මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දත්තයන් සැසඳීමේදී පෙනී යනවා. කොවිඩ් ආසදිතව සිදුවන මරණ සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ අතර පසුගිය දින කිහිපයේ දී ම කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන් ගණන සියයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වී තිබුණා.

කොරෝනා රෝගය නිසා මිය යන පුද්ගලයන්ගේ ආදාහන කටයුතු සිදු කිරීම් ප්‍රමාද වීම නිසා ආදාහනාගාර අසල මළ සිරුරු ගොඩ ගැසී ඇති බවටද පසුගිය දිනවල කාලයේ පුවත් වාර්තා වුනා. මේ අතර මිය ගිය පුද්ගලයන් ගේ මෘත ශරීර ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට සැරසෙන බවට සඳහනක් සමග ෆේස්බුක් තුළ ඡායාරූපයක් හුවමාරු වන බව අපට දැකගන්නට ලැබුනා. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඔබ දැන සිටියාද? Did You Know ? නම් ෆේස්බුක් පි‍ටුවට එකතු කර තිබූ ඡායාරූප සටහනේ සඳහන් කර තිබුණේ,

“ඔට්ටමාවඩි කොවිඩ් මල සිරුරු භූමදානය කරන ස්ථානයේ දර්ශනයක්! පරිස්සමින් ඉන්න!” යනුවෙනි.

Facebook | Archived

මෙම පුවතම Palindanuwara - පාලින්දනුවර නම් ෆේස්බුක් පි‍ටුවක් පළ කර තිබුනේ මෙලෙසින්.

Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මෙම ඡායාරූපය පළමුවෙන්ම Google Image Search හරහා පරීක්ෂා කර බැලූ අතර මෙම ඡායාරූපයට සමාන, එම පසුබිම ඇතුළත් ඡායාරූපයක් අපට JawaPos.com වෙබ් අඩවියේ දැකගනන්ට ලැබුණා.

Jawapos.com | Archived

එම වෙබ් අඩවියේ මෙම ඡායාරුපයට අදාළ විස්තරයක්ද දක්වා තිබුණු අතර එහි සඳහන් වී තිබුණේ මෙය ඉන්දුනීසියාවේ ජකර්තා වල පිහිටි ප්‍රදේශයක සිදුකළ භූමදානයක් බවයි. ඉන්දුනීසියාවේ උතුරු ජකර්තාවට අයත් Rorotan TPU නම් ප්‍රදේශයේ මේ ආකාර්යට නිසි ක්‍රවේදයට අනුව කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු භූමදානය කළ අවස්ථාවක දර්ශනයක් බව මෙම පුවත් සටහනින් වැඩි දුරටත් දක්වා තිබුනා.

උතුරු ජකර්තාවේ කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා වෙනම ප්‍රදේශයක් වෙන් කළ බවට beritajakarta නම් ඉන්දුනීසියානු වෙබ් අඩවියද විස්තරයක් පළ කර ඇති බව අපට දැකගන්නට ලැබුනා.

Beritajakarta.com | Archived

සිදුවන මරන ගණනට අනුව මළ සිරුරු භූමදානය කිරීමට විශේෂිත වූ ප්‍රදේශයක් ලෙස මෙම ස්ථානය ‍තෝරාගෙන ඇති බවට එම සඳහනේ වැඩි දුරටත් දක්වා තිබුනා.

KOMPASTV නම් යූටූබ් නාලිකාවක්ද මේම් සිදුවීම ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ආශ්‍රිතව සිදුවූවක් බවට වීඩියෝවක් මගින් කරුණු වාර්තා කර තිබෙන අයුරු ද ඉහත සඳහන් ඡායාරූපයේ පසුබිමද එම වීඩියෝවෙන් අපට දැකගන්නට ලැබුණේ මෙලෙසින්. එසේම මෙම ස්ථානය පිළිබඳව පළවූ BBC පුවත් වීඩියෝ වාර්තාවක් මෙතනින්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ දර්ශන සහිත වීඩියෝවක් මීට පෙර වෙනත් අර්ථකනතන් ඔස්සේ වෙනත් රටවල ද හුවමාරු වී තිබු අතර අප Factcrescendo Cambodia කණ්ඩායම මේ පිළිබවද සිදුකළ මෙම විමර්ශනයේදී ඒ සඳහා මුල්වී තිබු වීඩියෝවේ රුප රාමු ද පෙන්වා තිබුණා. එම වීඩියෝව පහතින්.

https://youtu.be/jHYCuW0BROw

මෙම ස්ථානයේම බවට පෙනෙන්නට ඇති තවත් ඡායාරූප සමග රොයිටර් සේවයේ වෙබ් අඩවිය ද කරුණු වාර්තා කර තිබුණා.

Reuters.com | Archived

ඔඩ්ඩමාවඩ් සුසාන භූමියේ සැබෑ ඡායාරූප ද දැක්වෙන හිරු ප්‍රවෘත්ති විකාශයේ පළ වූ වීඩියෝවක් පහතින්.

https://youtu.be/m10HqvLPGzI?t=151

2021 පෙබරවාරි 25 වන දා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මළ සිරුරු ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට ඉඩ සැලසීම සඳහා නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ රෙගුලාසි සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. අදාළ ගැසට් නිවේදනය මෙතනින්. එ් අනුව පසුගිය මාර්තු මස සිට කොවිඩ් ආසාදිතයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමවාඩි හි පිහිටි නව සුසාන භූමියක සිදු කරනු ලැබුවා. ඒ බවට දැක්වෙන පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා මෙම ස්ථානයේ පසුගිය දිනක නිරීක්ෂණය කර තිබු අලි සබ්‍රි අමාත්‍යවරයා හරහා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ (ONUR) අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ද සම්බන්ධ කරගත්තා. එහිදී ඒ මහතා ද එම ඡායාරුපය අසත්‍ය බව තහවුරු කරමින් පවසා සිටියේ ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ මෘත දේහ භූමදාන කරන ස්ථානයේ 1500 කට වැඩි පිරිසක් මේ වන විට ද භූමදානය කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම ස්ථානයේ ම අමතර ඉඩක් ද ලබාගැනීමට අවසර ලබගනිමින් සිටින බවත් සඳහන් කළා. එසේම ඊට අමතරව ප්‍රදේශයේ කිහිපයක් ද මෙසේ මෘත දේහ භූමදාන කිරීමේ කටයුත්ත සඳහා අවසර ලබාගනිමින් පවතින බව ද සඳහන් කර සිටියා.

ඔඩ්ඩමවාඩි හි පිහිටි සුසාන භුමියේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින බැවින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් කොවිඩ් මෘත දේහ භූමදානය සඳහා යොදා ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගනිමින් පවතින බවට පළවූ පුවතක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව පෙන්වා දිය හැක්කේ අම්පාර ඔඩ්ඩමාවාඩි ප්‍රදේශයේ කොවිඩ් මළ සිරුරු භූමදානය කළ ඇති අයුරු ලෙස දක්වා තිබුණු ඉහත සඳහන් ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දුනීසියාවේ උතුරු ජකර්තාවේ පිහිටි කොවිඩ් මෘතදේහ භූමදානය කරන ස්ථානයක් බවයි.

Avatar

Title:ඔඩ්ඩමාවාඩි කොවිඩ් මළ සිරුරු භූමදානය කරන සුසාන භූමියේ ඡායාරූපයක් ද?

Fact Check By: Sara Gunaratne

Result: False