දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

උණුසුම් ජලය හා සිසිල් ජලය පානය කිරීමේ ගුණ අගුණ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

උණුසුම් ජලය බොහෝ රෝග වලට 100%ක් ඵලදායි බව දක්වමින් මෙන් ම ශීත ජලය හෘද නහර 4ක් වසා හෘදයාබාධයක් ඇති කරන බව ටත් ,හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුව සිසිල් බීම බව ත් දක්වමින් දීර්ඝ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එය ජපානයේ වෛද්‍ය කණ්ඩායමකගේ ඇඟවීමක් බවට දක්වමින්.

“‼ජපානයෙන් වෛද්‍ය ඇඟවීමක් ‼

කරුණාකර පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගන්න, එය ඉතා වැදගත් වන අතර ඔබේ ජීවිතය බේරා ගත හැකිය

සමහර සෞඛ්‍ය ගැටලු විසඳීමට *උණුසුම් ජලය* 100% ඵලදායී බව ජපාන වෛද්‍යවරුන් පිරිසක් තහවුරු කර ඇත.

*1* ඉරුවාරදය

*2* අධි රුධිර පීඩනය

*3* අඩු රුධිර පීඩනය

*4* සන්ධි වේදනාව

*5* හද ගැස්ම හදිසියේ වැඩි වීම සහ අඩු වීම

*6* අපස්මාරය

*7* කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම

*8* කැස්ස

*9* ශරීරයේ අපහසුතා

*10* වේදනා ගොලු

*11* ඇදුම

*12* Pertussis

*13* ශිරා සුදු වීම

*14* ගර්භාෂය හා මුත්‍රාශය ආශ්‍රිත රෝග

*15* උදරාබාධ

*16* දුර්වල ආහාර රුචිය

*17* එසේම ඇස්, කන සහ උගුර ආශ්‍රිත සියලුම රෝග.

*18* හිසරදය

උණු වතුර භාවිතා කරන්නේ කෙසේද?

උදේ පාන්දරින්ම නැඟිට බඩ හිස් වූ විට *උණුසුම් වතුර වීදුරු 4ක්* බොන්න. ඔබට මුලින්ම වීදුරු 4 ක් පානය කිරීමට නොහැකි වනු ඇත, නමුත් කාලයත් සමඟ ඔබ එහි පැමිණෙනු ඇත.

සටහන: ජලය ගැනීමෙන් විනාඩි 45 ක් ඇතුළත කිසිවක් අනුභව නොකරන්න.

*උණුසුම් ජල ප්‍රතිකාරය* සෞඛ්‍ය ගැටලු කාලෝචිත ලෙස විසඳනු ඇත:

✔ දින 30 කින් *දියවැඩියාව*

✔ *රුධිර පීඩනය* දින 30කින්

✔ දින 10කින් *බඩේ අමාරු*

✔ *සියලුම පිළිකා වර්ග* මාස 9 කින්

✔ මාස 6කින් *ශිරා සුදු වීම*

✔ දින 10 කින් *අඩු ආහාර රුචිය

✔ *ගර්භාෂය සහ ඒ ආශ්‍රිත රෝග* දින 10කින්

✔ දින 10 කින් *නාස්පුඩු, කන් සහ උගුරේ ආබාධ*

✔ දින 15න් කාන්තාවන්ගේ *ඔසප් වීමේ ගැටළු*

✔ *හෘද රෝග* දින 30කින්

✔ දින 3 කින් *හිසරදය* / *ඉරුවාරදය*

✔ *කොලෙස්ටරෝල්* මාස 4කින්

✔ *අපස්මාරය* සහ *අංශභාගය* අඛණ්ඩව මාස 9කින්

✔ *ඇදුම* මාස 4කින්

*සීතල ජලය* ඔබට නරකයි.

තරුණ වියේදී සීතල වතුර ඔබට බලපාන්නේ නැත්නම්, මහලු වියේදී එය ඔබට හානි කරයි.

* *සීතල ජලය* හෘද නහර 4ක් වසා හෘදයාබාධයක් ඇති කරයි. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුව සිසිල් බීමය.

* අක්මාවේ ද ගැටලු ඇති කරයි. එමගින් මේදය අක්මාවේ සිරවී යයි. අක්මාව බද්ධ කිරීමට බලා සිටින බොහෝ දෙනා ගොදුරු වන්නේ *සීතල ජලය පානයට*ය.

* *සීතල ජලය* ආමාශයේ අභ්‍යන්තර බිත්තිවලට බලපායි. එය විශාල අන්ත්‍රයට බලපාන අතර පිළිකා ඇති කරයි.

කරුණාකර මෙම තොරතුරු ඔබ ළඟ තබා නොගන්න.

```එය අන් අයට ලබා දීමට යමෙකුට පවසන්න.```````````````එයට කෙනෙකුගේ ජීවිතයක් ඉතිරි කළ හැකියි.”

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුල ව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන් ම මෙම කරුණු ඇතුළත් ඉංග්‍රීසි මාධ්‍යයයෙන් සඳහන් වූ පත්‍රිකාව ක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව ය විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය සිදු කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

උණුසුම් ජලය පානය කිරීම මගින් ඉහත දක්වා ඇති ලෙඩ රෝග සුව කරන බවට පිළිගත හැකි අධ්‍යන වාර්තා හෝ වෛද්‍ය නිර්දේශ ඇත්දැයි යන්න අප විවිධ මූලාශ්‍ර ගවේෂණය කරමින් සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත් වුව ද, අපට කිසිදු විශ්වාසදායක තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි විය.

ඉරුවාරදය, අධි රුධිර පීඩනය, සන්ධි වේදනාව හෝ ඇදුම වැනි සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා උණුසුම් ජලය 100% ඵලදායී බව ප්‍රකාශ කිරීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සහාය නොදැක් වූ අතර එමෙන් ම "ජපන් වෛද්‍යවරුන් කණ්ඩායමක්" විසින් හෝ එවැනි ප්‍රකාශයක්, පරීක්ෂණයක් කළ බව ට හෝ කිසිදු මූලාශ්‍රයක් හමු නොවුණි.

විශේෂඥ අදහස්

Olabisi Onabanjo විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වෘත්තිකයෙකු වන වෛද්‍ය Opeyemi Adeyemi පවසා ඇත්තේ, උණුසුම් ජලය පානය කිරීමේ ප්‍රතිලාභ ඇති නමුත් කිසිදු රෝගයක් සුව නොකරන බවයි. යමෙක් රෝගී තත්ත්වයකින් පෙළෙන බව හඳුනාගත් පසු උණුසුම් ජලය රෝගය සුව කිරීමට කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි.

එමෙන් ම එම රෝහලේ වෛද්‍ය Femi Ajose, Shagamu ICIR(International Centre for Investigative Reporting) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ, ඉහත පත්‍රිකාවේ ඇති ප්‍රකාශය මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් බවයි. “එක් පිළියමක් විවිධ රෝග සඳහා කෝකටත් තෛලයක් වන්නේ කෙසේද? මෙය විද්‍යාත්මක නොවන අතර මෙය මිනිසුන්ට විකුණන මිථ්‍යාවන් කිහිපයක් පමණක් බවයි ඔහු පෙන්වා දී තිබුණේ, එම ලිපිය මෙතනින්.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය වෝනර් ග්‍රීන් සඳහන් කර තිබුණේ, අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම සඳහා සීතල වතුරට වඩා උණුසුම් ජලය උපකාර වන බවට හෝ සීතල ජලය හෘදයාබාධ ඇති කළ හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.

Medical News Today වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, උණුසුම් ජලය පානය කිරීමෙන් කිසිදු රෝගාබාධයක් සුව නොවන බව ත්, අධික උෂ්ණත්වයෙන් යුතු ජලය පානය නොකළ යුතු බව ත්, සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා මද උණුසුම් ජලය පානය කිරීම අහිතකර නොවන බවයි. එම වාර්තාව මෙතනින්.

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න විසින් ජලය මඳක් උණුවෙන් පානය කිරීමෙන් විශේෂ ගුණ ලබා ගත හැකි බවට ත් එම ගුණ මොනවා ද යන්න පිළිබඳ ව ද, සඳහන් කරයි.

  • හිස් බඩට උණු දිය පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසයට උගුරට ඒම, රාමතෙල් පිටවීම වළකා ගත හැකිවාක් මෙන්ම මළ මූත‍්‍ර ශුද්ධියද මේ නිසා හොඳින‍‍් සිදුවෙයි.
  • අර්ශස් රෝගීන්ගේ මළබද්ධයට උදෑසන උණු දිය පානය කිරීම හොඳ ප‍්‍රතිකර්මයකි.
  • ආමාශය හා පක්වාශයේ ඇති සෙම් කොටස් උණූ දිය බීමෙන් පහව යයි. එය ආහාර ජීර්ණයට රුකුලකි.
  • වියළි කැස්සට උණුදිය අමෘතයක් හා සමාන වෙයි. කැස්ස ඇතිවිට මෙම උණුදියට සහිඳ ලුණූ ටිකක් මිශ‍්‍ර කරබීමෙන් තවත් ගුණ වැඩිවෙයි. මෙය ඇදුම රෝගයට හෙවත් ස්වාස රෝග අවස්ථාවේදී ද ඉතා ගුණදායකය.
  • උණු දිය පානය කිරීමෙන් වාත රෝගද නැසෙයි.
  • හිස් බඩට උණු දිය බීමෙන් මුත‍්‍ර රෝගද නැතිවෙයි. මුත‍්‍ර ටික ටික පහවීම, මූත‍්‍රාවල පැහැය වෙනස්වීම, මූත‍්‍ර දැවිල්ලටද සහනය ලැබේ.
  • උණු දිය බීමෙන් සිරුරේ අනවශ්‍ය මේදය වැඩීම සිදු නොවේ. එම නිසා තරබාරු අය උණු දිය පානය කිරීමෙන් තවතවත් තරබාරු වීමෙන් මිදිය හැකි අතර තරබාරුවද අඩු වෙයි.
  • උණ රෝගයේදී මෙන්ම අනිකුත් රෝගවලදී හටගන්නා පිපාසය සංසිඳුවීමට උණු දිය ඉතා සුදුසුය.
  • උණූ ජලය පානය කිරීමෙන් දහදිය පිටම හොඳින් සිදුවෙයි. එයින් සම නිරෝගී වෙයි.
  • අතීසාර, වමන, අරුචි, බඩපිපුම, දෑලවර වේදනා ආදි අවස්ථා වලදී උණුදිය භාවිතා කළ යුතුය. ශිතල ජලය නිසා රෝග උත්සන්න වෙයි.
  • මත් වතුර හෝ මත්ද්‍රව්‍ය නිසා මත්වූ අයට උණු දිය බීමට දීමෙන් මත් ගතිය පහවෙයි.
  • ආහාර අරුචිය නැති කර ගැනීමට උණුසුම් ජලය ටිකෙන් ටික පානය කිරීමෙන් රුචිය ඇතිවෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, ඉහත බටහිර වෛද්‍ය විද්වතුන්ගේ සමහර ප්‍රකාශයන් ආයුර්වේද වෛද්‍ය නියමයන්ට අනුව නිවැරදි නොවන බවයි. ඇතැම් තත්ත්වයන් තුළ උණුසුම් ජලය භාවිතය රෝග වැළැක්වීම සඳහා උපකාරි වන බවයි. උදා. අජීර්ණය. නමුත් උණුසුම් ජලය භාවිතයෙන් පමණක් ඉහත රෝග සුව කිරීමට හෝ වළක්වා ගැනීමට නොහැකි බව ද, වෛද්‍ය කරුණාතිලක මහතා වැඩිදුරට ත් පෙන්වා දෙනවා.

සීතල ජලය පානය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉන්දියානු සම්ප්‍රදායන්ට අනුව, සීතල වතුර ශරීරයේ අසමතුලිතතාවයක් ඇති කළ හැකි අතර ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි.

ශරීරයේ මූලික උෂ්ණත්වය 98.6°F පමණ වන අතර ආයුර්වේද වෛද්‍යවරුන් පවසන්නේ සීතල වතුර පානය කිරීමෙන් පසු මෙම උෂ්ණත්වය යථා තත්ත්වයට පත් කිරීමට ශරීරයට අමතර ශක්තියක් වැය කළ යුතු බවයි.

ආයුර්වේද සම්ප්‍රදායට අනුව, ශරීරයේ සියලුම පද්ධතිවලට ඉන්ධන සපයන සහ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන “ගින්න” හෝ අග්නි තෙත් කිරීමට සීතල වතුරට හැකිය. ආයුර්වේද වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ උණුසුම් හෝ උණු වතුර ආහාර ජීර්ණය පහසු කිරීමට උපකාරී වන බවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ, සීතල වතුර ශරීරයට හෝ ආහාර දිරවීමට අහිතකර බව පැවසීමට විද්‍යාත්මක සාක්ෂි අල්පය. ඕනෑ තරම් ජලය පානය කිරීමෙන් ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ආහාර දිරවීමටත්, මලබද්ධය වළක්වා ගැනීමටත් හැකි වේ.

2013 වසරේදී පර්යේෂකයන් කණ්ඩායමක් කරන ලද කුඩා අධ්‍යයනයකින් විජලනය වූ පුද්ගලයන් හය දෙනෙකුට, මෘදු ව්‍යායාමයෙන් පසුව, උණුසුම් හා තෙතමනය සහිත කුටියක විවිධ උෂ්ණත්වවලදී ජලය පානය කිරීමේ බලපෑම් විමර්ශනය කරන ලදී.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ජල උෂ්ණත්වය වෙනස් කිරීම සහභාගිවන්නන්ගේ දහඩිය ප්‍රතිචාරයට සහ ඔවුන් කොපමණ ජලය පානය කරන්නේද යන්නට බලපාන බවයි. අධ්‍යයනයේ ප්‍රශස්ත ජල උෂ්ණත්වය 16°C (60.8°F) විය .

පර්යේෂකයන් නිගමනය කළේ විජලනය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත සජලනය කිරීම සඳහා 16 ° C දී ජලය පානය කිරීම හොඳම උෂ්ණත්වය විය හැකි බවයි.

සීතල ජලය සහ උණුසුම් ජලය

විශේෂයෙන් සීතල මාසවලදී උණුසුම් හෝ උණු වතුර පානය කිරීම මිනිසුන්ට හිතකර විය හැකි අතර උණුසුම් කාලගුණය තුළ සිසිල් ජලය පානය කිරීම වඩාත් ප්‍රබෝධමත් අත්දැකීමක් විය හැකිය. උණුසුම් ජලය පානය කිරීමෙන් ධමනි සහ ශිරා ප්‍රසාරණය වීම නිසා රුධිර සංසරණය තාවකාලිකව වැඩිදියුණු විය හැක.

පර්යේෂණවලින් පෙනී යන්නේ මිනිසුන් පානය කරන ජලයේ උෂ්ණත්වය :දහඩිය දැමීමේ මට්ටමට සහ නැවත සජලනය වීමට බලපාන බවයි. නිදසුනක් වශයෙන්, 1989 සිට එක්සත් ජනපද හමුදා අධ්‍යයනයකින් හෙළි වූයේ සිසිල් ජලය (15 ° C) වෙනුවට උණුසුම් ජලය (40 ° C) පානය කිරීම මිනිසුන් අඩුවෙන් ජලය පානය කිරීමට හේතු විය හැකි අතර එය විජලනය වීමට හේතු විය හැකි බවයි.

2013 අධ්‍යයනයකින් යෝජනා කරන්නේ ව්‍යායාමයෙන් පසු නැවත සජලනය කිරීම සඳහා ප්‍රශස්ත ජල උෂ්ණත්වය 16 ° C විය හැකි අතර එය සිසිල් නළ ජලයට සමාන උෂ්ණත්වයකි.

පර්යේෂකයන් වාර්තා කළේ මෙම උෂ්ණත්වයේ දී ජලය පරිභෝජනය කළ සහභාගිවන්නන් ස්වේච්ඡාවෙන් වැඩිපුර ජලය පානය කළ අතර වෙනත් උෂ්ණත්වවලදී ජලය පානය කරන විට වඩා අඩුවෙන් දහඩිය දැමූ බවයි.

2011 අධ්‍යයනයක , පර්යේෂකයන් පිරිසක් නිගමනය කළේ 5 ° C උෂ්ණත්වයකදී සිසිල් ජලය පානය කිරීම ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු තුළ ජලය පානය කිරීමේ විභවය සහ සිරුරේ ජල මට්ටම වැඩිදියුණු නොකළ බවයි.

කෙසේ වෙතත්, විශේෂයෙන් ව්‍යායාම කරන විට හෝ උණුසුම් පරිසරයක දී සජලනය වීම සඳහා ඕනෑම උෂ්ණත්වයක ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ.

ජලයේ උෂ්ණත්වය නොසලකා සෑම දිනකම ප්‍රමාණවත් තරම් ජලය ලබා ගැනීමට මිනිසුන් වග බලා ගත යුතු අතර ජාතික විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමියන් උපදෙස් දෙන්නේ කාන්තාවන් තම සජලනය අවශ්‍යතා සපුරාලීම සඳහා දිනකට ජලය ලීටර් 2.7 ක් පමණ ද පිරිමින් ලීටර් 3.7 ක් පමණ ද පරිභෝජනය කළ යුතු බවයි.

Also Read :

උණුසුම් කාලගුණය තුළ සිසිල් ජලය පානය කිරීම, ස්නානය කිරීමේ අවදානම පිලිබඳ පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත!

පිළිකා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වෛද්‍ය ගුප්තාගේ උපදෙස් බවට හුවමාරු වන පෝස්ටුවේ ඇත්ත නැත්ත!

හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද?

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

Written By: Pavithra Sandamali

Result: Insight