දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Bluetooth හෙඩ්ෆෝන් නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව! Full Story

පුද්ගලයන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයක් අසළ කතාබහ කරමින් සිටියදී එක් පුද්ගලයෙක් හදිසියේම විදුලි සැර වැදීමකින් දුම්රිය මාර්ගයට ඇද වැටෙන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වුයේ බියට පත්කරවන අර්ථකතනයක් සමගින්.

Bluetooth හෙඩ් හෙඩ්ෆෝන් භාවිතා කිරීම නිසා අවට පරිසරයේ තිබු විද්‍යුත් ආරෝපණ වාතය හරහා ගමන්කර විදුලි සැර වැදිමකට ලක්වීම නිසා මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ බවයි එහි පැවසෙන්නේ. මේ හේතුව නිසා බ්ලුටුත් හෙඩ්ෆෝන් භාවිතා කිරීමෙන් වැළකී සිටින බවත් එම සටහන් මඟින් පවසා තිබුණා.

ඇත්ත වශයෙන්ම මේ ආකාරයට බ්ලූටූත් උපාංග භාවිතය හේතුවෙන් විදුලි සැර වැදීමක් සිදුවිය හැකිද? මේ පිළිබඳව සිදුකළ කරුණු විමසුමේ දී FactCrescendo කණ්ඩායමට තහවූරු වුයේ අදාළ පොස්ට් වැරදි අර්ථකතනයකින් හුවමාරු වී තිබු නොමඟ යවන සුළු සටහන් බවයි.

වීඩියෝව හොඳින් විශ්ලේෂණය කිරීමේ දී එක් පුද්ගලයෙකු මතටට එක් වරම අනපේක්ෂිත ලෙස විදුලි රැහැනක් ඉහල සිට ඇද වැටෙන ආකාරය දැක ගන්නට ලැබෙනවා.

මෙම රූප රාමු Reverse Image සෙවුමකට ලක්කළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම සිදුවීම මීට මාසයකට පමණ පෙර, එනම් 2022 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ඛාරාග්පූර් හි සිදු වූ බවයි.

මෙහි විදුලි සැර වැදී ඇද වැටෙන පුද්ගලයා දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකයෙකි. එහිදී අවාසනාවන්ත ලෙස ඔහුට ඉහළින් තිබූ විදුලි රැහැනක් ඔහු මතට කඩා වැටෙනවා. මෙම සිදුවීමෙන් ඇතිවූ කම්පනයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයා, දුම්රිය මාර්ගයට වැටී තුවාල ලබා තිබුණි. ඔහු නමින් සුජාන් සිං. පිළිස්සුම් තුවාල සහිතව ඔහුව වහාම රෝහල් ගත කර තිබු අතර, පසුව ඔහුගේ තත්ත්වය ස්ථාවර වී තිබු බවත් වාර්තා වෙනවා.

නමුත් ඇත්තටම මෙසේ වාතය හරහා සාමාන්‍ය තත්වයක් යටතේ විදුලි ආරෝපණ ගමන් කිරීමක් සිදුවෙනවා ද? අප කවුරුත් දන්නා පරිදි වාතය යනු විද්‍යුත් පරිවාරකයකි. නමුත් විශේෂ තත්ව යටතේ, එනම් ආරෝපණ ප්‍රමාණය විශාල නම් සහ ගමන් කිරීමට ඇති දුර කුඩා නම් වාතය මගින් විදුලිය ගමන් කිරීමට ඉඩ සලසයි. එවැනි ස්වභාවික තත්වයක් වන වායුගෝලීය අකුණු තත්වයක දී, කෙටි කාලයක් තුළ ඉතා අධික ආරෝපණයක් වාතය හරහා ගමන් කරයි. මෙය විදුලි විසර්ජනයක් (Electrical discharge) ලෙස හැඳින්වේ.

වාතය හරහා විදුලිය ගමන් කළ හැකි තවත් අවස්ථා තිබේ. බිඳවැටීමේ වෝල්ටීයතාව (BreakDown Voltage) මඟින් පරිවාරකයක් හරහා යම් විදුලියක් සන්නයනය බල කිරීමට අවශ්‍ය අවම වෝල්ටීයතාවය තීරණය කරයි. වාතය සඳහා මෙම බිඳවැටීමේ වෝල්ටීයතාවය 20 kV සිට 75 kV පමණ වේ. මේ අගයට වඩා වැඩි වෝල්ටීයතා ඇති විට ඇතැම් අවස්ථාවලදී වාතය හරහා විද්‍යුතය සන්නයනය විය හැක .

එසේම ඇත්තටම හෙඩ්ෆෝන් එකකට විදුලි සැර වැදිය හැකිද? විදුලි සැර වැදීමේ යම් අවම සම්භාවිතාවක් (විශේෂයෙන්ම රැහැන්ගත හෙඩ්ෆෝන් හරහා) තිබුණද, එවැනි අවස්ථා ඉතාමත්ම දුර්ලභය. හෙඩ්ෆෝන් භාවිතා කරන්නේ නම් චාර්ජ් කිරීම අතරතුර දී දුරකථන ඇමතුම් ලබාගැනීම සහ දිගු වේලාවක් සංගීතයට සවන් දීම හැකිතාක් අවම කරගන්නා ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන්නේ මේ හේතුවෙන් වන අතර නොවැළැක්විය හැකි අවස්ථාවන්හිදී Power Bank භාවිතා කිරීම නිර්දේශ කරයි.

කෙසේනමුත් පැහැදිලි කාරණය නම් , වීඩියෝවේ දැක්වුණු පුද්ගලයා දුම්රිය මාර්ගයට ඇද වැටීම සහ බ්ලූටූත් හෙඩ්ෆෝන් වල සම්බන්ධයක් නොමැති අතර එය සිදුව ඇත්තේ අනපේක්ෂිත ලෙස ඉහළ සිට ඔහු මතට කඩා වැටුණු විදුලි කම්බියක් ඔහුගේ සිරුරේ ස්පර්ශ වීමෙනි.

රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් ඇතුළු ජනප්‍රිය චරිත අළලා, ඔවුන් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්! Full Story

ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බව දක්වමින්, සජීවී වීඩියෝ පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප FactCrescendo කණ්ඩායම විමසා බැලීමක් සිදුකල අතර එහිදී දක්නට ලැබුණේ එම වීඩියෝ ව්‍යාජ සහ වංචනික ඒවා වන බවයි.

ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායකට අයත් ෆේස්බුක් පිටුවකින් ඔහු විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් වීඩියෝවක් පළ කර තිබුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.

එසේම “අලුත් අවුරුදු තෑග්ග.. පින්තූරයේ ඇති අංකය අනුමාන කර IDR 950,000 ලබා ගන්න…” යනුවෙන් සඳහන් කරමින් රංගන ශිල්පී ශලනි තාරකාගේ නම යටතේ ෆේස්බුක් පිටුවකින් වීඩියෝවක් පළ කර තිබුණා

මීට අමතරව පුජා උමාශංකර්, ලසිත් මාලිංග ඇතුළු ජනප්‍රිය චරිත අළලා ද මේ ආකාරයේම සටහන් නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම මඟින් පාඨකයන්ට දැන්ව තිබුනේ ෆේස්බුක් සමුහ රැසක් අතර හුවමාරු කර ගන්නා ලෙසයි.

රන්ජන් රාමනායක හෝ ශලනි තාරකා සම්බන්ධ වීඩියෝ පළ කර තිබුණේ ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටු හරහා නොවන බව අපට නිරීක්ෂණය විය.

රන්ජන්ගේ වීඩියෝව ලබාගෙන තිබුනේ, 2021 ජනවාරි 01 වන දා ඔහුගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ විදියෝවකින්. එහිදී ලක්ෂ 40ක මුදලක්, අහබු ලෙස තෝරාගන්නා කමෙන්ට්ස් 5 කට ලබා දීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඔහු දන්වා තිබුණ ද මෑතක දී එවැන්නක් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙන්නේ නැහැ.

මේ පිළිබඳව අප රන්ජන් රාමනායකගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත වීඩියෝව තමන් පළ කරේ බොහෝ කලකට ඉහතදී බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ එය අවභාවිතා කරමින් හුවමාරු වන බවයි. එසේම කිසිඳු අවස්ථාව යම්කිසි අංක සඳහන් කරමින් එයට ප්‍රතිචාර ලෙස පළ කරන ලෙස මුල් සත්‍ය වීඩියෝවේ දක්වා නොමැති බවත් පවසමින් රන්ජන් කියා සිටියේ, මෙම ගිණුම තමන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති ගිණුමක් බවත්, මේ ආකාරයට ව්‍යාජ ක්‍රම මඟින් පෙනී සිටින පුද්ගලයන් හට නොරැවටෙන ලෙසයි.

අප ශලනි තාරකා සම්බන්ධ වීඩියෝව ගැන ඇයගෙන් විමසීමක් කළ අතර සඳහන් කළේ, තමන් පසුගිය වසරේ ඩුබායි සංචාරයකදී ලබා ගත් වීඩියෝවක් , නොමග යන අයුරින් තමන් ලෙසට පෙනී සිටින ව්‍යාජ ගිණුමකින් පළ කර ඇති බවයි.

මේ ආකාරයේ තෑගි ලබාදෙන බවට හගවමින් නළු නිලියන් සහ ක්‍රීඩකයන්ගේ වීඩියෝ අවභාවිතා කරමින් සැකසු වීඩියෝ රැසක්ම පසුගිය කාලය පුරාවටම සමාජ ජාලා පුරා පැතිරුනා. සමාජ ජාලා පිටුවල ව්‍යාප්තිය ( රීච් ) වැඩිකරගැනීම සඳහා විවිධ කණ්ඩායම් මගින් සිදුකරන මෙවැනි වංචනික දේට හසුව ඔබේ දත්ත සහ කාලය නාස්ති කර නොගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කාන්තාවන් සමූහයක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන වීඩියෝවේ ඇත්ත කතාව! Full Story

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පිළිබද කලකිරීමෙන්. මෙවන් පසුබිමක ඉන්දියාවේ කාන්තාවන් පිරිසක් එකතුව එරට දේශපාලකයෙකුට පහර දෙන අවස්ථාවක් ලෙසට වීඩියෝවක් හුවමාරු වී තිබු අතර එමඟින් පවසා තිබුනේ ලංකාවේ ද නුදුරු දිනකදී මෙම තත්වයට මුහුණපෑමට සිදුවන බවයි.

නමුත් FactCrescendo කණ්ඩායම සිදුකරන ලද කරුණු ලද විමසුමේදී තහවුරු වුවේ එම වීඩියෝව හා සබැදිව ලාංකේය සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ විස්තරය නොමගයවන සුලු බවයි.

ඉන්දියාවේ , කේරළයේ ත්‍රිසූර් (Thrissur) දිස්ත්‍රික්කයේ මුරියාද් නම් ගම්මානයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා පවසන්නේ. ගම්මානයේ Emperor Emmanuel Church නමින් අධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානයක් තිබෙනවා. මෙම මධ්‍යස්ථානය , ක්‍රිස්තියානි ආගමට අයත් Zion(සියොන්) නම් ආගමික පිරිසගේ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයයි.

වීඩියෝවේ දැක්වෙන කාන්තාවන් ඉහත සදහන් කල ආගමික නිකායේ / දේවස්ථානයේ සාමාජිකයන් වන අතර පහර කෑමට ලක්ව ඇත්තේ එම ආගමික නිකායේ කලක් සිට , පහරදීම සිදුවන අවස්ථාව වන විට ඉන් ඉවත්ව සිටි ෂාජි (Shaji) නම් සාමාජිකයෙකුටයි.

මෙම සිදුවීම සම්බන්ධ විමර්ශනය කරන්නේ කේරල ප්‍රාන්තයේ Aloor නම් පොලිස් ස්ථානයේ නිසා ඒ පිලිබදව විමසා බැලීමට Fact Crescendo මලයාලම් කණ්ඩායම විසින් එම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකගෙන් කරුණු විමසා බැලුවා. ඔහු මෙම සිද්ධිය සම්බන්ධව ඉහතින් සදහන් කල කරුණු තහවුරු කළා.

එසේම පහර කෑමට ලක්වූ පුද්ගලයා CPM නම් වාමාංශික දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බව ඇතැමුන් පවසා තිබු බැවින් මෙම සිද්ධියේ කිසියම් දේශපාලන කෝණයක් තිබේදැයි අප කණ්ඩායම පොලිස් පරික්ෂකගෙන් විමසුවා. පරීක්ෂණවලදී එවැනි දේශපාලන සම්බන්ධයක් මෙතෙක් මතුව නොමැති බවත් එම පුද්ගලයා ප්‍රාදේශීය දේශපාලඥයෙකු නොවන බවත් පොලීසිය සඳහන් කළා. එසේම පහර කෑමට ලක්වන පුද්ගලයා තම පක්ෂයට සම්බන්ධ බවට කරන ප්‍රකාශයන් CPM පක්ෂය ද ප්‍රතික්ෂේප කළා.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය සිය වයෝවෘද්ධ පියා සමඟ, ඔහුගේ නිවසේ සංවාදයක යෙදෙන අවස්ථාවක්ද? Full Story

ලංකාවේ දේශපාලනඥයන් සහ විදේශ රටවල එවැනි නායකයන් සංසන්දනය කරමින් නිතරම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, වයෝවෘද්ධ මිනිසෙකුට ආචාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද බහුලව හුවමාරු වෙනවා. මෙහි ඇත්තටම සිටින්නේ ඉන්දීයය මුදල් ඇමැතිනියගේ පියා ද ?

Factcrescendo කණ්ඩායම Google Reverse Image සෙවුමක් ඔස්සේ විමර්ශනය ආරම්භ කල අතර එහිදී දැක ගන්නට ලැබුණේ, 2022 දෙසැම්බර් 4 වැනිදා නිර්මලා සීතාරාමන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ මුල් වීඩියෝව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති බවයි.

නිර්මලා සීතාරාමන් වරනාසිහි පිහිටි ශිව මඩම වෙත ගොස් මහාකවි භාරතියර්ගේ 96 හැවිරිදි බෑණනුවන් වන කේ.වී. ක්‍රිෂ්ණන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ සංවාදයක යෙදුණු අවස්ථාවකකුයි එහි දැක්වෙන්නේ.

දමිළ කාෂි සංගමය විසින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ වරනාසි හි දී වැඩසටහන් මාලාවක් පසුගිය දෙසැම්බර් මාසයේ දී සංවිධානය කර තිබු අතර ඒ සඳහා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහභාගී වූ අවස්ථාවක් අතරතුර මෙම සුබ්‍රමනියම් භාරතීගේ ඥාති පුත්‍රයා ඇතුළු පිරිස මුණගැසීම් සිදුව තිබුණා.

මේ අවස්ථාවේ කිසි ලෙසකත් ඉන්දීය මුදල් අමාත්‍යවරිය සිය පියා හමුවූ බවක් කොතැනකවත් සඳහන් කර නැත.

මීට පෙර ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය සමඟ මුදල් අමාත්‍ය ලෙස ද කටයුතු කළ නමුත් ඉන්දියාවේ පුර්ණ කාලින මුදල් අමාත්‍ය ධුරයක් දැරූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වන්නේ ආර්ථිකවේදිනියක් වන නිර්මලා සීතාරාමන් මහත්මියයි. එසේම නිර්මලා සීතාරමන් මහත්මියගේ දෙමව්පිය යුවළම පැවත එන්නේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයෙන්.

පෙබරවාරි 04 වනදා ජාතික ජන බලවේගය පවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයක් පිළිබඳ නිවේදනයක් නිකුත් කර නැහැ! Full Story

පළාත් පාලන මැතිවරණය පිලිබඳ උණුසුමත් සමඟ දේශපාලන පක්ෂ අතර තරඟය තීව්‍ර වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂයකන් ඇතුළු ප්‍රචාරණය සිදු කරන්නා සේම අනෙකුත් පක්ෂ සම්බන්ධ අසත්‍ය තොරතුරු ද ජනගත කරනු ලබනවා.

“පෙබරවාරි 04 පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ඇතුලු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයො එනවා නිදහස් සමරුවට, එදාට උද්ඝෝෂකයො ඇවිත් යම් කළහකාරී තත්ත්වයක් ආවොත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාවට කියල ඒ මොහොතෙම හදිසි නීතිය පනවන්න පුලුවන්. හදිසි නීතිය යටතේ කිසිම බාධාවකින් තොරව ඡන්දය කල් දාන්න පුලුවන්.” යනුවෙන් සඳහන් කළ නිවේදනයක් ජාතික ජන බලවේගය විසින් පළ කර ඇති බවට දක්වා තිබූ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ ශීග්‍රයෙන් සංසරණය වුනා.

කෙසේනමුත් මේ පිළිබඳව සිදුකළ විමර්ෂණයේ දී Factcrescendo කණ්ඩායමට තහවුරු වුයේ මෙම සටහන් ව්‍යාජ ලෙස සිදුකර තිබු නිර්මාණ බවයි.

ජාතික ජන බලවේගය විසින් පෙබරවාරි 04 වන දා “උද්ඝෝෂණයට කොළඹට එන්න එපා” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය වෙත යොමු කළ බවට හඟවා තිබීම හේතුවෙන් එවැනි කිසිඳු හෝ සටහන් ජාතික ජන බලය නිල සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබුනේ ද යන්න අප පරික්ෂා කළා. නමුත් එවැනි නිවේදනයක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

අප මේ පිළිබඳව ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක, උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ එය අසත්‍ය බවයි. එසේම එවන් නිවේදනයක් ජාතික ජන බලවේගය විසින් පළ කර නොමැති බවත්, ඔවුන් විසින් නිදහස් දින දා කිසිදු උද්ඝෝෂණයක් සංවිධානය නොකර ඇති බවත් තහවුරු කර සිටියා.

තවද පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් ලබන පෙබරවාරි 04 වන දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ හේතුවෙන් මෙවන් අසත්‍ය සටහනක් නිර්මාණය වී ඇති බව අනුමාන කළ හැක.

මේ අනුව පැහැදිලි වුයේ නිදහස් දිනයේ දී කිසිදු උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව තිබු බවට හෝ එවැන්නකට සහභාගී නොවන බවට හෝ ජාතික ජන බලවේගය විසින් නිවේදන නිකුත් කර තිබුනේ නැති බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීමේ තීරණය අසත්‍ය තොරතුරක්! Full Story

මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට ඇත්තේ තවත් මාසයක පමණ කාලයක් පමණී. මේ අතර තුර මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීම පිළිබඳ රාවයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී තිබුණා.

මේ පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි, මෙම අසත්‍ය සටහන් සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ ඒ සඳහා පිළිතුරු ලබා දීමට ගත වන කාලය පවා අර්ථයක් නොමැති දෙයක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා සඳහන් කර තිබුණා.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් පසුගිය 25 වන දින ඉල්ලා අස්වූ බවට පී.එම්.එස්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වූ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ, තමන් වෙත මේ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුවී නොමැති බවයි.

එසේම පී.එස්.එම් චාල්ස් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීම ජනපති මෙතෙක් පිළි‌ගෙන නැති බවට ද ජනාධිපති කාර්යාලය පවසනවා.