  • පාරිභෝගිකයාගේ මුදල් අවභාවිතය
  • සුළුතර/ව්‍යාජ අත්සන් සකස් කිරීම
  • අධිකරණයට අපහාස කිරීම හෝ බරපතල ආචාරධර්ම කඩකිරීම
  • අපරාධයකට වරදකරු වීම

වැදගත් කරුණක්

නීතිඥභාවය යනු අයිතියක් නොව, රජය විසින් ලබා දෙන විශේෂ අවසරයකි (privilege), ඒ නිසාම එය අවශ්‍ය අවස්ථාවක ආපසු අහෝසි කළ හැකි බලයක් (revocable franchise) වේ. නීතිඥවරයෙකු නාමලේඛනයෙන් ඉවත් කිරීම දඬුවමක් නොව, වෘත්තියේ පාරිශුද්ධභාවය රැකගැනීම සඳහා අවශ්‍යවන ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

නිගමනය (Conclusion):

ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා “රුපියල් ලක්ෂ හැත්තෑවක” මුදලක් වෙනුවෙන් කටයුතු කිරීම නිසා සිය නීතිඥ භාවය අහෝසි වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. නමුත් ඔහු තවදුරටත් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ධූරයේ සක්‍රීයව සේවය කරනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන් ම ඔහුගේ නීතිඥ භාවය අහිමි වී නොමැති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ද, තහවුරු කරනවා.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවකට අගතියට පත් පාර්ශවයක් ලෙස කරුණු දැක්වීම සඳහා පැමිණි ලුතිනන් ශාන්ත ජයතිලක මහතා ලැබූ පදක්කම්, නීතිඥ දිලීප පීරිස් මහතා විසින් “තහඩු කෑලි” ලෙස හඳුන්වමින් අපහාසයට ලක් කිරීම පිළිබඳ දිලීප පීරිස් මහතාට උදය ගම්මන්පිල මහතා විරෝධය දැක්වූවා. ඒම සිදුවීම සමගින් දිගින් දිගට දිලීප පීරීස් මහතා සැකකරුවන්ට අපහාස කරමින් අවඥාසහගත ලෙස කතා කරන බව අවදානයට ලක් කරමින් මේ හේතුවෙන් ඔහුගේ නීතිඥ භාවය අහෝසි වීමේ ඉඩකඩක් පවතින බව ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මෙලෙසින් මේ වන විටත් නීතිඥ දිලීප පීරිස් මහතාගේ නීතිඥ භාවය අහෝසි වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන අන්දමින් වාර්තා කර තිබේ.

Result Stamp

Title: ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ නීතිඥ භාවය අහෝසි වී ඇති බවට පැතිරෙන සටහන්වල ඇත්ත නැත්ත!

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *