මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් ලබාදුන් තීරණයක්.එම තීරණය සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටි බව දැක්වෙන සටහනක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පිටුවක් මගින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා විසින් ශ්‍රී ලංකා පිතිකරු මහීෂ් තීක්ෂණට යවන ලද බොහෝ දුරට වයිඩ් පන්දුවක් ලෙස පෙනී යන එහෙත් විනිසුරුවරයා විසින් වයිඩ් පන්දුවක් ලෙස නම් නොකළ , එම පන්දුව, වයිඩ් පන්දුවක් නිර්ණය කිරීමට යොදා ගැනෙන සිමා ඉර පසුකර යන අවස්ථාවේ ඡායාරූපයක් එකතුකර තිබුණේ පහත සටහනද සමගින්.

“Sorry all the sri lankans fans. I didn’t see it properly.”

“සමාවෙන්න සියලුම ශ්‍රී ලාංකික රසික රසිකාවියන් .මං එය හරිහැටි දැක්කේ නැහැ”

Facebook | Archived

බොහෝ දෙනෙක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප විසින් මුලින්මසොයා බැලුවේ, රොඩ් ටකර් විසින් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසික රසිකාවියන්ගෙන් සිය තීරණය පිළිබදව මෙවැනි ආකාරයේ සමාව ඇයද සිටීමක් පිළිබදව ජාත්‍යන්තර හෝ දේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණය පිළිබදවයි .එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි සටහනක් නොමැති බවයි.

ඉන් අනතුරුව සමාජ ජාලා සටහනේ ආකාරයට රොඩ් ටකර් විසින් සිය සමාජ ජාලා ගිණුම් හරහා මෙවැනි සමාව ගැනීමක් සිදුකර ඇද්ද යන කාරණය පිළිබදව අප අවධානය යොමුකළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම සමාව ගැනීම පිලිබඳ ෆේස්බුක් සටහන් තිබුණද, විනිසුරු රෝඩ් ටකර් මහතාගේ ඡායරුපද සමඟින් නිර්මාණය කර තිබු එම ෆේස්බුක් ගිණුම් මීට දින කිහිපයකට පෙර ආරම්භකර ඇති ඇති ගිණුමක් බවයි.මෙම ගිණුම් සාදා ඇත්තේ ශ්‍රී ලංකා ,ඕස්ට්‍රේලියා දෙවන T20 තරගය පැවති පෙබරවාරි 13 වැනිදා සහ ඊට පසුදින වීමද විශේෂත්වයක් .

Rod Tucker ගේ නම භාවිතා කරමින්සාදන ලද එවැනි ගිණුම් කිහිපයක පිවිසීම මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සටහන් සඳහා මුල් වූ සටහන එවැනි එක් ෆේස්බුක් ගිණුමක පලවී තිබුනේ මේ ආකාරයෙනි.

Facebook | Archived

රෝඩ් ටකර් විනිසුරුවරයාගේ තීරණය හෙළා දකිමින් මෙම සටහන සඳහා ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇතැම් පිරිස් විසින් මෙය ව්‍යාජ ගිණුමකින් පළවූ සටහනක් බවත් මෙහි යොදාගෙන තිබෙන ඉංග්‍රීසි පවා වැරදි බවත් හඳුනාගෙන තිබුණි.

කෙසේ වෙතත් රොඩ් ටකර් විනිසුරුවරයාගේ නිළ සමාජ ජාලා ගිණුමක් සොයා ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. 2010 වසරේ ෆේස්බුක් ගිණුමක් තිබුන ද එහිද කිසිඳු පොස්ටුවක් පළකර තිබුනේ නැහැ

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු තහවුරු කරගැනීම සදහා අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝවද දුරකතනය හරහා සම්බන්ධ කරගත්තා.එහිදී ඔහු පවසා සිටියේ රොඩ් ටකර් විනිසුරුවරයා විසින් මේ ආකාරයේ සමාව ගැනීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කර නොමැති බවයි.එමෙන්ම ඔහු එවැනි සමාව ගැනීමක් මෙතෙක් සිදු කර ඇති බවත් තමන්ට වාර්තා නොවන බවත් ඔහු පැවසුවා.

එසේම රෝඩ් ටකර් විනිසුරු පෙර සිටම ලංකාවට එරෙහිව තීරණ ලබාදෙන බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට විරුද්ධව සටහන් රැසක් පළවී තිබු ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණා.

එසේම 2012 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පළකර තිබු මෙම රෝඩ් ටකර් විනිසුරුවරයාගේ ඡායරුපයට ප්‍රතිචාර රැසක් ඔහු ලබාදුන් තීරණය සම්බන්ධයෙන් පලවී තිබු අයුරු ද දැක ගන්නට ලැබුණා

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින්ස් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ Rod Tucker විනිසුරුවරයා විසින් ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගයේදී වයිඩ් පන්දුවක තීරණය පිළිබදව සමාව ගැනීමක් නිල වශයෙන් මෙතෙක් සිදුවී නොමැති බවයි. ඔහු එසේ සමාව ගත් බවට හැගවෙන සේ පළකර තිබු ෆේස්බුක් සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ එම තරඟයෙන් පසුව නිර්මාණය කර තිබු ෆේස්බුක් ගිණුම් කිහිපයකි. මෙතෙක් විනිසුරුවරයා කිසිදු ආකාරයක සමාව ගැනීමක් සිදු නොකළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද තහවුරු කළා.

Avatar

Title:වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading