විසිවන ව්‍යවස්ථා සංශෝදනය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කෙ‍ටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර එය සැප්තැම්බර් මස 3 වන දින ගැසට් කරන ලදී. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි බලවේගය ඇතුළු කිහිපදෙනෙකුම මෙයට විරුද්ධව අදහස් දක්වමින් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේද දැඩි විරෝධතාවයක් එල්ල කල අතර එම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගණනාවක්ද මේ වන විටත් ඉදිරිපත් වී තිබේ.

මෙවන් පසුබිමක 20 වන සංශෝදනයට විරුද්ධව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතාද අදහස් දක්වන බව පෙන්නම් කරන වීඩියෝවක් ආශ්‍රිත සටහනක් Sumiththra Damayanthi නම් ෆේස්බුක් ගිණුමක පළකර තිබුණි. “එයාටත් කෙහෙල්මල් 20 එපාලු කියන්නේ 😂 ලියල දුන්න දේ කියවනවා. එච්චරයි.....” ලෙස සටහන් කරමින් පළකර තිබුනු මේ වීඩියෝ සටහන 2000කට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුණි.

Original LinkArchived Link

මෙය තවත් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක් අතරේද හුවමාරු වී තිබුනේ මෙලෙසින්

විසිවන සංශෝධනය ඉතාම භයානක එකක් බවත් එය පාර්ලිමේන්තුවේ සම්මත වීමට ඉඩ නොදිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කරන බවක් එමඟින් පෙන්නුම් කරනවා. “එදා ජනාධිපතිවරණයේ ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා 20 වෙනි සංශෝධනය ගැන කියපු අපුරු කතාව” යනුවෙන් පලවී තිබු ඇතැම් සටහන් මඟින් කියවුනේ ඔහු විසින් එම අවධියේ එම සංශෝධනයට විරුද්ධව ප්‍රකාශයක් ඉදිරිපත් කල බවයි.

නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වත්මන් ආන්ඩුව විසින්ම මෑතකදී ඉදිරිපත් කල විසිවන සංශෝධනයට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විරුද්ධව මතයක් ප්‍රකාශ කර ඇතැයි විශ්වාස කිරීමට අපහසු බැවින් මෙහි මුල් පලකිරීම පිලිබඳ කරුණු සෙවීමට අප කෙටි විමර්ශනයක් සිදුකළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මෙම ප්‍රකාශය සහිත වීඩියෝ පටය හිරු පුවත් විකාශයේ පලවූවක් බවට අපට පෙනී ගියා.එහි පසුපසින් පෙනෙන වේදිකාවේ ඇති පසුබිම වෙත හොඳින් බැලීමේදී මෙම වීඩියෝ පටය “එළිය” නම් සංවිධානය විසින් පවත්වන ලද සම්මන්ත්‍රන මාලාවේ සිදු කල ප්‍රකාශයක් බවද පෙනී ගියා. “එළිය” සංවිධානය 2017 වසරේ ගෝඨාභය රාජපක්ශ මහතා ගේ මූලිකත්වයෙන් ආරම්භ කල එකක් වූ අතර එම සංවිධානය පසුගිය මාස කිහිපයේම සම්මන්ත්‍රණ කිසිවක් පැවැත්වා ඇති බවක් පෙනෙන්ට තිබුනේ නැත.

එසේම අප සිදු කල ගවේෂණයේදී හෙළි වුනේ 2018 සැප්තැම්බර් මස මෙම ප්‍රකාශය ඇතුළත් සහිත වීඩියෝ පටයක් යූ‍ටුබ් වෙත මෙලෙසින් උඩුගත කර තිබු බවයි. එම වීඩියෝවට අදාළ පුවතට අනුවද ඉහත ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සම්මන්ත්‍රනයකදී පල කල අදහස් බවද අපට දැක ගන්නට ලැබුනා.

"ශ්‍රී ලංකාව අස්ථාවර කරන්න විදෙස් තානාපති කාර්යාල කරපු වැඩක්" ජවිපෙ ගෙන ආ භයානක 20ට එරෙහිව ගෝඨා සටනට!" යන මාතෘකාවෙන් නෙත් පුවත් සේවය මඟින් පලකර තිබූ එම පුවතට අනුව මෙම එම සම්මන්ත්‍රණය රත්නපුර ප්‍රදේශයේ පැවැති එළිය සම්මන්ත්‍රණයකදී පැවසු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල ව්‍යවස්තා සංශෝධනය භයානක බැවින් එය පරාජය කළ යුතු බවටත් එහිදී ප්‍රකාශ කල බවට කරුනු වාර්තා කර තිබෙනවා.

එම පුවත පහලින්

LinkArchived

එමෙන්ම මෙම පුවත හිරු මාධ්‍ය නාලිකාවේ පුවත් සඳහා 2018 වසරේ සැප්තැම්බර් මස පල කල එකක් බව අපට දැකගන්නට හැකිවුනා. “එළිය” සංවිධානයේ නිල ෆේස්බුක් පි‍ටුවේ “එළිය වැඩසටහන - ගොඩකවෙල 2018 සැප්. 08 හිරු පුවත් ප්‍රකාශයෙන්...” යන තේමාව යටතේ එකතු කර තිබූ එම වීඩියෝ පටය මෙලෙසින්

සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්වූ එම එළිය සම්මන්ත්‍රණයේ සජීවීව පටිගත කරන ලද මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී එය පැහැදිලි විය (පැය 2 විනාඩි 35 සිට)

මේ අනුව බලන කල පැහැදිලි වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2018 වසරේ එවක ඉදිරිපත් වූ 20 වන සංශෝධනයට විරුද්ධව අදහස් දක්වා ඇති අතර එය එම අවධියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ කෙ‍ටුම්පතක් බවයි. 2018 වසරේ මැයි මස පළවූ පුවත් වාර්තා වල ජනතා විමුක්ති පෙරමුණ විසින් කෙ‍ටුම්පත් කර තිබු එම 20 වන සංශෝධනය පිලිබඳ වාර්තා මෙසේ පලවී තිබුණි

Daily News | Newsfirst

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුලු යෝජනා ගණනාවක් එයට එකතු කර තිබුනු අතර එවකට පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂ මන්ත්‍රී රැසකගේ විරෝධතාවක් මේ සඳහා එල්ල වූ බවට වාර්තාද රැසක් පලවී තිබුණි. එබැවින් එයට විරුද්ධව වර්තමාන ජනාධිපතිවරයා 2018 වසරේම සැප්තැම්බර් මස සිදු කල ප්‍රකාශයක් මෙසේ වත්මන් විසිවන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවසු බවට අරුත් ගන්වමින් නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ වීඩියෝ සටහනක් බව පෙනී යයි

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බලන කල අපට තහවුරු වන්නේ වර්තමාන ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් 20 වැනි සංශෝධනයට එරෙහිව මතයක් ප්‍රකාශ කල බවක් හැඟවෙන වීඩියෝ සටහන 2018 වසරේ ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ඉදිරිපත් වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට විරුද්ධව දැක්වූ අදහසක් මිස වර්තමාන සංශෝධනය සම්බන්ධයෙන් දැක්වූ ප්‍රකාශයක් නොවන බවයි. මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබු මෙම ප්‍රකාශය, ජනපති විසින් පසුගියදා සිදු කර ඇති බව හැඟවෙන අයුරින් මුහුනු පොතට එකතු කර ඇති අතර එම පුවත අසත්‍ය හා නොමඟ යවන සුළු පුවතක් බව අපට නිගමනය කල හැකියි.

Avatar

Title:වර්තමාන 20 වන සංශෝධනයට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ කරන බව හැඟවෙන වීඩියෝවක්!

Fact Check By: Sahan Perera

Result: Missing Context