දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කම්කරු අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මීට අදාළ සටහන් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අදාළ සමාජ මාධ්‍ය සටහන නිර්මාණය වී තිබුණේ සිරස News 1st නිල ලාංඡනය සහිතවයි. ඒ අනුව මෙවැනි පුවතක් News 1st හි පල වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළ අතර, එහිදී නිරීක්ෂණය කළ හැකි වූයේ News 1st හි මෙවැනි සටහනක් පළ කර නොමැති බවයි.
එසේම අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුය. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් මෙවැන්නක් වාර්තා කර නොමැති බවයි.
කම්කරු අමාත්‍යංශය
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් කිසිවිටෙකත් සිදු කර නොමැති බවත්, අදාළ ප්‍රචාරයන් මුළුමනින්ම ගොතන ලද ඒවා වන බවයි.
ශ්‍රී ලංකාවේ සාමාජීය, දේශපාලනික හා ආගමික සහජීවනය පළුදු කිරීමේ පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් විසින් මෙම අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පහත් මට්ටමේ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන කම්කරු අමාත්‍යාංශය, එම ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

මාධ්‍ය ලේකම් – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
අප විසින් මේ සම්බන්ධයෙන් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරියගෙන්ද විමසීමක් කළ අතර එහිදී අය විසින් ද සඳහන් කළේ මෙම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
මෙවැනි සටහන් නිර්මාණය වීමට හේතුව?
මෙවැනි සටහනක් සංසරණය වන්නේ දඹදිව වන්දනා චාරිකාවල නිරත වන ශ්‍රී ලාංකිකයින්ට දීර්ඝ කාලයක් තිස්සේ ලබා දී තිබූ මාසයක සහන වීසා පහසුකම ඉන්දීය බලධාරීන් විසින් අත්හිටුවීම හේතුවෙන් වීසා ලබා ගැනීමේ ගැටලුවක් උද්ගත වී ඇති පසුබිමකදී ය.
මීට පෙර සංචාරක සංවිධායකයින් මගින් වන්දනාකරුවන්ට පහසුවෙන් ලබාගත හැකිව තිබූ සහනදායී වීසා ක්‍රමය, මේ වන විට නතර කර ඇත. සාමාන්‍ය ක්‍රමයට වීසා ලබා ගැනීමට සිදුවීම නිසා මීට පෙර රුපියල් 3,875ක් වූ වීසා ගාස්තුව, මේ වනවිට රුපියල් 9,850ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම, වෙනදා කණ්ඩායම් වශයෙන් එකවර චාරිකා සංවිධායකයින් මගින් වීසා ලබා දුන්නද, මේ වන විට වන්දනාකරුවන් තමන් විසින්ම වීසා ලබා ගැනීම සඳහා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතුය.
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා දිවයිනෙන් බැහැර වන ශ්‍රී ලාංකික බැතිමතුන් මුහුණ දී සිටින මෙම නව වීසා නියාමනයන් සම්බන්ධ ගැටළු, කඩිනමින් නිරාකරණය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීම, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ඉල්ලා තිබේ. මෙම වීසා අර්බුදය සම්බන්ධයෙන් වන සියලුම නිල ලේඛන සහ වාර්තා දැනටමත් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර මහතා තහවුරු කර ඇත. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ වහාම සාකච්ඡා කොට මීට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විසඳුමක් ලබාගැනීම මෙහි මූලික අරමුණයි.
මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා ප්‍රකාශ කරන්නේ, ඉන්දීය රජයේ නව ආරක්ෂක රෙගුලාසි හේතුවෙන් වන්දනාකරුවන් මෙන්ම සංවිධායකයින්ද දැඩි පීඩාවකට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධායකයින් හරහා වන්දනාකරුවන්ට මීට පෙර හිමි වූ මාසයක සහන වීසා පහසුකම දැනට මාස කිහිපයක සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවයි. මේ පිළිබඳ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා සහ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ
අප විසින් සිදුකල විමසීමේදී ඒ මහතා විසින් සඳහන් කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලිපි පදනම් කරගනිමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් මීට පෙර වන්දනාකරුවන් සඳහා නොමිලේ (Gratis) වීසා ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රමය හරහා පුද්ගලයන් මෙරටට ඇතුළු වීමේදී ජෛවමිතික දත්ත ලබා ගැනීම හෝ නිසි පරීක්ෂාවකට ලක් කිරීම සිදු නොවන බැවින්, එහි බරපතල ආරක්ෂක සිදුරක් පවතින බවට හඳුනාගෙන තිබුනේ, විශේෂයෙන්ම, ඉන්ටර්පෝල් රතු නිවේදන (Red Corner Notices) නිකුත් කර ඇති පුද්ගලයන්ට පවා මෙම ක්‍රමය අවභාවිතා කරමින්, පරීක්ෂාවකින් තොරව, රටට ඇතුළු වීමට අවස්ථාව පැවතීමයි.
මේ හේතුවෙන්, දැනට එම ක්‍රමය වෙනස් කර ඇති අතර, වන්දනාකරුවන් ද සාමාන්‍ය පරිදි ගෙවීම් සිදු කර, ජෛවමිතික දත්ත ලබා දී සහ නිසි පරීක්ෂාවකට ලක් වී, වීසා ලබා ගත යුතු බවට තීරණය වී ඇත.
මෙම හදිසි වෙනස් වීම පිළිබඳව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් කරුණු විමසා ඇති අතර, මේ සම්බන්ධයෙන් මැදිහත් වී, විදේශ අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් විසින් සඳහන් කළා. ආරක්ෂක අවශ්‍යතා සපුරාලමින් මෙම ගැටලුවට ගත හැකි ඉදිරි පියවර පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් දඹදිව තායිලන්ත සහ ඩුබායි සංචාර තහනම් කිරීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කළ බව දක්වමින් හුවමාරු වන සටහන ව්‍යාජ සටහනක් බවයි. අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව කම්කරු අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.


