ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ගේට්ටුව අසල ආරක්ෂාව තර කර ඇති අයුරුද ? Full Story

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා. කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා Factcrescendo කණ්ඩායම මගින් සිදුකල කරුණු විමසා බැලීමකදී තහවුරු වුවේ මෙම ඡායරූප සටහන් කිහිලෙසකින් වත්මන් ජනපතිවරයාට සම්බන්ධ නොවන බවයි.

අප ඉහත ඡායාරූපය මුලින්ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය, මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ජාල වල පසුගිය අප්‍රේල් මස සිට සංසරණය වී තිබූ ඡායාරූපයක් බවයි

ඒ අනුව පෙනී යන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ, මෙරට ඇති වූ අරගලයටත් පෙර සිට හුවමාරු වූ ඡායාරුපයක් මෙසේ ලංකාවේ සංසරණය වන බව පැහැදිලියි.

තවද ජනපති නිල නිවස හෝ පෞද්ගලික නිවස ඉදිරිපස මේ ආකාරයේ දැඩි ආරක්ෂාවක් දමා තිබු ආකාරයක් පුවත් වාර්තාවල ද දැක ගන්නට නොලැබුණු බැවින් අප මෙම ඡායාරූප සටහන් පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ, ජනාධිපති නිල නිවසේ හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංගේ පෞද්ගලික නිවසේ හෝ සමාජ මාධ්‍ය ඡායාරූප වල දැක්වෙන ආකාරයේ කම්බි රෝල් දමා නොමැති බවත්, එය ජනාධිපති නිවසේ සේයාරුවක් ද, නොවන බවයි.

සියදිවි නසාගත් ඉංජිනේරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකල කරුණු විමසා බැලීමක්.. Full Story

Arimac ආයතනයේ සේවය කළ මිහිරාන් චතුරංග නමැති තරුණයෙකු සියදිවි තොර කර ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබුණා. තමන් සියදිවි නසා ගැනීමට හේතුව වශයෙන් එම තරුණයා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ යෙදුණු Arimac ආයතනය වගකිව යුතු බවට හැඟවෙන පරිදි ලිපියක් ලියා සිය ජීවිතයෙන් සමුගත් බවට එම ලිපිය ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ සම්බන්ධයෙන් වන පාර්ශ්ව කිහිපයක අදහස් විමසා බැලීමට FactCrescendo කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔහු විසින් සිය සියදිවි නසාගැනීමට හේතුසාධක වන කරුණු පෙන්වන කඩදාසියක ලියා ඇති කුඩා සටහනක මාර්ගයෙන් පෙන්වා ඇති කරුණු නම්,

  • රාජකාරී ස්ථානයේ වැඩ අධික බව
  • සිව් වතාවක් රාජකාරී ස්ථානයෙන් ඉල්ලා අස් වීමට උත්සහ කළ බව
  • ඔහුගේ වෘත්තීය ගැටලු වලට ඇහුම්කම් දීමට කිසිදු අයෙක් රාජකාරී ස්ථානයෙන් ඉදිරිපත් නොවීම.

එමෙන්ම තවත් ෆේස්බුක් සටහන් වලින් පෙන්වා දී තිබුණේ, ඔහුට තිබූ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් තමන් ට ඉහළ නිලධාරියාව දැනුවත් කරමින් යැවූ විද්‍යුත් ලිපි සහ එම ගැටලු වලට ඉහත ආයතනය සැලකිල්ලට නොගත් බවයි.

එමෙන්ම මිහිරාන් ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ ආයතනයට විද්‍යුත් ලිපියක් හරහා යොමු කොට සේවය නිමාවන තෙක් සිටින මාස 3ක කාල පරිච්ඡේදය තුළ රැකියාවෙන් එල්ල වූ පීඩනය සම්බන්ධයෙන් එම ආයතනයේම සේවය කළ පසුව ඉවත් වූ මිතුරෙකු සමගින් WhatsApp ඔස්සේ සිදු කළ කතා බහක යෙදුණු ඡායාරූපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මිහිරාන්ගේ සහෝදරයා

කේ.එම්. ක්‍රිෂාන්ත නමැති මිහිරාන්ගේ සහෝදරයා අප සමග කතා කරමින් සඳහන් කළේ, මිහිරාන් පවුලේ බාලයා බවත්, මිහිරාන්ට තමන් ඇතුළු තවත් සහෝදරයෙකු සිටින බවත්, මෙම සිදුවීම වන අවස්ථාවේ මෙන්ම සාමාන්‍යයෙන් නිවසේ සිටියේ තම මව සහ මිහිරාන් පමණක් බවයි.

මිහිරාන් රැකියා ස්ථානයේ ගැටළු සම්බන්ධයෙන් කිසිදු දෙයක් පවුලේ අය සමඟ පැවසූවේ නැති වුවත්, සෑම විටම වෘත්තියේ නියලෙන ආකාරය නිවසට පැමිණි අවස්ථා වලදී තමා ද දැක ගන්නට ලැබෙන බවත්, ඔහු සඳහන් කළා.

එසේම මිහිරාන් අවසන් දින කිහිපයේ වෛරස් උණක් වැළඳීමෙන් අසනීප තත්ත්වයෙන් පසු වූ බවත්, නමුත් ඔහු විවේක නොගෙන එක දිගට රාජකාරියේ යෙදී ඇති බවට තම මව පැවසූ බවත්, ඇතැම් දිනවල අළුයම 03.00 – 04.00 වන තෙක් පවා රාජකාරියේ නියැලුණු බව ද, ඔහු සඳහන් කළා.

මිහිරාන් මියගිය දිනට පෙර රාත්‍රියේ විදුලිය ඇණහිටින වේලාවේදී මුළුතැන්ගෙට පැමිණි තම මව සමග කතාබස් කරමින් සිටි බවත්, කිසිදු ආකාරයේ වෙනසක් දැක ගන්නට නොලැබුණු බවත්, පහුවදා අළුයම සිය මව විසින් විපරම් කිරීමේදී ඔහු එහි ගෙල වැලලාගෙන මිය ගිය බව දැක ගන්නට ලැබී ඇති බවත් ක්‍රිෂාන්ත සහෝදරයා පවසනවා.

එසේම මිහිරාන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමන් ඇතුළු පවුලේ සැම විශාල කම්පනයකින් සිටින බවත්, මෙම සිදුවීම හේතුවෙන් මව නැවතත් රෝගා තුර වී ඇති බවත් මිහිරාන්ගේ වැඩිමහල් සහෝදරයා සඳහන් කරනු ලැබුවා.

මිහිරාන් විසින් ලියූ ලිපිය පසුව නෙතු ගැටුණු බවත්, කලින් සැලසුම් කළ දිවිනසා ගැනීමක් නොවන බවට එමගින් හැඟෙන බවත්, කිසිදු වෙනත් කරුණක් සඳහන් නොකරම මිහිරාන් රාජකාරිය නියැලුණු ආයතනය විසින් ඔහුට ලැබුණු පීඩාව පිළිබඳ පමණක් ලිපියේ දක්වා තිබීම නිසා තම බාල සහෝදර මිහිරාන්ගේ දිවි නසා ගැනීමට හේතුව වන්නේ රාජකාරියේ ඇති වූ පීඩාව බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් මිහිරාන් විසින් ගත් මෙම ක්‍රියාමාර්ගය අනුමත කිරීමට නොහැකි බවත්, එවැනි පීඩාවක් ගෙන දෙන රැකියා ස්ථානයකි ඉවත් වනවා මිස ජීවිතය නැති කර ගත යුතු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Arimac ආයතනයේ කළමනාකාරිත්වය

Arimac ආයතනයේ කළමණාකාරීත්වය සඳහන් කරන්නේ, මිහිරාන් චතුරංග යනු තම ආයතනයේ සේවය කළ දක්ෂ සේවකයෙකු බවත්, මීට මසකට පමණ පෙර මිහිරාන් යොමුකළ අස්වීමේ ලිපිය භාරගත් බවත්, අස්වීමේ ලිපිය භාරගෙන මාස 3කට පසු ඉවත් වීම සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදය බැවින්, මිහිරාන්ගේ අවසන් රාජකාරි දිනය 2023 පෙබරවාරි 08 වන දා සඳහන් කර ඔහුට දැනුම් දී තිබුයදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම ගැන බලවත් ලෙස ශෝකයට පත්වන බවයි.

මිහිරාන් සියදිවි නසා ගත් බවට දැනගත් පසූ, තම ආයතනයේ සේවකයෙකු බැවින් ඒ සඳහා නිවැසියන්ට උදව් උපකාර කළ බවත්, පසුව සමාජ මාධ්‍ය ඔස්සේ මිහිරාන් විසින් ලියූ ලිපියක් බවට පළ කරමින් ඔහු සියදිවි නසා ගැනීමට හේතුව වශයෙන් ආයතනය වගකිවයුතු බවට දක්වමින් ලිපියක් සංසරණය වූ බවත්, මේ හේතුවෙන් ඉහළ කළමණාකාරීත්වය මෙන්ම සේවක මණ්ඩලය ද, දැඩි ලෙස පුදුමයට පත් වූ බවත්, එම චෝදනා පිළිගත නොහැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මිහිරාන් නිවසේ සිට වෘත්තීයේ නියැලුණු අතර, ඔහු වෘත්තීය වශයෙන් පැන නැගුණු ගැටලු විසඳාගැනීමට අවස්ථා ගණනාවක දී සහය පළ කර ඇති බවත්, ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනාට පැවරී ඇති ව්‍යාපෘතිය මඟින් මිහිරාන් මත පමණක් බර පැටවීමක් සිදු නොවූ බවත් ආයතනයේ කළමනාකාරීත්වය පවසනවා.

IT ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් ද මෙවැනි තත්වයන් පිලිබඳ අප විමසු අතර ඔවුන් පවසන්නේ IT ක්ෂේත්‍රයේ නිවසේ සිට රැකියාවේ යෙදීමේදී ඇතැම් විට දෝෂ සහගත තත්වයන් සහ විශේෂ ව්‍යාපෘති හේතුවෙන් වේලාව සම්බන්ධ තැකීමක් නොකර වුවද රාජකාරියේ යෙදීමට ද සිදුවිය හැකි බවයි. එහෙත් හදිසි අවස්ථාවන් හැර වේලාව පිළිබඳ තැකීමක් නොකොට දීර්ඝ කාලීනව එක් පුද්ගලයෙක් වෙත පීඩනයක් ලබා දෙමින් යම්කිසි හෝ ආයතනයක් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ අදාළ ආයතනයට දැනුම් දෙමින් ඊට විසඳුම් ලබා ගැනීමට කටයුතු සිදු කරන බවත්, ඔවුන් සඳහන් කරනවා. විසඳුම් නොලැබුණහොත් එම ආයතනයෙන් ඉවත් වීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවත්, මේ සමයේ රැකියා සුරක්ෂිතතාව වැදගත් වුවත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වන්නේ නම් ඕනෑ තරම් රැකියා අවස්ථා, මෙරට මෙන්ම විදෙස් රටවල මෙන්ම මාර්ගගත ක්‍රම ඔස්සේ ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඖෂධ හිඟ වීම නිසා අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් ද? Full Story

අංශභාග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව කෑගල්ලේ රෝහලට පමණක් සීමා වී ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.Factcrescendo කණ්ඩායම මේ පිලිබදව සිදුකල කරුණු විමසා බැලීමේදී තහවුරු වූ කාරණය නම් මෙම සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

මෙම ශීර්ෂ පාඨය රැගත් පුවත් ලිපියේ පළ වී තිබුණේ කුමන කරුණු ද, යන්න අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළා.

2019 වසරේ, ජූලි 19දා කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති වෙළෙඳසල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්, එවකට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂව සිටි වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ විසින් පවසා තිබුණේ, අංශභාග රෝගය සෑදී පැය තුනක් යෑමට මත්තෙන් කෑගල්ල මහ රෝහල වෙත රෝගියෙකු ඇතුළත් කළහොත්, එම රෝගියා සුව කළ හැකි බවයි.

වෛද්‍යවරයා එලෙස පවසා ඇත්තේ, කෑගල්ල රෝහලේ එවකට ආරම්භ කළ නව ස්නායු රෝග ඒකකයේ අංශභාග රෝගය සුව කිරීමට අවශ්‍යය ප්‍රතිකාර ඖෂධ හා විශේෂඥ වෛද්‍ය පහසුකම් ඇතුළු සියලුම නවීන පහසුකම් ඇති බවට සඳහන් කිරීමටයි.

මේ පිළිබඳව අදහස් ලබාගැනීමට, වර්තාමානයේ සබරගමුව නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර හොබවන, 2019 වසරේ මුල් පුවත පළවූ අවස්ථාවේ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂව සිටි, වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් සිදු කළා. වෛද්‍යවරයා තහවුරු කළේ, කෑගල්ල රෝහලේත් ආඝාතය සඳහා ප්‍රතිකාර කරන බවට තමන් ප්‍රකාශ කළ බවත්, ඒ දිනවල කෑගල්ල රෝහලට එක් වූ නවතම ස්නායූ රෝග ඒකකය හේතුවෙන් ආඝාතය සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශයක් බවත්, අනෙක් රෝහල් වල ද, මේ සඳහා ප්‍රතිකාර අවස්ථා ඇති බවයි.

ලංකවේ මූලික රෝහල් වලට ඉහළින් ඇති සියලුම රෝහල් මඟින් ආඝතය සඳහා ප්‍රතිකාර කරන බවත් ආඝාතය සඳහා ප්‍රමාණවත් ඖෂධ ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අප වෙත සඳහන් කළා. ඒ අනුව තහවුරු වන කාරණය නම් අංශභාගය සදහා ප්‍රතිකාර ඇත්තේ කෑගල්ල රෝහලේ පමණක් බවට හැගෙනසේ පළවන සමාජ ජාලා සටහන් වැරදි සහගත බවයි.

මකනයක මිල රු.250 දක්වා ඉහළ ගිය කතාව ඇත්ත නැත්ත!  Full Story

මෙරට පවතින ආර්ථික අවපාතය හමුවේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නොසිතූ ලෙස ඉහළ යෑමත් සමග ලාංකික ජනතාවට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් නව වාරය සඳහා පාසල් ළමුන්ගේ පොත්පත් වල, පාසල් බෑග්, පාසල් සපත්තු වල මිල ගණන් දැඩි ලෙස ඉහළ යාමත් සමග ඒවා දරුවන්ට ලබා දීමට නොහැකි තත්ත්වයන්ට මුහුණ පා තිබෙනවා. මේ අතර පාසල් දරුවන් භාවිත කරන මකනයක මිල රුපියල් 250 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සමාජ ජාලා සටහන් පළවුණා. මේ සම්බන්ධයෙන් FactCrescendo අප කණ්ඩායම මගින් සිදුකරන ලද විමසා බැලීමේදී තහවුරු වුවේ එම සමාජ ජාලා සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවිකරණය සිදුකරන වෙබ අඩවි මගින් මෙන්ම පොත්හල් මගින් සිදුකරන ලද කරුණු විමසීම්වලදී අපට තහවුරු කරගත හැකිවුයේ පාසල් ළමුන් භාවිතා කරන සාමාන්‍ය මකනයක්, රුපියල් 50 කටත් වඩා අඩු මුදලකට ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

කෙසේ නමුත් විවිධ විසිතුරු කොටස් ඈදන ලද මකන වල මෙන්ම විශේෂ සන්නාම යටතේ අලෙවි වන මකනවල මිල ගණන් ඉහළ අගයන්හි පවතිනවා. එමෙන්ම සැලසුම් නිර්මාණ ශිල්පින් වැනි විවිධ වෘත්තිකයන් භාවිතා කරන මකන කැබලිවල මිල ගණන් ද ඉහල අගයන්හි පවතිනවා.

උදාහරණයක් ලෙස ඉහත සදහන් කල වේගයෙන් ව්‍යාප්ත වන සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ, Staedler නමැති ජර්මන් මකන වර්ගයකි. එය ඇතැම් කුඩා ළමුන් ද භාවිතා කළත් බොහෝ විට වෘත්තීය චිත්‍ර ශිල්පීන් මෙන්ම වෘත්තීය ගෘහනිර්මාණ ශිල්පින් භාවිතා කරන විශේෂ මකන වර්ගයක්.

අප මේ පිළිබඳ එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් විමසීමක් ද, සිදු කළා. ඔවුන් සඳහන් කළේ, ජර්මනියෙන් ආනයනය කරන මෙම ගුණාත්මක තත්ත්වයේ මකන විවිධ වර්ග වලින් විවිධ අරමුණු වෙනුවෙන් මිලදී ගත හැකි බවයි. ඉහත සඳහන් ඡායාරූපයේ සඳහන් Staedler වර්ගයේ මකනයේ මිල රු.207 සිට ඇති අතර මිල අඩුම ජර්මන් නිෂ්පාදිත මෙම Staedler සන්නාමය යටතේ ලංකාවේ අලෙවි වන මකනය රු.73ක් බව ද, ඔවුන් සඳහන් කළා.

කොටුව දුම්රිය පොළ අසල ATM භාවිතා කරන මගීන් ඉලක්ක කරගනිමින්  මුදල් මංකොල්ලකෑම් සිදුවන බවට හුවමාරු වන වට්ස්ඇප් පණිවිඩයේ ඇත්ත කතාව !! Full Story

ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්ගේ එම මුදල් කොල්ලකෑම සදහා සංවිධානාත්මක කණඩායමක් ක්‍රියා කරන බවට වට්ස්ඇප් පණිවිඩ මේ දිනවල පැතිර යමින් තිබෙනවා. පාඨකයන් විශාල පිරිසක් මේ පිලිබදව කරුණු විමසා බලන ලෙස සිදු කරන ලද ඉල්ලීම් නිසා මේ පිලිබදව Factcrescendo කණඩායම මගින් සොයා බැලීමක් සිදුකළා.

සමාජ මාධ්‍ය සටහන් මඟින් කියවුණේ හමුදාවේ සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සොයා බැලීමක් සිදුකරන සේයාවෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලා එය ලබාගැනීමට මුදල් පසුබ්මිය ලබාගැනීමට යාමේ දී මෙම මංකොල්ලකරුවන් ක්‍රියාත්මක වන බවයි.

එහෙත් මෙවැනි සිදුවීමක් පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ වාර්තා වී තිබුනේ නැති අතර පොලිස් මාධ්‍ය ඒකකය මගින් මෙවැනි මංකොල්ල පිළිබඳව අනතුරු හැගවීමේ නිවේදන නිකුත් කර තිබුනේ ද නැහැ.

අප සමග අදහස් පළ කල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන්ද විමසා බැලු බවත්, සමාජ ජාලාවල සදහන් ආකාරයට කොටුව දුම්රිය පොළ ආසන්නයේ පිහිටා ඇති ATM යන්ත්‍ර වලින් මුදල් ලබාගන්නා මගීන්ගේ මුදල් පසුම්බි පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට මෙතෙක් ලැබී නොමැති බවයි.

කෙසේවුවත් වැඩිදුරටත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොටුව දුම්රියපොළ අසල ප්‍රදේශයට ඈත ගම්බද ප්‍රදේශවල සිට පැමිණෙන ගැමි ජනතාවගේ මුදල් පැහැරගැනීම් ආදිය පිළිබද යම් යම් පැමිණිලි පොලිසියට ලැබී ඇති බවයි.

ඒ අනුව අප අධාරණය කර සිටින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් ආකාරයේ සංවිධානාත්මක මංකොල්ලකෑම් පිලිබඳ කොටුව දුම්රිය ස්ථානය අසළින් වාර්තා නොවුණ ද, විශේෂයෙන්ම කොටුව දුම්රිය ස්ථානය ආදී ජනාකීර්ණ ස්ථාන අසල ගැවසීමේ දී මුදල් පසුබ්මිය ඇතුළු ඔබගේ වටිනා බඩු බාහිරාදිය පිලිබඳ සැලකිලිමත් වී සුරක්ෂිතව තබාගන්නා ලෙසයි.

ආර්ජන්ටිනාව පැරදවූ සෞදි පාපන්දු ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් රථ දෙන බවට සෞදි රජු පැවසුවේ නැහැ! Full Story

FIFA ලෝක කුසලාන ඉතිහාසයේම දැකගන්නට ලැබුණු දැවැන්තම අනපේක්ෂිත සිදුවීමක් වුයේ ප්‍රකට පාපන්දු ශුර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමින් සෞදි අරාබි පාපන්දු කණ්ඩායම නොවැම්බර් 22 වනදා ලබාගත් ජයග්‍රහණයයි.

මෙම ඉතිහාසගත ජයග්‍රහණයෙන් පසු බොහෝ කටකතා පැතිර ගිය අතර , ඇතැමුන් පවසා සිටියේ සෞදි රජය සහ සෞදි රජු මොහොමඩ් බින් සුල්තාන් (MBS) විසින්, සුප්‍රසිද්ධ ජයග්‍රහණයට සම්බන්ධ සෑම සෞදි ක්‍රීඩකයෙකුටම වටිනා රෝල්ස් රොයිස් මෝටර් රථය බැගින් ලබා දීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත්, FactCrescendo කණ්ඩායමේ අනාවරණයේ දී හෙළි වුයේ මෙම ප්‍රකාශ අසත්‍ය සහ හුදෙක් ගොතන ලද සටහන් බවයි.

සෞදි ජාතික කණ්ඩායම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩක Saleh Alshehri අවධාරණය කරන්නේ කටකතා අසත්‍ය බවත් තම රටට සේවය කිරීම මඟින් ලැබෙන ගෞරවය පමණක් ප්‍රමාණවත් බවත් වෙනත් ත්‍යාග අවශ්‍ය වන්නේ නැති බවයි. එසේම සෞදි අරාබියේ පුහුණුකරු හර්වේ රෙනාඩ් ද සුඛෝපභෝගී මෝටර් රථ පිළිබඳ කටකතා සහ සමාජ ජාලා සටහන් අසත්‍ය බව පවසා තිබු අතර ඉදිරි පළමු වටයේ තරඟ ජයගැනීම පිලිබඳ අවදානම යොමු කරන බව පවසා තිබුණා.

කෙසේ වෙතත්, සෞදි පාපන්දු කණ්ඩාම ඔවුන්ගේ ඉතිරි මුලික වටයේ තරඟ දෙකම පිළිවෙලින් පෝලන්තයට සහ මෙක්සිකෝවට පරාජය වූ අතර ඒ සමඟම තරඟාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමේ සිහිනය ද බොඳ වුණා. එහෙත් ආජන්ටිනා කණ්ඩායම, සෞදිය හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව ඉතිරි තරඟ ජයගෙන, මේ වන විට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.


සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.