ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව එහි නිරදවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

රන්ජන්ට ජනාධිපති සමාව ලබා දීමට අදාල ලේඛනයට ජනපති අත්සන් තබයි. යනුවෙන් ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම සටහන පහතින්.

රන්ජන් රාමනායකට හෙට දිනයේ නිදහස ලබා දීමට අදාල ලේඛනයට මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.

ඒ රන්ජන් රාමනායක මහතා සිදුකල ලිඛිත ඉල්ලීමත්, ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුවයි.

එබැවින් නිදහස් දිනයට සමගාමීව හෙට (4) නිදහස් දින උදෑසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමිවනු ඇත.

මෙි අතර හෙට (04) සමරනු ලබන 74වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

එලෙස සිරකරුවන් 197 දෙනෙකු සඳහා මෙම පොදු සමාව හිමිවනු ඇත.

ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 දෙනෙක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් ඇතුළු පිරිසක් ඇතුළත්ය.

Facebook | Archived Link

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ද නිදහස් දින එනම් පෙබරවාරි 04 වන දින ඔහුට නිදහස හිමි වන බවට දක්වා තිබුණු අතර මන්ත්‍රීවරයා පිළිගැනීම සඳහා එදින උදෑසන 11.00 ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට එන ලෙස සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ හේතුවෙන් බොහෝ පිරිසක් බලාපොරොත්තු වූයේ අද දිනයේදී රන්ජන් රාමනායක මහතාට නිදහස් උත්සව දිනට සමගාමීව ජනාධිපති සමාව හිමිවේ යනුවෙනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 197 දෙනෙකු අද (04) දින නිදහස ලබන බවත් ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා අත්සන් තබන ලද ලේඛණයක් බන්ධනාගාරට යොමු කළත් එම ලේඛනයේ රන්ජන් රාමනායකගේ නම නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ඊයේ පස්වරුවේ සඳහන් කළේ මෙලෙසින්.

කෙසේවෙතත් අප මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් අප විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, මේ වන තෙක් අධිකරණය අමාත්‍යාංශයට රන්ජන් රාමනායක මහතා අද(04) දින නිදහස් කරන ලෙස ඔහුගේ නම ඇතුළත් ලේඛනයක් නොලැබුණ බවයි.

එමෙන්ම අද දිනයේ හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙසට දන්වා ඇත්දැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් අප විමසීමක් කරනු ලැබුවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ මෙතෙක් රන්ජන් රාමනායක මහතාව මුදා හැරීමේ නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොලැබුණු බවයි.

2017 අගෝස්තු 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට දී හිටපු රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බවට කළ ප්‍රකාශය අධිකරණයට කළ අපහාස කිරීමක් බවට චෝදනා කරමින් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනු ලැබුවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

කෙසේ වෙතත් පසුගිය වසරේදී රන්ජන් රාමනායක මහතා සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිට වරින් වර ලිපි යොමු ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ බවට පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ජනපති සමාව ලබා දෙන ඉල්ලා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබුණේ මෙලෙසින්.

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක නිදහස් දින නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් සහ ගායක ගායිකාවන් එකතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණා.

පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැති කලාකරුවන් හා ගායක ගායිකාවන්ගේ රැස්වීමකදී මෙම ලිපියට අත්සන් කර තිබුණා. ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට භාරගෙන ඇත්තේ ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතාය. ඒ බවට පළ වූ පුවත් ලිපිය මෙතනින්. මීට පෙර අවස්ථාවන් වලදී කලාකරුවන් විසින් රන්ජන් මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් කළ මාධ්‍ය හමුවක් මෙතනින්.

රන්ජන් රාමනායක මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංවිධාන එකමුතුව සහ එක්සත් ස්වයං රැකියා වෙළද ව්‍යාපාරිකයින්ගේ සංසදය මගින් පසුගිය 31 වන දා පෙරවරුවේ නීතිඥවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ගාල්ල අධිකරණ සංකීර්ණයෙහි රථ ගාල අසලදී සිදුකෙරුණු මෙලෙසින්.

පෙබරවාදි 04 වන අද දින රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස මන්ත්‍රී එස්.එම් මරික්කාරි පාර්ලිමේන්තුවේදී පැවසූවේ මෙලෙසින්. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ද අද දින රන්ජන් මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා තිබුණේ මෙලෙසින්.

නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) දිනයේදී පැවසූවා. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවෙන් පසුවය.

රන්ජන් රාමනායක මහතාගේ නම අද දිනයේදී නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා. එම වීඩියෝව පහතින්.

අද උදෑසන 11ට රන්ජන් රාමනායක මහතා නිදහස ලබා පැමිණෙන තුර පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිට රැස්ව සිටින අයුරු මෙතනින්.

අද දින ජනාධිපති පොදු සමාව ලැබූ පුද්ගලයින් නිදහස්ව ගිය අයුරු සහ රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලමින් ස්වයංරැකියා ලාභින්ගේ සංගමය එම අවස්ථාවේදී හඬ නැගුවේ මෙලෙසින්.

https://www.youtube.com/watch?app=desktop&v=J0FB4vb9Y1Y&feature=share

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

නිදහස් දින එනම් පෙබරවාදි 04 වන අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැබී ඇති සිර දඬුවමින් නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යවන සුළුයි. 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 197 දෙනෙකු අද (04) දින නිදහස ලබන බවත් ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා අත්සන් තබන ලද ලේඛණයක් බන්ධනාගාරට යොමු කළත් එම ලේඛනයේ රන්ජන් රාමනායකගේ නම නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවා.

Avatar

Title:රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading