යුපුන් අබේකෝන් ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමේ තීන්දුව දැන්වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අසත්‍ය ප්‍රකාශ!

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මෑතකදී ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම කෙටිදුර ධාවන ශූරයෙකු වන යුපුන් අබේකෝන් සිය ක්‍රීඩා දිවියෙන් ඉවත් වන බව දැන්වීම ත්, සමඟ, වත්මන් රජයේ ඇමතිවරුන් විසින් සිදුකළ බවට හැඟවෙන විවිධ ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාලාව සංසරණය වන්නට විය.  මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1:

නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා විසින්, “යුපුන් ඉල්ලන මුදලින් තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 දුවන්න ක්‍රීඩකයින් 10 ක් පුහුණු කරන්න පුළුවන්” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වා තිබුණා.

Facebook | Archived Link

“යුපුන් ට අපි ගෙවන ගානෙන් දුවන්න බැරි නම් ගෙදර යන්න පුලුවන්, අපිත් ඒ කාලෙ දිව්වෙ අපේ වියදමින්, අපිට  ආන්ඩුවෙන් දුවන්න කියල නෙවෙයි, අපි ක්‍රීඩාවට ආවෙ අපේ ආසාවට” යනුවෙන් ද, නි. අමාත්‍ය වරයා විසින් ප්‍රකාශයක් කළ බවට දක්වා තිබුණා.

Facebook | Archived Link

Claim 2: 

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ද, “අපිට මේ වෙලාවෙ ඩොලර් ලක්ෂ තූනක් ගෙවලා යුපුන්ගෙන් පදක්කම් බලාපොරොත්තු වෙනවාට වඩා අර අලූතින් හෙල්ල විසිකරන ළමයාට අඩු ගාණක් අයෝජනය කරලා ඔලිම්පික් රන් පදක්කමක් ගන්න පුලූවන් අපේ මේ ආන්ඩුවට එක ඔලිම්පික් රන් පදක්කමක් ගත්තම ඇති.” යනුවෙන් ප්‍රකාශයක් සිදු කළ බව දක්වමින් ද, සටහනක් පළ විය.

Facebook | Archived Link

Claim 3:

“යුපුන්ලා වගේ වයසක යල්පැන ගිය ක්‍රීඩකයන් විශ්‍රාම යන එක ක්‍රීඩාවට හොදයි.” යනුවෙන්  කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් ද, සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Claim 4:

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් “ඔය හරීන්ලගෙන් දෙන්නං කාසි වලට දුවපු යුපුන් ලා වෙනුවට නියම දක්ෂ ක්‍රීඩකයො තරුණයෝ ඉන්නවා අපෙ රතු තරුව බලකායෙ. ඒ අයගෙ දරුවොත් ඉන්නවා. එහෙම අයට තැන දෙන්න ඕන කාලෙ මේ. නැතූව හරීන්ලගෙ අවතාර වලට සල්ලි ගෙවන්න බෑ” යනුවෙන් ක්‍රීඩක යුපුන් අබේකෝන් පිළිබඳව ප්‍රකාශයක් කළ බවට දක්වමින් ද, සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

චතුරංග අබේසිංහ සහ නලින්ද ජයතිස්ස අමාත්‍යවරුන් එවැනි ප්‍රකාශ සිදු කර නැහැ

චතුරංග අබේසිංහ සහ නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන් ක්‍රීඩා අමාත්‍යාංශයට කිසිදු සෘජු සම්බන්ධතාවයක් නැති අතර ඔවුන් සිය නිල මාධ්‍ය හමුවලදී සාකච්ඡා කර ඇත්තේ තමන්ට අදාළ විෂය පථයන් පමණි. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් ප්‍රකාශක ලෙස හෝ ක්‍රීඩක යුපුන් අබේකෝන් සම්බන්ධයෙන් අදහස් පළ කර නොතිබුණි. ඒ බව අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් ද, තහවුරු කරනු ලැබීය.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යුපුන් සම්බන්ධ කිසිදු ප්‍රකාශක් මාධ්‍ය වෙත සඳහන් කර නැහැ 

එමෙන් ම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න විසින් ද, මේ පිළිබඳ කිසිදු ප්‍රකාශයක්, මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු  කර නොමැති බව අප කළ විමර්ශනයේදී තහවුරු විය.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශය අළලා වෙනත් ප්‍රකාශයක් සහිත සටහනක්

යුපුන්ගේ මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ නිල ප්‍රකාශය සිදුකළේ සැබෑවශයෙන්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පමණක් වේ. නමුත්, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස සෘජු ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර නොමැති අතර, අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ලිඛිත අනුමැතියකින් තොරව යුපුන්ට දීමට පොරොන්දු වූ බව කියන ඇමරිකානු ඩොලර් 300,000ක මුදල එකවර ගෙවීමට රජයට නීතිමය ප්‍රතිපත්තියක් නොමැති බවයි. 

රජයෙන් ක්‍රීඩකයන්ට මුදල් ගෙවනු ලබන්නේ ‘මිෂන් ඔලිම්පික්’ (Mission Olympic) වැඩසටහන යටතේ ඔවුන්ගේ වත්මන් දක්ෂතා සහ ශ්‍රේණිගත කිරීම් සලකා බලා මිස, පැරණි ඇමතිවරුන් දුන් වාචික පොරොන්දු මත නොවන බව ඔහු මෙහිදී අවධාරණය කළා.

යුපුන් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින මුදල් ප්‍රමාණය සාමාන්‍ය ක්‍රීඩකයෙකුට ලබාදෙන මට්ටමට වඩා වෙනස් සහ වැඩි එකක් බව ද, කෙසේ වෙතත්, යුපුන් නැවත ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නම් පවතින ප්‍රතිපත්ති රාමුව තුළ සහයෝගය දීමට රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

යුපුන් අබේකෝන් සම්බන්ධ සිදුවීම

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව පසුගිය ජූලි 21 වන දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

ඔහු එහිදී සඳහන් කළේ, තමාට තවදුරටත් ක්‍රීඩා කිරීමට කාලය සහ හැකියාව තිබුණ ද, අවසානයේදී ක්‍රීඩාවෙන් සමුගැනීමට දැඩි හා දුෂ්කර තීරණයක් ගැනීමට සිදුවූ බවයි. ලංකාවේ වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවන දේවල් සහ තමාට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව ඉදිරියේදී විස්තරාත්මකව කතා කරන බව ද ඔහු සඳහන් කළා. ශ්‍රී

ලාංකිකයෙකු ලෙස රටට අභිමානයක් ගෙන දෙමින් තමා ඇති දැඩි කළ මව්බිමට ණය ගෙවීමට ලැබීම පිළිබඳව තමා උපරිමයෙන් තෘප්තිමත් වන බව නමුත්, තමාට තාක්ෂණය ලබා දෙමින්, පුහුණු කරමින් ශ්‍රී ලංකාවට ආදරය කළ විදේශීය මිනිසුන්ට සහ රටවලට ණයකාරයෙකු වීමට සිදුවීම පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බව ඔහු සිය ප්‍රකාශය අවසන් කරමින් අවධාරණය කර තිබුණා. එම සටහන පහතින්.

Facebook | Archived Link

යුපුන්ගේ මෙම තීරණයත්, සමග ජනමාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් මේ ගැන පැනයක් යොමු කරනු ලැබුවා. ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉහත අප සඳහන් ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යුපුන් අබේකෝන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කියා සිටියේ තමා ඉල්ලා සිටියේ තෑගි මුදලක් නොවන බව ත්,  හිඟ මුදල් පියවීමක් බවයි. එම ඇමරිකානු ඩොලර් 300,000ක මුදල 2021 වසරේ සිට තමාගේ ජාත්‍යන්තර පුහුණුකරු, භෞතචිකිත්සකවරුන් ඇතුළු සහායක කණ්ඩායමට ගෙවීමට තිබූ සහ ගුවන් ටිකට්පත් සඳහා වැය වූ හිඟ මුදල් පියවීම වෙනුවෙන් රජයට ඉදිරිපත් කළ නිල වියදම් වාර්තාවක් (Bill breakdown) මිස අලුතින් ඉදිරිපත් කළ කොන්දේසියක් නොවන බවයි.

යුරෝපයේ රැඳී සිටිමින් ජාත්‍යන්තර මට්ටමෙන් තරග කිරීමේදී සහ සහායක කණ්ඩායමක් නඩත්තු කිරීමේදී අධික පිරිවැයක් (තරග වාරයකදී රුපියල් මිලියන 2.5 – 3 දක්වා) වැය වන බවත්, රජයේ බලධාරීන් එය තේරුම් නොගෙන ක්‍රීඩකයන් අධෛර්යමත් කරන බවත් ඔහු සඳහන් කර තිබුණා.

නමුත් අමාත්‍යවරයා විසින් තමන් මුදල් ඉල්ලුවේ, ක්‍රීඩා කරන්න අවශ්‍ය නම් මේ මුදල දෙන්න යන අදහසක් සමාජගත කළ බව ත්, තමන් එවැනි අරමුණකින් සිදු කළ ඉල්ලීමක් නොවන බවයි ඔහු පවසා තිබුණේ.

BBCය සමගින් මේ ගැටලුව පිළිබඳ අදහස් දැක්වීම මෙතනින්.

Facebook

යුපුන් අබේකෝන් යනු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ, දකුණු ආසියාවේ බිහිවූ වේගවත්ම මිනිසාය වේ. 1994 දෙසැම්බර් 31 වනදා පන්නලදී උපත ලැබූ ඔහු, පන්නල ජාතික පාසලෙන් සහ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව සිය ක්‍රීඩා සිහිනය හඹා යමින් ඉතාලියේ රැඳී සිටිමින් උසස් ජාත්‍යන්තර පුහුණුවක් ලැබීය. 

යුපුන් ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූයේ 2022 ජූලි 3 වනදා ස්විට්සර්ලන්තයේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.96 කින් නිමා කරමින්, මීටර් 100 තත්පර 10 සීමාව (Sub-10) බිඳ දැමූ ඉතිහාසයේ පළමු සහ එකම දකුණු ආසියාතිකයා බවට පත්වෙමිනි. එලෙසම 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඔහු වසර 24කට පසු ශ්‍රී ලංකාවට එවැනි කෙටිදුර ධාවන පදක්කමක් උරුම කර දුන් ක්‍රීඩකයෙක් වේ. මීටර් 100, මීටර් 200 (තත්පර 20.37) සහ ගෘහස්ථ මීටර් 60 (තත්පර 6.59) යන කෙටි දුර ධාවන ඉසව් ත්‍රිත්වයේම වත්මන් ශ්‍රී ලංකා ජාතික වාර්තා සතු වන්නේ ද ඔහුටය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමට හේතුව ලෙස ඔහු දක්වා සිටින්නේ, පෙර රජය සමයේ සිට පැවත ආ සහායක කණ්ඩායම්වල හිඟ මුදල් පියවීම සහ වත්මන් රජයේ පවතින දැඩි මූල්‍ය ප්‍රතිපත්තිමය රාමුව අතර ඇතිවූ පරිපාලනමය ගැටලුවක් බවයි. නමුත් විවිධ පාර්ශව විසින් රජයේ ක්‍රීඩා කටයුතු භාර ඇමති සහ නියෝජ්‍ය ඇමති වන සුනිල් කුමාර ගමගේ  සහ සුගත් තිලකරත්න මෙන්ම නලින්ද ජයතිස්ස සහ චතුරංග අබේසිංහ යන වෙනත් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්  කළ ප්‍රකාශ බවට ද දක්වා තිබුණේ, ඔවුන්  සිදු කළ ප්‍රකාශ නොව ව්‍යාජ ලෙස සකසා ඇති සටහන් වේ.

Result Stamp

Title: යුපුන් අබේකෝන් ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමේ තීන්දුව දැන්වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අසත්‍ය ප්‍රකාශ!

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *