දේශපානඥයින් බොහෝ අවස්ථා වන් වලදී තම පාක්ෂිකයන් සහ හිතවතුන් සමග ලබා ගන්නා ඡායාරූප දේශපාලනික වාසි සඳහා වෙනත් අර්ථකථනයන් ලබා දීම සඳහා යොදා ගන්නවා අපට නිතර දක්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“නිධන් හොරුන් සිතුල්පව්වේ දාගැබ හාරලා, - සැකකරුවෙක් දැලේ “ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 2 වන දා මව්බිම පුවත් පතේ පළ වූ පුවත් ලිපිය පසුබිමින් දක්වමින් “ප්‍රධාන සැකකරු අමිල අබේදීර සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික රියදුරු, ඔහු තිස්සමහාරාම දෙබරවැව පිදිංචිකරුවෙකි. මේ වගේ ජාතික අපරාද කරන එවුන්ද, දේශපාලනය කරන්නේ?” යනුවෙන් සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සහ අමිල අබේදීර යන අය එකට සිටින ඡායාරූපයක් සහ සැකකරුගේ තනි රූපයක් ද දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය වෙත දක්වා මුදා හැර තිබුණේ මෙලෙසින්. එම ඡායාරුපය WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

එමෙන්ම එම අර්ථයෙන්ම තවත් ෆේස්බුක් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ පහත අයුරින්.

මෙම සටහන් වලින් දක්වා තිබුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික රියැදුරු මෙම සැකකාර පුද්ගලයා බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාව පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය දිනක රාත්‍රියේ යාල ජාතික වනෝද්‍යාන මායිම තුළ පිහිටි සිතුල්පව්ව රජමහා විහාරස්ථානය ට යාබදව පිහිටි කුඩා සිතුල්පව්ව දාගැබේ ගර්භය බිඳ නිධන් වස්තු සොරාගැනීමට තැත්කළ සැකකරුවන් කොටුකර ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට හැකියාව ලැබුණා. මුලින්ම අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීමේදී ලබාගත් තොරුතුරු ඔස්සේ සිද්ධියට යොදාගත් ජීප් රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තිස්සමහාරාමය අවට පදිංචි කරුවන් වන අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා, රුමේෂ් අනුරාධ, ඒ.එල්.උවිදු ලක්ෂාන්, එස්.එන්.ප්‍රියන්ත, එස්.ඒ.ජයමිණී මංජුල, ඒ.පී.නිමල් ගාමිණී හා ඒ.කේ.ඒ.අමිල නැමති සැකකරුවන් හත් දෙනා බවට පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

අත්අඩංගුවට ගත් පිරිස අතර සෆාරි රියැදුරෙකු සිටින බවට ලංකාදීප පුවත්පතේ ඊයේ (03) පළ වූ පුවත් ලිපියක දක්වා තිබූ අතර ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේද මෙම ලිපිය දක්වා තිබුණේ මෙලෙසින්. මේ සම්බන්ධයෙන් පළ වූ හිරු නාලිකාවේ ප්‍රවෘත්තියකද සඳහන් කර තිබුණේ, අත්අඩංගුවට ගත් පිරිස අතර සෆාරි රියැදුරෙකු සිටින බවයි. එම වීඩියෝව මෙතනින්.

මව්බ්ම පුවත් වාර්තාව:

මෙවන් පසුබිමක එසේ අත්අඩංගුවට පත් වූ සැකකරුවෙක් වූ අමිල අබේධීර නමැත්තා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික රියැදුරු බවට සඳහන් කරමින් ඉහත දැක්වූ පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

මව්බිම පුවත්පතද එම සටහන් තුළින් පිළිබිඹු කර තිබූ හෙයින් එම පුවත් පත නිරීක්ෂණයේදී පෙනී ගියේ සජිත් ප්‍රේමදාස මහතාගේ රියැදුරු වශයෙන් එහි සඳහන් වී නොතිබුණු බවයි.

Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබූ අමිල නමැති සැකකරු සැබවින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ රියැදුරෙක්ද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා, ඔහු යාල සෆාරි රැයැදුරෙකු බව සඳහන් කර තිබූ බැවින්ද , අප පාර්ශව කිහිපයක් සම්බන්ධ කර ගැනීමට උත්සුක වුණා.

සැකකරුගේ සොහොයුරා:

මුලින්ම සැකකාර පුද්ගලයාගේ සහෝදරයාගෙන් ඒ පිළිබඳව කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අමිල අබේධීර නමැති සිය වැඩිමහල් සහෝදරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අනෙකුත් බොහෝ යාල සෆාරි රියදුරන් මෙන්ම තම සොහොයුරා ද සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතෙකු වූවත් විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික රියැදුරෙකු නොවන බවත් යාල වනෝද්‍යානයයේ සෆාරි ජීප් රථ අයිතිකරුවෙකු බවත් ඔහු පවසා සිටියා. තව ද අවුරුදු 10ක පමණ සිට එම ක්ෂේත්‍රයේ තම සහෝදරයා නියැලෙන බවත්, අදාළ සැකකරුට Panchi Safari jeep tours නමින් ව්‍යාපාරයක්ද ඇති බවයි ඔහු අනාවරණය කළේ.

සජිත් ප්‍රේමදාස මහතා සිය සහෝදරයාගේ නිවසේ ගෙට ගෙවැදීමේ උත්සවයට පැමිණි අවස්ථාවේ සජිත් මහතා සමග සිය සහෝදරයා ලබා ගත් ඡායාරූපයක් දේශපාලනික වාසි ලබා ගැනීමට වෙනත් අර්ථකතනයකින් සමාජ මාධ්‍ය තුළ සංසරණය කර ගන්නා බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ. එම ඡායාරුපය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.

FB | Archived

යාල සෆාරි රියදුරන් සහ රියදුරු සංගම්:

කෙසේනමුත් අමිල නමැති මෙම සැකකරු, ඔහුගේ සොයුරා පවසා සිටින පරිදි, සැබවින්ම සෆාරි රියැදුරෙක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප යාල වනෝද්‍යානයයේ සෆාරි ජීප්රථ සංගම් කිහිපයකගෙන් කරුණු විමසීම් සිදුකළා. ඒ අනුව, ස්වාධීන ජීප්රථ සංගමය, ජීප්රථ හිමියංගේ සංගමය සහ යාල මිත්‍රත්වය සංගමයන් මෙන්ම පුද්ගලික සෆාරි ජීප් රථ හිමියන් වන ජයන්ත සෆාරි, නිමල් සෆාරි යන සෆාරී ජීප් රථ හිමියන් ද අමිල අබේදීර යනු යාල සෆාරි ජීප් රථ ව්‍යාපාරයක් හිමි, සෆාරි රියැදුරෙකු බවට පවසා සිටියා. තවද එම සැකකරු මුල් අවස්ථාවේදී ජීප්රථ හිමියන්ගේ සංගමයේ සිටියත් පසු කාලීනව යාල මිත්‍රත්වය සංගමයට එකතු වූ බවත් මේ වන විට එහි ලේකම් ලෙසද කටයුතු කරන බවද, අපට මෙම සංගම් හරහා අනාවරණය වුණා.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානය නැරඹීමට බොහෝ අවස්ථාවල පැමිණෙන බැවින් එසේ පැමිණෙන අවස්ථාවල දී මෙම සැකකරුට (අමිල) අයත් ජීප් රථයකින් හෝ මෙම රියැදුරු විසින් ධාවනය කරන ලද වාහනයක යාල වනෝද්‍යානයයේ නැරඹුවාද යන්න පිළිබඳ අප ජීප්රථ හිමියංගේ සංගමයේ සභාපති වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතා සිය පෞද්ගලික රථයකින් ගමන් කරන බවට දැක ඇති බවයි. එසේම වෙනත් කිසිදු පුද්ගලික සෆාරි ජීප් රථයකින් ගමන් නොකරන බවයි ඔහු පවසා සිටියේ.

එසේම අප යාල සෆාරි රියදුරන් ගේ ඡායාරුප පරීක්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ සටහන් වල දක්වා තිබූ සැකකරු අමිල මෙන්ම වෙනත් සෆාරි රියදුරන් රැසක් ද ඔහු සමඟ සුහද සමීපව සිටින අයුරු දැක ගන්නට ලැබුණා. Nalinda Kataragama Safari නම් පුද්ගලයෙකුගේ ඡායාරුප අතරේ ද අපට ඒ බව දැක ගන්නට ලැබුනේ මෙලෙසින්. Priya Safari නම් ෆේස්බුක් ගිණුමක ද සජිත් ප්‍රේමදාස මහතා සමඟ සුහද ව සිටින ඡායාරුප මෙලෙසින් දැක ගන්නට ලැබුණා. 

ඒ අනුව අප කළ තවත් නිරීක්ෂණ වලදී ද, බොහෝ යාල රියදුරන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමීපව ඡායාරුප ලබාගෙන තිබෙන බවද පැහැදිලිය.

විපක්ෂ නායක මාධ්‍ය ලේකම්:

අප මේ සම්බන්ධයෙන් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් රන්ජිත් කුමාර මහතාගෙන් ද විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතා විසින් යාල සෆාරි සඳහා යොදා ගැනෙන්නේ තමන්ගේ පෞද්ගලික වාහනය බවත් එවන් අවස්ථාවලදී තරාතිරම් නොබලා සියලු දෙනා සමග සුහදශීලීව කතාබහ කරන බවයි. එසේම කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික වාහනය හැර වෙනත් වාහන වල විපක්ෂ නායකතුමා ගමන් නොකරන බවත් අවධාරණය කළා. එමෙන්ම රට වසා දැමීමත් සමග සංචාරක කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජීප් රථ සංගම් කිහිපයකින්ද සජිත් මහතා හමුවට පැමිණි බවත් වැඩි දුරටත් පවසා සිටියා.

රන්ජිත් කුමාර මහතා තවදුරටත් පවසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික රියැදුරන් දෙදෙනා වසර 10 ක පමණ සිට ප්‍රේමදාස මහතාගේ රියැදුරන් ලෙස සේවය කරන බවයි.

විපක්ෂ නායකවරයාගේ සත්‍ය රියැදුරු බවට සඳහන් කරමින් Nalinda Kataragama Safari ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ වූ සටහනක් මෙතනින්. එහි ඇත්ත වශයෙන් ම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික රියදුරෙකු බව, මාධ්‍ය ලේකම්තුමා ද තහවුරු කර සිටියා.

සැ.යු: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික රියැදුරු වන්නේ සිතුල්පව්ව නිදන් හෑරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් වන අමිල අබේධීර නොවන බවට පමණක් අප මෙම කරුණු විමර්ෂණයේ දී පරීක්ෂා කර තිබූ බව සළකන්න.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි කුඩා සිතුල්පව්ව දාගැබේ ගර්භය බිඳ නිධන් වස්තු සොරාගැනීමට තැත්කළ සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු වූ අමිල අබේධීර, සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික රියැදුරු බවට සඳහන් කළ සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යාල සෆාරි ජීප්රථ හිමි රියැදුරෙකු වූ අමිල අබේධීර අත්අඩංගුවට පත් වී ඇති නමුත්, ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික රියැදුරු නොවෙයි.

Also Read: FACT CHECK: හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරු “බාබු”ගේ ඡායාරුපයක් ද?

Avatar

Title:විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික රියැදුරු නිධන් හාරා පොලිස් අත්අඩංගුවට?

Fact Check By: Sara Gunaratne

Result: False