ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ට, රාජකාරියෙන් බැහැර වේලාවන්හිදී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට අවසර ඇත. බොහෝ විට මෙම වෛද්‍යවරු තමන්ගේ පෞද්ගලික රෝහල් භාවිතා කරමින් තම සේවය රෝගීන්ට ලබා දෙයි. රජයේ රෝහල්වල පවතින අධික තදබදය නිසා බොහෝ රෝගීන් මුදල් ගෙවා, චැනල් සේවය නමින් හඳුන්වන මෙම වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමට පුරුදුවී තිබේ.

මෙවන් පසුබිම, කපිතාන් නැමැති ෆේස්බුක් පිටුවක, “විනාඩියක් නැවතී කියවන්න...” සිරස්තලය සහිතව සේයාරූ තුනක් අන්තර්ගතකර සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. “රත්නපුර ඔබත් මෙම අක්ෂි වෛද්‍යවරයා ගේ ගොදුරක් ද” යන වදන සේයාරූ තුනට යටින් ආරෝපණය කර තිබුණේය. මෙම සටහනට එකතු කර තිබූ දීර්ඝ කථාංශය පහත දැක්වේ.

“ඔබත් මෙම වෛද්‍යවරයාට හසුවූ ගොදුරක්ද? මොහු නමින් ප්‍රියංග ඉද්දවල වන අතර දැනට රත්නපුර ප්‍රධාන පෞද්ගලික රෝහලක චැනලින් සේවාවක් හරහා රු.57000 ක මුදලක් අයකරමින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කරමින් මුදල් උපයයි.

එහෙත් මෙම වෛද්‍යවරයා සිදු කරන ශල්‍යකර්මයන්ගෙන් 50% කට අධික පිරිසකට එම ශල්‍යකර්ම අසාර්ථක වන බව සහ ඇස් වල අතුරු අබාධ ඇති වූ බව ශල්‍යකර්ම වලට මුහුණ පෑ බොහෝ දෙනා පවසති. එවන් අවස්ථාවක ඔහුගෙන් එය නැවත සකසා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියද එයටද මුදල් අවශ්‍ය බව මොහු ප්‍රකාශ කරන්නේ රෝගීන්ගේ ජීවිත පිළිබඳ කිසිදු තැකීමකින් තොරවය.

මෙය හෙට දින ඔබටද සිදුවිය හැකිය. ඉතින් මෙවන් වෛද්‍යවරුන්ගෙන් අප බේරෙනවා හැර වෙනත් පිළියමක් නැත. ඉතින් හෙට දිනයේ තවත් කෙනෙකු බේරනු පිණිස සහ තවත් කෙනෙකුට දැන ගැනීම පිණිස ශෙයා කරන්න.”

ඉතා සුළු කාල පරාසයකදී ප්‍රතිචාර සටහන් දහසකට අධික සංඛ්‍යාවක් සහිතව, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දොළොස් දහසකට අධික ප්‍රමාණයක් අතර මෙම සටහන හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. වෛද්‍යවරයාට විරුද්ධව ප්‍රතිචාර රැසක් ලබාදී තිබු එම සටහන මේ වනවිට ඉවත්කරගෙන ඇති අතර බවද අපට නිරීක්ශණය විය.

LinkArchived Link

මෙයට සමගාමීව රතු එළිය නැමැති ෆේස්බුක් පිටුවක, “රත්නපුර හිත හොඳ ඇස් දොස්තර” තේමාවෙන් විශේෂඥ අක්ෂි වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතාගේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. සේයාරුවට යටින් “රත්නපුර හිතහොද දොස්තර වරයාගේ ඔබ නොදුටු ඇත්ත” යනුවෙන් රෝපණය කර තිබෙන අතර දීර්ඝ කථාංශයක් ද එකතු කර තිබුණි. එය පහත දැක්වේ.

“රත්නපුර ප්‍රදෙශයේ හිතහොඳ ඇස් දොස්තර නමින් ප්‍රකට ඔහු රත්නපුර රෝහලට පැමිනි පසු රත්නපුර අක්ෂි ඒකකය වෙන කිසිම දිනක නොවූ ආකාරයට සියලු අඩුපාඩු සපුරමින් ඉතා දියුනු තාක්ශනික මෙවලම් ලබාගැනීමට ඉතාම වෙහෙසක් දරමින් එම ඒකකය දැනට තිබෙන ක්‍රියාකාරි ස්ක්‍රීය මට්ටමට ඔහු වෙහෙස උනු බව ඔබ දැන සිටියාද

ඇසේ සුද ඉවත්කිරීම ලන්කාවෙ අනෙකුත් රොහල්වල නවත්වා තිබියදී පවා උදෑසන සිට රත්‍රී වන්තුරු නිරන්තරයෙන් සියලුම වෛද්‍යවරුන් හා රෝහල් කාර්යමන්ඩලය සමග ඉතාමත්ම යුහුසුලුව වැඩකරමින් මෙම අක්ශි වෛද්‍ය වරයා තමාගේ වගකීම් අකුරට ඉටුකරමින් කාලයක් තිස්සේ ගොඩගැසී තිබුනු අහින්සක රෝගීන්ගෙ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 4000 අධික ප්‍රමාණයක් මේවනවිට සිදුකරමින් ඔවුන්ට පෙනීම ලබාදීමට කටයුතු කොට තිබෙනවා. ඒ සඳහා ඔහු සෑම සිකුරාදා දිනකම රත්‍රී 9.00 සිට අලුයම 4.00 දක්වා ස්වෙච්චාවෙන් තමාගේ සේවය අසරන රෝගීන් සඳහා ලබදුන් බව ඔබ දැන සිටියාද?

බදුල්ල බන්ඩාරවෙල මහනුවර ඇඹිලිපිටිය මාතර ප්‍රදේශවල පවා සත්කාරක සේවා පවත්වමින් එම ප්‍රදේශවල විශාල රොගීන් ප්‍රමානයකට පෙනීම ලබාදුන් මේම වෛද්‍ය වරයාට ඔබේ ප්‍රනාමය හිමිවියයුතු නොවේද?

බලන්ගොඩ කහවත්ත ඇහලියගොඩ වැනි සබරගමු පලාතේ අනේකුත් රොහල් පවා ඉතා කැමත්තේන් හ අවබෝධයෙන් කටයුතු කරමින් එම රෝහල්වල අක්ෂි රෝගීන් රත්නපුර රෝහලට ගෙන්වාගෙන ගියනිසාම පලාතේ ජනතාව අතර හිත හොඳ ඇස් දොස්තර ලෙස ජනතාව අතර ප්‍රකටය.

මෙයින් පැහැදිලි වන්නේ මුදල්වලට වහල්ව ජනතාවට සේවය සපයන මෙවැනි වෛද්‍යවරුන්ට මඩ ගැසීම සිතාමතාම යම යම් පාර්ශව මගින් කරගෙන්යන බවයි. මෙසේ මඩ ප්‍රචාර කරගෙන යෑම කනගාටුවට කරුනක් නොවේද?”

LinkArchived Link

පරස්පර විරෝධී අදහස් රැගත් මෙම ෆේස්බුක් සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

කපිතාන් ෆේස්බුක් පිටුවේ සටහනට හිමිවූ ප්‍රතිචාර පරීක්ෂාකිරීමේදී, සටහන ඉදිරිපත් කළ දිනවල හිමි වූ යම් ප්‍රතිචාරයන් පිටුවේ පරිපාලක විසින් ඉවත් කර තිබෙනු නිරීක්ෂණය විය. වෛද්‍යවරයා පිළිබඳව සෘණාත්මක ප්‍රතිචාර පමණක් මුල් දිනවල ප්‍රතිචාරයන්හි රැඳවීමට තැත් කර ඇති බව එහිදී පැහැදිලි විය

මාධව වීරක්කොඩි ඉදිරිපත් කර තිබු ප්‍රතිචාරයට අපගේ අවධානය යොමුවිය. රු 57,000/= වැය කර සිය පියාගේ ඇසක සුද ඉවත්කර කාචයක් බද්ධ කළ සැත්කම අසාර්ථකවු බවත්, එයට හේතුව කාචය පළුදු වීම බවත්, එහෙත් වෛද්‍යවරයා මතය වුයේ ඇස තුල සම කැබැල්ලක් ඇති බවත්, එය යථා තත්වයට පත් කිරීමට එන්නතක් සඳහා රු. 98,000/= වැයවන බවත් එහි පවසා තිබිණි. අවසානයේ විශාල මුදලක් වැය කර වෙනත් අක්ෂි වෛද්‍යවරයකුගේ සේවය ලබා ගෙන පියා සුවපත් කර තිබු බව සඳහන් විය.

අප මාධව වීරක්කොඩි සමග දුරකථනයෙන් සම්බන්ධ වී මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් තොරතුරු විමසීමු. රත්නපුර පිහිටි ආර්යා රෝහලේ පියාගේ සැත්කම සිදුවු බවත්, සැත්කමෙන් පසු ඇස තුලින් බොඳ යමක් පෙනෙන බව පියා නිතරම පැවසු බැවින් ඔහුව නැවතත් වෛද්‍යවරයාට යොමු කළ අතර, මෙම තත්වයට ප්‍රතිකාරය එන්නතක් බවත්, එම එන්නතට රු. 90,000/= පමණ වැය වන බවත් පවසා ඇත. එන්නත ලබා ගැනීමට රෝහලට යාමට පියා මැලිවු බවත්, සැත්කමෙන් පසු උපැස් යුවලක් ගැනීමට දෘෂ්ඨි විශේෂඥයකු වෙතට යොමු කළ අතර, එහිදි පියාගේ නෙත් පරීක්ෂා කළ තාක්ෂණ ශිල්පියා සැත්කම සිදු කල ඇසෙහි කාචය කැඩී ඇති බව දන්වා රත්නපුර පිහිටි අක්ෂි රෝහලකට යාමට ඔහුට උපදෙස් දුන් බවද පැවසීය.

අනතුරුව රත්නපුර ආර්යා රෝහලයට යොමු කොට එහිදි පියාව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් පියාව කොළඹ විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කළ අතර, එම වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් පියා සුවපත්වු බව පැවසීය. කාචය ලබා ගැනීමට යම් වෙළඳ ආයතනයක් නිර්දේශ කළාද යන්න විමසු විට, එසේ නොකල බවත්, එහෙත් කාචය ලබා ගත හැකි ස්ථාන දැනුවත් කළ බව පිළිතුරු සැපයීය. ඔහු එම කාවය කොළඹ පිහිටි ප්‍රසිද්ධ කාච ආනයනය කරන සමාගමකින් මිළදී ගත් අතර ආර්යා රෝහලේ සිදුකල සැත්කමට මුළු පිරිවැය කාචයද ඇතුලත්ව රු.57,000/= බවද දැන්වීය.

මෙම සිදුවීම පිළිබඳව විශේෂඥ අක්ෂි වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතාගෙන් විමසු විට ඔහු පවසා සිටියේ, දියවැඩියා රෝගියෙකු වු රෝගියා පශ්චාත් සැත්කම්, අභ්‍යන්තර රුධිර වහනය (Intraocular hemorrhage / bleeding) තත්වයක් ඇතිවු බවයි. එයට ප්‍රතිකාර සඳහා Avastin හෝ Lucenti නමැති එන්නත ලබා දිය යුතු බවත්, මිල අධික එම එන්නත එක් vial එකකින් රෝගීන් 25 පමන ලබා දෙන නිසා එම එන්නත ලබා ගැනීමට රත්නපුර මහ රොහලේ සායනයට පැමිණෙන ලෙස දැන්වු බවත් රෝගියා එසේ රෝහල්ගතවීමට එකඟ නොවූ බවත්ය.

රොෂාන් චයින්ද නමැත්තෙකු සිය ප්‍රතිචාරය දක්වා තිබුණේ 2007 වසරේ ගල් වෙඩිල්ලක් පිපිරීම නිසා නෙත් දෙකට සහ ශරීරයට ලත් තුවාල මැද රත්නපුර රෝහල් වෛද්‍යවරු ඔහුට සැලකු අකාරුනික ආකාරයයි. එහෙත් විශේෂඥ වෛද්‍ය ඉද්දවල මහතා රත්නපුර රෝහලේ සේවයට පැමිණ ඇත්තේ 2017 වසරේ බැවින් එම ප්‍රතිචාරය ඔහුට අදාළ නොවේ.

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ඉද්දවල මහතාට එල්ලවු තවත් චෝදනාවක් වුයේ රත්නපුර විෂන්කෙයා (Vision Care) වෙත රෝගීන් යොමු කරන බව සහ එහි ඇති සමහර උපකරණයන්හි හිමිකරු ඔහු බවය. අප මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස රත්නපුර Vision Care ශාඛාවේ කළමණාකාරිනියට දුරකථන ඇමතුමක් ගත්තෙමු. 1992 ආරම්භ කර, දෘෂ්ඨි සේවා සපයන දිවයිනේ ප්‍රමුඛයා බවට පත්ව ඇති තමන් සේවය කරන ආයතනයට දිවයින පුරා පැතිරුණු ශාඛා 50කට අධික සංඛ්‍යාවක් ඇති බවත්, පරිඝණක කර ඇති නවීන අක්ෂි පරීක්ෂණ උපකරන ඇති බවත්, අක්ෂි පරීක්ෂණ මෙන්ම කණ් සහ නාසා රෝග සඳහා පරීක්ෂණ කල හකි බව පැවසු ඇය, දැනට රත්නපුර ප්‍රදේශයේ අක්ෂි රෝගියෙකුගේ දෘෂ්ඨිවිතානයේ සුවිශේෂී ස්ථර නිරීක්ෂණය කර, එහි ඝනකම මැනගත හැකි ඔප්ටිකල් කොහෙරන්ස් ටොමොග්‍රැෆි Optical Coherence Tomography (OCT) සහ ග්ලුකොමා රෝගි තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය Humphrey Visual Field Analyser (HVFA) යන්ත්‍ර තම ශාඛාව සතුව ඇති බවද පැවසුවාය. එමෙන්ම කණ් සහ නාසා රෝග සඳහා පරීක්ෂණ යන්ත්‍රද තම ආයතනය සතුව ඇති බව දන්වා සිටියාය. සියළු යන්ත්‍රවල හිමිකාරිත්වය තමන් සේවය කරන ආයතනය සතු බවත්, අක්ෂි රෝග මෙන්ම දියවැඩියා, කණ් සහ නාසා රෝග පරීක්ෂා කිරීමට රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, රෝගීන් තමන් වෙත යොමු කරන බව පැවසුවාය.

එමෙන්ම අවිස්සාවේල්ල, බදුල්ල සහ ඇඹිලිපිටිය රොහල්වල සේවය කරන වෛද්‍යවරු අක්ෂි පරීක්ෂණ සඳහා තම ශාඛාව වෙත යොමු කරන බවත්, වෛද්‍යවරුන්ට කොමිස් ගෙවීම හෝ වෙනයම් පාරිතෝෂික ගෙවීම් කිරිම තම ආයතනයේ ප්‍රතිපත්ති වලට පටහැනි බවද පැවසුවාය. තම පරිශ්‍රයේ ඇති මහල් නිවාස සංකීර්ණයේ ඇති නිවාස. කුලී පදනම මත වෛද්‍යවරුන් ලබාගෙන ඇති බවද පැවසුවාය.

Vision Care ආයතන පිලිබඳ සිදුකර ඇති පහත සටහනද මේ වනවිට ඉවත්කරගෙන ඇති බව අපට දක්නට ලැබුණි.

LinkArchived Link

තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස, අප රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂක, වෛද්‍ය අනෝජ රොඩ්රිගෝ මහතාට දුරකථන ඇමතුමක් ගත්තෙමු. තමන් රත්නපුර රෝහලේ සේවයට පැමිණියේ 2019 මැයි මස බවත්, අධ්‍යක්ෂක ධූරයට පත්වුයේ 2019 සැපතම්බර් මාසයේ බව පැවසු ඔහු, රත්නපුර තම සේවා කාලය තුලදි විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ඉද්දවල මහතා පිළිබඳව කිසිදු පැමිණිල්ලක් නොමැති බවත්, ඔහුගේ සැත්කම් රෝගීන්ගෙන් 50% අසාර්ථක වීම පිළිබඳව තමන්ට වාර්තාවී නැති බවද පැවසීය. එහෙත් අක්ෂි ශල්‍ය කර්මයන් සිදු කරන්නේ වියපත් රෝගීනට බවත්, සැත්කම පැවැත්වීමට පෙර ඇතිවු දියවැඩියාව වැනි රෝග තත්වයන් නිසා අතුරු රෝග ඇතිවිමට හැකියාවක් ඇතත් එයටද ප්‍රතිකාර සලසන බව පැවසීය. ඇණවුම් කර වසර දෙකක් ගතව ඇතත් මේ වන තෙක් රත්නපුර රෝහලට OCT යන්ත්‍රයක් ලැබී නොමැති බව ප්‍රකාශ කළේය.

අනතුරුව අප කවි කවීෂා නැමැත්තකුගේ දීර්ඝ ප්‍රතිචාර සටහනට අවධානය යොමු කළෙමු. එහි සේයා රුවක් පහත දක්වා ඇත.

මොහු පවසන පරිදි රත්නපුර සිංහ රෝහලේ හෙද නිලධාරියකු ලෙස සේවය කරයි. විෂන් කෙයා ආයතනය සම්බන්ධයෙන් ඔහු චෝදනා රැසක් එල්ල කරන අතර විෂන් කෙයා ආයතනය ඒ සියල්ල පදනම් විරහිත බව පැවසීය. කවී කවීෂාගේ චෝදනාවක් වන්නේ වෛද්‍ය ඉද්දවල බාල අක්ෂි කාච භාවිතා කරන බවයි. එහෙත් අප වෛද්‍ය ඉද්දවල මහතා ඉහත තම පියාට ශල්‍යකර්මයක් සිදුකරන ලද මාධව වීරක්කොඩි මහතාගෙන් මේ පිලිබඳ කරන ලද විමසීමකදී පවසා සිටියේ අක්ෂි කාච පිළිබඳව විශේෂඥ වෛද්‍ය ඉද්දවල කිසිදු බල පෑමක් නොකල බවය.

එමෙන්ම ලංකාවට අක්ෂි කාච ආනයනය කළ හැක්කේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි National Medicines Regulatory Authority (NMRA) ලියාපදංචිවී ඇති, ඔවුන්ගේ තත්ව නියාමනයන් යටතේ පමණකි. එනිසා වෛද්‍ය ඉද්දවලට අවශ්‍ය අන්දමට බාල කාච ආනයනය කළ නොහැකිය. අප රත්නපුර සිංහ රෝහලේ සාමාන්‍යාධිකාරි භාතිය අංගම්මන මහතාට දුරකථන ඇමතුමක් ගෙන කවි කවීෂා නමැත්තෙකු සිංහ රෝහලේ හෙද නිළධාරියකු ලෙස සේවයේ ඇත්දැයි විමසීමු. එවැනි නමක් ඇත්තෙකු සිංහ රෝහලේ සේවය නොකරන බව පැවසීය. කවි කවීෂාගේ සටහන අංගම්මන මහතාට යොමු කළ විට, ඔහු එම මාෆියාව පිළිබඳව පුවත සම්පූර්ණයෙන් සාවද්‍යය බව පැවසීය. විශේෂඥ වෛද්‍ය ඉද්දවල මහතාගේ සැත්කම් පිළිබඳව පැමිණිලි නොමැති බවද පැවසීය.

අප රත්නපුර ආර්යා රෝහලේ සාමාන්‍යාධිකාරි ජයසේකර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමු. ඔහු ආර්යා රොහලේ සේවය සඳහා පැමිණියේ මෑතකදි බවද පැවසු විශේෂඥ වෛද්‍ය ඉද්දවල මහතා චැනල් සේවයට තම රෝහලට පැමිණෙන බව සහ මෑතකදි එහි අක්ෂි ශල්‍ය කර්ම නොකල බවද පැවසීය.

අනතුරුව අප 2019 වසරේ සැප්තැම්බර් මස තෙක් රත්නපුර මහ රොහලේ අධ්‍යක්ෂක ලෙස සේවය කර, දැනට කරාපිටිය ශීක්ෂණ රොහලේ අධ්‍යක්ෂක ලෙස සේවය කරන වෛද්‍ය සම්පත් රනවීර මහතා සමග දුරකථන‍යෙන් සම්බන්ධ වුයෙමු. රත්නපුර තම සේවා කාලය තුල විශේෂඥ අක්ෂි වෛද්‍ය ලෙස වෛද්‍ය ඉද්දවල මහතා 2017 වර්ෂයේ සේවයට පැමිණි බවත්, දුර්වල මට්ටමක තිබු අක්ෂි වෛද්‍ය අංශය වර්තමාන තත්වයට ගෙන ඒමට ඉතා වෙහෙසක් දරා ක්‍රියා කළ වෛද්‍යවරයකු බවද අවධාරනය කළේය. එමෙන්ම රත්නපුර රෝහලේ කාලයක් පුරා ගොඩගැසී තිබු අක්ෂි ශල්‍යකර්ම ඉක්මනින්ම අවසන් කිරීමට රාත්‍රි කාලයේ පවා ශල්‍යකර්ම සිදුකිරීමට කටයුතු කළ දක්ෂ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු බව පැවසීය. ඔහුගේ සේවා කාලය තුල විශේෂඥ අක්ෂි වෛද්‍ය ඉද්දවල මහතාගේ සැත්කම් පිළිබඳව පැමිණිලි නොලැබුණු බවද තවවුරු කළේය.

තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය සම්මේලනයේ (College of Ophthalmologists of Sri Lanka) ලේකම් විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. විශේෂඥ වෛද්‍ය ඉද්දවල මහතා විශෙෂඥ වෛද්‍යවරයකු ලෙස පුරා වසර 20කට අධික කාලයක් අත්දැකීම් ඇති ජේෂ්ඨ , විශේෂඥ වෛද්‍යවරයකු බවත්, ඔහුගේ සහයට සමස්ථ අක්ෂි වෛද්‍ය ප්‍රජාව ඔහු සමග සිටින බව අවධාරනය කළේය. එමෙන්ම සැත්කම් සංඛ්‍යාවෙන් 50% අසාර්ථක වෛද්‍ය වෘත්තියේ යෙදීමට කිසිසේත් අවකාශයක් නොමැති බවද, දැනට ෆේස්බුක් මාධ්‍ය ජාලයේ, විශේෂඥ වෛද්‍ය ඉද්දවල පිළිබඳ හුවමාරු වන සටහන සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමට කමිටු සාමාජිකයන් එළඹෙන 28දා රැස්වෙන බව පැවසු අතර ඔවුන් විසින් මේ පිලිබඳ ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත යොමුකරන ලද ලිපියක් මෙලෙසින් පළකර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මේ පිලිබඳ සිදුකල විමසුමකදී ඔවුන් මෙම පදනම් විරහිත ප්‍රකාශ හෙලා දකින බව පවසා සිටි අතරඑලෙසින් ක්‍රියා කරන්නන් පිලිබඳ නීතිමය පියවර ගන්න ලෙස පොලිස්පතිතුමා වෙත යොමුකරන ලද ලිපියක්ද අප වෙත යොමුකරන ලදී

අවසාන වශයෙන් අප, ඇසක කාචයක් බද්ධ කිරීම සඳහා වැයවෙන මුදල පිළිබඳව, කොළඹ ඇති ප්‍රධාන පෞද්ගලික අක්ෂි රෝහලක් ඇතුළු ප්‍රධාන පෞද්ගලික රෝහල් කිහිපයක සමීක්ෂණයක් කළෙමු. නේවාසික නොවන රෝගියකු සඳහා රු 75,000/= සිට 90,000/= මුදලක් වැයවෙන බව තහවුරු විය.

මෙම විමර්ශන සඳහා අප වෛද්‍යවරයාගෙන්, ශල්‍ය කර්මයට භාජනය වූ රෝගී පාර්ශවයෙන්, රත්නපුර රෝහලෙන්, Vision Care ඇතුළු රත්නපුර සහ කොළඹ පෞද්ගලික රෝහල්වල්වලින් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් සහ ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය සම්මේලනය (College of Ophthalmologists of Sri Lanka) ඇතුළු පාර්ශව රැසකින් විමර්ශන සිදුකරන ලදි. මෙම විමර්ශන තුලදී බොහොමයක් සටහන් අදාල පුද්ගලයින් විසින් ඉවත්කරගෙන තිබෙනුද දක්නට ලැබීම විශේෂත්වයකි.

අවසාන නිගමනය.

අපගේ කරුණු විමර්ශනයෙන් පහත කරුණු තහවුරු විය

  • ඇසකට බද්ධ කරන කාච ජාතික ඖෂධ නියාමනය අධිකාරියේ තත්ව නියාමනය යටතේ ආනයනය කරන නිසා, තත්වයෙන් බාල කාච වෛද්‍යවරයකුට සැපයිය නොහැක
  • විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතාගේ සැත්කම්හි සාර්ථකත්වය 50% ප්‍රතිශතයක් නම් ඔහුට විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඉදිරියට පැමිණීමට නොහැක
  • රත්නපුර විෂන් කෙයා ආයතනයට අක්ෂි පරීක්ෂාවන් සඳහා විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතා පමණක් නොව, අවිස්සාවේල්ල, ඇඹිළිපිටිය සහ බදුල්ල රොහල්හි අක්ෂි වෛද්‍යවරුන් රෝගීන් යොමු කරන බවත්, මීට අමතරව රත්නපුර රොහලේ වෙනත් විශේෂඥ වෛද්‍යවරුන්ද රෝගීන් යොමු කරන බව
  • විෂන් කෙයා ආයතනයේ රත්නපුර ශාඛාවේ ඇති පරීක්ෂණ යන්ත්‍ර සියල්ලම විෂන් කෙයා ආයතනය සතු බවත්, එහි ඇති OCT පරීක්ෂණ යන්ත්‍රය විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතා සතු නොවන බවත් රත්නපුර රෝහලේ මෙම යන්ත්‍රය නොමැති බවත්
  • විෂන් කෙයා ආයතනය ප්‍රතිපත්තිමය ලෙස වෛද්‍යවරුන්ට කොමිස් හෝ පාරිතෝෂික දීමනා ලබා නොදෙන බව.
  • රත්නපුර නගරයේ ඇසක කාචයක් බද්ධ කිරීමට වැයවන මුදල කොළඹදී වැයවන මුදලට වඩා සාමාන්‍ය වශයෙන් අඩු බව.
  • ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය සම්මේලනය (College of Ophthalmologists of Sri Lanka) ඇතුළු විමර්ශන කරන ලද කිසිඳු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලධාරියෙකු මඟින් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතා වෙතින් මෙවැනි අකටයුත්තක් සිදු නොවන බවද දැනගන්නට ලැබුණි.

ඒඅනුව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතා අළලා කපිතාන් ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති සටහන නොමග යවන සුළු සටහනක් බව නිගමනය කරමු.

Avatar

Title:රත්නපුර මහ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පිළිබඳ පළ වන ප්‍රවෘත්තිය

Fact Check By: Sahan Perera

Result: Partly False