
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විවිධ කාල වකවානුවල පාසල් සිසුන්ට අහිතකර විවිධ දේ දරුවන් අතර ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශව උත්සහ ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වනවා. නමුත් ඇතැම් විට එලෙස පාසල් සිසුන්ට අහිතකර බලපෑම් සිදුවන විවිධ දේ පිළිබඳ සමාජය නොමඟ යවමින් දෙමව්පියන් සහ සිසුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවන විවිධ සමාජ මාධ්‍ය ජාලා සටහන් ද පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප සිදුකරනු ලැබූ විමසීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
වීඩියෝවක් මුල් කරගනිමින් සමාජ ජාලා හරහා හුවමාරු වන්නේ, දරුන්ගේ ඇස් වලට හානි කරන, එනම් අන්ධභාවයට පවා පත්විය හැකි කිරණක් සහිත පෑනක්, ව්‍යාපාරික අරමුණකින් යම් පාර්ශවයක් විසින් පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමක් සිදුකරනු ලබන බවයි.
මේ දිනවල විශේෂයෙන් දරුවන් සහ දෙමව්පියන් සිටිනා වට්සැප් සමූහ තුළ මෙම වීඩියෝව සංසරණය වීම සිදුව තිබෙනවා. එම වීඩියෝවේ සටහනකින් දැක්වෙනේ මෙම පෑන කිසිසේත් ම සිය දරුවා අතට යාමට ඉඩ නොදෙන ලෙසයි.

අදාළ වීඩියෝවට අනුව පෑනෙන් ලියන දේ නොපෙනෙන අතර පෑනෙ ඇති ආලෝකය ලබාදීමෙන් එම ලියූ දේ බලාගත හැකි බව සඳහන් වනවා. එම පෑනේ ආලෝකය දරුවන්ගේ ඇස්වලට තත්පර 30ක් 35ක් වැනි කාලයක් ලැබීම තුළ දරුවන්ගේ ඇස් වල පෙනීම 65% කින් 75%කින් අඩු වන බව ද සඳහන් වනවා.
මෙම වීඩියෝව YouTube ඔස්සේ ද පළ කර තිබුණේ මෙලෙසිනි.
එම වීඩියෝව You Tube ඔස්සේ පළ කර තිබූ තව ත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මේ පිළිබඳ කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අප තීරණය කළා.
Fact Check (කරුණු විමසා බැලීම) :
මෙම වීඩියෝවේ පවසන පරිදි පාසල් සිසුන් වෙත ඇස් කණ්නාඩි පිළිබඳ ව්‍යාපාරිකයින් හෝ අක්ෂි සම්බන්ද වෛද්‍ය කණ්ඩායම් නොමිලේ මෙම පෑන් බෙදාදීමක් සිදුකරන බවට ප්‍රධාන මාධ්‍ය යම් වාර්තා කිරීමක් සිදුකර තිබුණේ ද යන්න අප සොයා බැලූ නමුත් එවැනි සිදුවීමක් පිළිබඳ වාර්තා කිරීමක් සිදුව නොමැති බව අපට දැකගත හැකිවිය.
Facebook හෝ වෙනත් වෙබ් අඩවියක හෝ මෙවන් පුවතක් පිළිබඳ සටහන් ද අප කළ සෙවීමේදී දැකගත නොහැකි විය.
නමුත් මෙම වීඩියෝවට අදාළ පෑන පිළිබඳව Reverse Image ඔස්සේ සිදුකළ සොයා බැලීම් වලදී දැකගත හැකි වූයේ Invisible Pen/ Magic Pen ආදී ලෙස මාර්ගගත ක්‍රම (Online Stores) හරහා ද මිලදී ගැනීමට හැකියාව ඇති බවයි. Ali Express, FlipKart, Amazon.com, Daraz.lk වැනි ජනප්‍රිය මාර්ගගත වෙළඳසැල් ඔස්සේ ද මෙම පෑන මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
Magic Pen/ Invisible Pen
මෙම පෑන ක්‍රියා කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් පහතින්,
ඉහත වීඩියෝවේ ද දැක්වෙන ආකාරයට මෙම පෑනේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ එහි නම ලෙසමය. එනම් Magic Pen/ Invisible Pen ලෙස ම එම පෑනෙන් කඩදාසියක යමක් ලියූව ද එය නොපෙනේ. නමුත් පෑනේ ඉහළ කෙලවරේ ඇති LED බල්බය ක්‍රියා කර එම ආලෝකය ලියූ දේ මතට එල්ල කළ විට පෑනෙන් ලියූ දේ පෙනීම සිදුවනවා.
මෙම පෑන පිළිබඳව සිදුකළ සෙවීම් වලදී දැකගත හැකි වූයේ එම පෑන UV ආලෝකය සහිත බවයි.

UV ආලෝකය ඇස් වලට අහිතකර ද?
UV ආලෝකය එසේත් නොමැතිනම් පාරජම්බුල කිරණ පෘතුවියට ලැබෙන ප්‍රධන ප්‍රභවය වන්නේ සූර්යයි. මෙම UV ආලෝකය, UVA, UVB සහ UVC ලෙස ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. මෙම සූර්‍යාගෙන් ලැබෙන UV ආලෝකය ඕසෝන් ස්ථරය මඟින් අවශෝෂනය කරගනිමින් පෘතුවියට පැමිණීම වළක්වන නමුත් වර්තමානය වන විට ඕසෝන් ස්ථරයට සිදුව ඇති හානි හේතුවෙන් UV ආලෝකය පෘතුවියට ලැබීම සිදුවනවා. මෙම සූර්‍යාගෙන් ලැබෙන UV ආලෝකයට අමතරව විවිධ උපාංග ඔස්සේ ද UV කිරණ අප වෙත එල්ල වනවා. Johon Hopkins Medicine , National Eye Institute වෙබ් අඩවිය තුළ ද UV ආලෝකය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් වනවා.
මෙම UV ආලෝකය හිරු එළියෙන් හෝ වේවා කෘතිමව හෝ වේවා ඇස් වලට හානිදායක වනවා. ඇස් වලට මෙන් ම මිනිස් සිරුරට ද එමඟින් හානි දායක තත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා.
පාරජම්බුල කිරණවලට නිරන්තරයෙන් නිරාවරණය වීම මඟින් අපගේ ඇස්වල දෘෂ්ටි විතානයට හානි වන අතර එමඟින් ඇස්වල පෙනීමට අහිතකර බලපෑමක් සිදුකරනු ලබනවා. තව ද මෙම UV ආලෝකය ඇස්වල අන්ධභාවය, ඇසේ සුද ඇතිවීම සහ වෙනත් පෙනීම මත පදනම් වූ තත්වයන් සඳහා අහිතකර ලෙස බලපානු ලබනවා. UV ආලෝකය ඇස්වලට නිරාවරණය වීම මඟින් ඇස්වලට සිදුවන අහිතකර තත්වයන් මෙසේ ය.
- ඇසේ වේදනාව හෝ රතු පැහැය
- ඇස් ඉදිමීම
- අක්ෂිවල ඇඹරීම
- ඇස්වලින් කඳුලු ගැලීම
- තාවකාලික පෙනීම නැතිවීම
- හිසරදය
- අක්ෂිවල වියළි බව
අක්ෂි වෛද්‍ය Juan Ding ද මේ පිළිබඳ පැහැදිලි කරන්නේ මෙලෙසින්
UV ආලෝකය ඔස්සේ ඇස් ආරක්ෂා කර ගැනීමට හොඳ තත්වයේ අව් කණ්නාඩි භාවිතාකිරීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව UV ආලෝකයට නිරාවරණය නොවන ලෙස ඇඳුම්, ආරක්ෂිත උපකරණ, හිස් වැසුම් භාවිතා කිරීම තුළ සම ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.
UV ආලෝකය සහිත පෑන පාසල් සිසුන්ට යම් පාර්ශවයක් විසින් නොමිලේ බෙදාහරිනවා ද?
UV ආලෝකය පැහැදිලිවම මිනිස් සමට මෙන් ම ඇස්වලට හානිදායක බව පැහැදිලිය. මෙම පෑන් යම් ව්‍යාපාරික අරමුණකින් පාසල් සිසුන් වෙත බෙදාහැරීමක් සිදුකර තිබේද යන්න පිළිබඳව අප ලංකාවේ විවිධ ප්‍රදේශ කිහිපයකම ගුරුවරුන්ගෙන් සහ සිසුන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා. එහිදී අපට දැනගත හැකි වූයේ ඇතැම් පාසල් වට්ස් ඇප් සමූහ තුළ මෙම වීඩියෝව හුවමාරු වී තිබූ නමුත් එලෙස දරුවන් අතර මෙවන් වර්ගයේ පෑනක් හුවමාරු වීමක් දැකගත නොහැකි වූ බවයි. එනම් යම් බෙදාහැරීමක් ඔස්සේ දරුවන් අතට මෙවන් පෑන් වර්ග ලැබීමක් පිළිබඳ වාර්තා නොවූ බවයි.
අප මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ පැමිණිලි අංශයෙන් මෙන් ම අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මියගෙන් ද විමසීමක් සිදු කළා. ඔවුන්ගේ අදහස වූයේ ද එලෙස දරුවන්ට අහිතකර කිරණක් සහිත පෑන් වර්ගයක් දරුවන්ට කූඨ උපක්‍රම හරහා ලබාදීමක් පිළිබඳ තොරතුරු වාර්තා නොවූ බවයි. නමුත් මෙවන් වීඩියෝවක් සංසරණය වන අයුරු ඔවුන් ද දැක ඇති අතර අතිරේක ලේකම්වරිය පැවසුවේ පාසල්වල එවන් සිදුවීමක් සිදුවන්නේ ද යන්න වැඩිදුරටත් සොයා බැලීමක් සිදුකරනු ලබන බවයි.
මෙම පෑනෙන් නිකුත් වන ආලෝකය තත්පර 30ක් ඇස්වලට නිරාවරණය වීමෙන් 65%කින් පමණ ඇස්වල පෙනීම දුර්වලවනවා ද?
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝවේ සඳහන් වන්නේ මෙම පෑනෙන් නිකුත්වන අහිතකර ආලෝක කිරණ තත්පර 30ක් 35ක් වැනි කාලයක් ළමුන්ගේ ඇස්වලට නිරාවරණය වීමෙන් ඇස්වල පෙනීම 65% කින් 70% කින් පමණ දුර්වල වනබවයි.
මෙහි සත්‍යතාවයක් තිබේද යන්න අප වෛද්‍යවරයෙකුගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා. රාගම ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය ඊ.එච්.සී.එච් වික්‍රමරත්න මහතාගෙන් මෙම තත්වය පිළිබඳ සිදුකළ විමසීමේදී පවසා සිටියේ තත්පර 30ක් වැනි කෙටි කාලයක් පළමු වරට UV ආලෝකයක් ඇස්වලට නිරාවරණය වූ මොහොතේම ඇස්වල පෙනීම 65%කින් දුර්වලවීමක් සිදුනොවන බවයි. ඇතැම් විට පෑනේ ආලෝකට කඩදාසිය මත වැටී එම ආලෝකය පරාවර්තනය වීමට ද ඉඩ ඇති බැවින් එවන් පෑනක් භාවිතා කරන්නේ නම් අව් කණ්නාඩි වැනි දෙයක් පැලඳීම සුදුසු බවයි. UV ආලෝකය ඇස් වලට අහිතකර බව වෛද්‍යවරයා පසන අතර ම ඔහු කියා සිටියේ යම් කාලයක් ඇස් වලට මෙම UV ආලෝකය නිරාවරණය වීමෙන් ක්‍රමයෙන් ඇස්වල ආබාධ තත්වයන්, ඇස්වල ස්වභාවික වර්ණයන් ඇතිවීම, සුද ඇතිවීම, පිළිකා තත්ව ඇතිවීම මෙන් ම ඇස් පෙනීමේ දුර්වලතා ඇති විය හැකි බවයි. එකවරක් එම ආලෝකයට ඇස් නිරාවරණය වීමෙන් ම ඇස්වල පෙනීමට හානි සිදුනොවන බවයි වෛද්‍යවරයා පවසන්නේ.
වැඩිදුරටත් වෛද්‍යවරයා පවසා සිටියේ මිනිස් සහ සත්ත්ව සමට ද මෙම ආලෝකය අහිතකර වන බැවින් හිරු එළියට නිරාවරණය වනවිට සහ මෙවන් ආලෝක සහිත උපකරණ භාවිතා කිරීමේදී සුදුසු අක්ෂි කාච සහිත ඇස් කණ්නාඩි හෝ අව් කණ්නාඩි පැළඳීම මෙන් ම සිරුර ආවරණය වී පැවතීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (නිගමනය):
අප සිදුකළ විමර්ශනය මඟින් පැහැදිලි වනුයේ ඇස් වලට අහිතකර ආලෝකයක් සහිත පෑන් යම් ව්‍යාපාරික අරමුණකින් පාසල් සිසුන් අතර බෙදාදීම සම්බන්ධ කිසිඳු තොරතුරක් මේ වනවිට වාර්තා වී නොමැති බවයි. නමුත් මෙම අහිහකර ආලෝකය සහිත පෑන පිළිබඳ සිදුකළ විමර්ශනයේදී පැහැදිලි වූයේ මෙම පෑන UV ආලෝකය සහිත පෑනක් බවයි. මෙම පෑන් Magic Pen/ Invisible Pen ලෙස Online Shop හරහා මිලදී ගැනීමේ හැකියාව පවතින බව අපට දැකගත හැකි වුණා. UV ආලෝකය මිනිස් ඇසට සහ සමට අහිතකර තත්වයන් ඇති කරමින් ඇස්වල දෘශ්ටිවිතානයන්ට බලපෑම් කරන බව අපගේ අනාවරණයේදී පැහැදිලි වුණා. එම ආලෝකයට කාලයක් අපගේ ඇස් නිරාවරණය වීම තුළ පෙනීම කෙරෙහි බලපාන දෘශ්ටිවිතානයන්ට හානි වීමෙන් එමඟින් පෙනීමේ දුර්වලතා හෝ අන්ධබාවය පත්වීම වැනි තත්වයන් මෙන් ම ඇසේ සුද ඇතිවීම, ඇස් ඉදිමීම, කඳුලු ගැලීම, ඇස් රතු වීම, ඇස් ආශ්‍රිත පිළිකා තත්ව වර්ධනය වීම වැනි අහිතකර තත්වයන් ඇතිවිය හැකි බව අනාවරණය විය. එබැවින් මෙවන් පෑන් භාවිතා කරන්නේනම් එමඟින් නිකුත් වන UV ආලෝකයෙන් ආරක්ෂා වීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනවා.