දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය සමුළුවට සහභාගි වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට අනුර කුමාර දිසානායක මහතා දුන් පොරොන්දුව හේතුවෙන්, පසුගිය අප්‍රේල් 04 වන දා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවැත්වූ සමුළුවට තමන් සහභාගී වූ බවට, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂණයක් සිදු කළා. නමුත් එලෙසින් පළ වූ වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ‘දෙරණ’ නාලිකාවේ නිල ෆේස්බුක් පිටුවේ ද, ඉහත සඳහන් ආකාරයේ පුවතක් වාර්තා කර නොතිබුණි.  ‘දෙරණ’ වෙබ් සංස්කාරකවරයෙකු විසින් ද, තහවුරු කළේ, මෙය අද දෙරණ පුවත් විසින් වාර්තා කරන ලද සටහනක් ලෙස දැක්වීමට සංස්කරණය කරන ලද අසත්‍ය සටහනක් බවයි.

එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ එම සමුළුවේ සජීවි විකාශය නැරඹීමේදී ද, සුමන්තිරන් මහතා විසින් එම වේදිකාවේ කතාවක් සිදු කරන බවට ද, දැක ගන්නට නොලැබුණි. එම අවස්ථාව සම්පූර්ණ වීඩියෝව පළ වී තිබූ YouTube වීඩියෝවක අවසානයේ දී සුමන්තිරන් මහතා එම ශාලාවේ අසුන් ගෙන සිටිනවා මෙලෙසින් දැක ගන්නට ලැබුණි.

ජනතා විමුක්ති පෙරමුණ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ එම හමුවේ ඡායාරූප ඇල්බමයක ද, එම හමුවේ සුමන්තිරන් මහතා සිටින අයුරු මෙලෙසින් දැක ගන්නට ලැබුණා. නමුත් එම සජීවි විඩියෝවෙද, ඔහු විසින් කිසිදු ප්‍රකාශයක් කළ බව ට දැක ගන්නට නොලැබුණි. තව ද, එම වීඩියෝව ල එම සමුළුවේ සමාරම්භක අවස්ථාවේදී සුමන්තිරන් මහතා දැක ගන්නට නොලැබෙන අතර අනුරකුමාර දිසානායක මහතාගේ කතාවේ දී ඔහු එම ශාලාවේ සිටින බවක් දැක ගන්නට ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.. සුමන්තිරන්

අප මේ පිළිබඳ ව පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතාගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, තමන් පසුගියදා යාපනයේ පැවැත් වූ ජාතික ජන බලවේගයේ සමුළුවට තමන් සහභාගි වීමට කලින් සැලසුම් කර නොතිබූ බවත්, අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාව මත එම සමුළුව අවසන් වූවායින් පසු ඔහු හමුවීමට කතිකාකර ගත් අතර එම සමුළුව සවස 3 වන විට අවසන් වීමට නියමිත බවට සඳහන් කළ නිසා, තමන් එම ස්ථානයට එම වේලාවට ආසන්නයේදී ගිය බවයි. එහෙත් ඒ වන විටටත් ජාජබ සමුළුව අවසන් වී නොතිබූ හෙයින් එහි සිටීමට සිදුවූ බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදු නොකළ බවත්, එය මුලුමනින් ම අසත්‍ය බවත් සුමන්තිරන් මහතා සඳහන් කළා.

ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, සඳහන් කළේ, දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය සමුළුවට සහභාගි වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළ බව දැක්වෙන ප්‍රකාශය අසත්‍ය බවත්, අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක් සඳහා සුමන්තිරන් මහතා පැමිණි බවත් ය.

සුමන්තිරන් සහ අනුරගේ සාකච්ඡාව

NPP යාපනය ජන හමුවෙන් පසුව අනුර කුමාර දිසානායක මහතා හා සුමන්තිරන් මහතා අතර පැවැති කෙටි සාකච්ඡාවක් පවත්වා තිබු අතර ඒ පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා.

ඉන්දියාවේ භාෂා රැසක් හා ආගම් රැසක් අදහන ජනතාව ජීවත් වන අතර ඔවුන් රටක් වශයෙන් එක්ව පෙරට ගමන් කරන නමුත් ශ්‍රී ලංකාවේ එවැනි වාතාවරණයක් දක්නට නොලැබෙන බව අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සමුළුව අමතමින් ප්‍රකාශ කර අතර ඊට ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් මන්ත්‍රිවරයා එම කෙටි හමුවේදී කියා ඇත්තේ ඉන්දියාවේ භාෂාව පදනම් කර ගනිමින් ප්‍රාන්ත වශයෙන් බලය බෙදා ඇති බවත් එම බලය බෙදීම ඉන්දියාව රටක් වශයෙන් පෙරට ගමන් කීරීමේ පදනම බවයි. ඉන්දියාව මෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවත් ඉල්ලා සිටින්නේ එවැනි බලය බෙදීමක් බව සුමන්තිරන් මන්ත්‍රිවරයා දිසානායක මහතා වෙත පැහැදිලි කර තිබේ. එහෙත් එයට අනුර කුමාර දිසානායක මහතා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් මෙම හමුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කර ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයකුම හමුවී සාකච්ඡා කිරීමට සිය පක්ෂය අපේක්ෂා කරන බවයි. ඒ බවට පළ වූ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එම මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading