දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වෙන්ඩෝල් T&G හර්බල්ස් ( T&G Herbals) සහ T&G ෆ්‍රෙෂ් (T&G Fresh) යන දන්තාලේප පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බව දැක්වෙන සටහන් පෙළක් කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති නිසා ම මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
වෙන්ඩෝල් සබන් සහ දන්තාලේප ආයුර්වේද බලපත්‍රයක්, නිසි ප්‍රමිති සහතික වන ISO සහ SLS සහතික නොමැතිව නිෂ්පාදනය සහ විකිණිම සම්බන්ධයෙන් උසාවිය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවට සඳහන් වන සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා.
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ නියමිත ප්‍රමිති සහතික රහිත තත්වයෙන් බාල නිෂ්පාදන බෙදාහැරීම සිදුකළ වෙන්ඩෝල් සමාගමේ නිෂ්පාදනාගාරය මුද්‍රා තැබීමට ද උසාවිය නියෝග කර ඇති අතර වෙන්ඩෝල් සබන් සහ දන්තාලේප භාවිතයට නොගන්නා ලෙස නියෝග කර ඇති බවයි. එමෙන් ම වෙන්ඩෝල් නිෂ්පාදන සියලුම වෙළඳසැල්වලින් ඉවත් කිරීමට උසාවිය නියෝග කර ඇති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් අත්තනගල්ල උසාවියේ නඩු අංක 17944/24 න් සහ මාලිගාකන්ද උසාවියේ/කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු අංක CHC/22/2024/1P යටතේ නඩු පවතින බව ද එම සටහනේ දැක්වෙනේ මෙලෙසිනි.
තවත් එවන් සටහන් පෙළක් සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ද, ගොඩකන්ද හර්බල්ස් (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින භාණ්ඩ වන වෙන්ඩෝල් T&G හර්බල්ස් ( T&G Herbals) සහ T&G ෆ්‍රෙෂ් (T&G Fresh) යන දන්තාලේප සාඳහා SLS 275 ප්‍රමිති සහතිකය ලබානොගෙන එම ලාංඡනය දන්තාලේප ඇසුරුම්වල සහ ටියුබ්වල ව්‍යාජ ලෙස මුද්‍රණය කර රට පුරා මුද්‍රණය කර රට පුරා බෙදාහැර ඇති බවත් එම වරද මාලිගාකන්ද සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ගොනු කළ චෝදනාවලට හබ කිරීමකින් තොරව ගොඩකන්ද හර්බල්ස් (පුද්ගලික) සමාගම විසින් වරද පිළිගෙන ඇති බව සඳහන් කරමින් දැන්වීමක් පුවත්පතක පළ කර තිබූ බවට සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
මෙය සත්‍ය සිදුවීමක් ද යන්න සොයා කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප විසින් පියවර ගනු ලැබුවේ මේ අයුරිනි.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පාරිභෝගික කටයුතු අධිකාරිය
T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් SLS 275 තත්ව සහතිකය නොමැතිව යම් කිසි තහනමකට ලක්කර තිබේද යන්න අප පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසීමක් කරනු ලැබුවා. එහිදී පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පැවසුවේ, පාරිභෝගික සේවා අංශයට ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශණය කර බැලීමේදී ගොඩකන්ද හර්බල් පුද්ගලික සමාගම සතු වෙන්ඩෝල් T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් සඳහා SLS 275 ප්‍රමිති සහතිකය ලබා නොගෙන ව්‍යාජ ලෙස එම ලාංඡනය මුද්‍රණය කර බෙදා හැර ඇති බව ඔවුන්ට අනාවරණය වූ බවයි.
ඒ පිළිබඳව නීතිමය ක්‍රියා මාර්ග ගනිමින් පාරිභෝගික සේවා අධිකාරිය ගොනු කළ නඩුවේදී විභාග කිරීමකින් තොරව අදාළ සමාගම වරද පිළිගෙන තිබෙනවා. එමෙන්ම මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කර තිබෙන අතර එම නඩු කටයුතු තවමත් සිදුවන බවයි පාරිභෝගික සේවා අධිකාරියෙන් අප වෙත පැවසුවේ.
වසර 9 ක් පුරාවට ගොඩකන්ද හර්බල් පුද්ගලික සමාගම මෙම වෙන්ඩෝල් T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් සඳහා ප්‍රමිති සහතික ලබා නොගෙන ඒවා වෙළඳපොළට නිකුත් කර තිබෙන බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඔවුන්ගේ අංක 102, නුවර පාර, වේවැල්දෙණිය යන ලිපිනය යටතේ ඇති මෙම දන්තාලේප නිෂ්පාදනය කෙරෙන යන්ත්‍ර ද පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මුද්‍රා තැබීම සිදුකර තිබෙනවා. නමුත් ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදනයන් සිදුකරන නිෂ්පාදනාගාර කිසිසේත් මුද්‍රා තැබීමක් සිදුකර නොමැති බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
එහිදී අප විමසා සිටියේ T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් හැර වෙන්ඩෝල් සන්නාමය යටතේ ඇති අනෙකුත් නිෂ්පාදනයන් ද උසාවිය මඟි පරිභෝජනයට නුසුදු යැයි තින්දු කර තහනම් කර තිබේද යන්නයි. නමුත් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පැවසුවේ T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් හැර අනෙක් කිසිඳු වෙන්ඩෝල් නිෂ්පාදනයක් තහනමට ලක්කර නොමැති බවයි. විවිධ වෙළඳ වාසි ලබා ගැනීමට විවිධ ආයතන එවන් අසත්‍ය තොරතුරු සමාජගත කරන බවයි ඔවුන් පවසන්නේ. එබැවින් පැහැදිලිව ම මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයෙන් තොර යයි සහතික කර ඇත්තේ T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් පමණක් බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.
එමෙන් ම සංසරණය වන සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙනේ දිවයින පුරා සියලු වෙළඳසැල් මඟින් වෙන්ඩෝල් නිෂ්පාදන ඉවත් කරන ලෙස උසාවිය මඟින් නියෝග කර ඇති බවයි. නමුත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ අත්තනගල්ල සහ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ මඟින් නියෝග කර ඇත්තේ අත්තනගල්ල සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ සතු බල ප්‍රදේශවලින් මෙම T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් ඉවත් කරගන්නා ලෙස පමණි. මන්ද මහේස්ත්‍රාත් අධිකරණයන්ට නියෝග කළ හැක්කේ එම මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ බල ප්‍රදේශවලින් එම නිෂ්පාදන ඉවත් කර ගැනීමට පමණක් බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය අප වෙත පැවසුවේ. නමුත් තවමත් එම දන්තාලේප දිවයින පුරා වෙළඳසැල් වල තිබෙන බවත්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකකින් ම තමන්ට නියෝගයක් ලැබී ඇත්නම් ගොඩකන්ද හර්බල් පුද්ගලික සමාගමට දිවයිනේ සියලුම වෙළඳසැල් වලින් එම අදාළ නිෂ්පාදන ඉවත්කර ගැනීමේ වගකීමක් පවතින බවයි පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පවසන්නේ. නමුත් එසේ තවමත් නොකර ඇති නිසා පාරිභෝගික ජනතාවට එම T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් භාවිතයට නොගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් සිදුකරනු ලබනවා.
T & G Herbals සහ T & G Fresh Mint යන දන්තාලේපයන් පරිභෝජනයට නුසුදුසු බව දක්වමින් මෙම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණයේ වීඩියෝවක් පාරිභෝගික කටයුතු අධිකාරිය සිට You Tube නාලිකාවේ පළ කර තිබුණේ මේ අයුරිනි.
වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම
මේ අතර අධිකරණ නියෝගයකින් මෙම නිෂ්පාදන තහනම් කර තිබියදී ත් මෙය අසත්‍ය බව දක්වමින් වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් හුවමාරු කරගෙන ඇති ආකාරයක් අපට දැකගත හැකි වුණා.
ඔවුන් පවසන්නේ, වෙන්ඩෝල් ආයතනයේ T & G දන්තාලේපයට SLS සහතිකය ලැබී තිබූ බව ත්, එම ඉල්ලුම්පත අලුත් නොකිරීම වෙනුවෙන් තාවකාලික තහනමක් ලබා ඇති අතර එය මෙම මස 25 වන දින නැවත අලුත් කරන බවයි. අවුරුදු 36 ක් නිපදවු ඖෂධීය දන්තාලේපය කිසිදු අහිතකරබවක්, කිසිදු පාරිභෝගික පැමිනිල්ලක් නොතිබූ බවත් SLS සහතිකය අලුත් කිරීමේ ප්‍රමාදය තාවකාලික තහ නමකට ලක් වී ඇති බව ත් ය. මේ සම්බන්ධයෙන් ඔවුන් තැබූ සටහනක් මෙතනින්.
මේ පිළිබඳව අප ගොඩකන්ද පුද්ගලික සමාගමේ සභාපති ලෙල්ලවල ජී ගොඩකන්ද මහතාගෙන් විමසීමක් කළා. එතුමා පවසා සිටියේ මේ පිළිබඳව එතුමා සවිස්තරාත්මකව Sathya Vlogs යූ ටියුබ් නාලිකාවේ වැඩසටහනකදී ප්‍රකාශ කළ බවයි. එබැවින් එම වැඩසටහන ද අප නැරඹුවෙමු. එහිදී වෛද්‍ය ගොඩකන්ද ප්‍රකාශ කරනු ලබන්නේ, ඔහු නිෂ්පාදනය කරන්නේ ආයුර්වේද දන්තාලේපයක් බවයි. ඔහු 2014 දී මේ සඳහා SLS සහතිකය ගත්ත ද එය අලුත් කර නොමැත. ඔහු පවසන්නේ එසේ කළේ මෙම දන්තාලේපය සකස් කිරීමට ඔහු භාවිතා කරන්නේ ඉරිමේදාදී තෛලය බැවින් ඒ සඳහා එතුමාට SLS සහතිකය වැදගත් නොවූ බවයි. මෙම දන්තාලේප දේශීය නිෂ්පාදන වන අතර මුලු ලෝකයට ම ඇති ප්‍රධාන පෙළේ ගුණාත්මක දන්තාලේප වන්නේ මෙම දන්තාලේප බවයි එම මහතා පවසන්නේ.එබැවින් මෙම ගුණාත්මක දන්තාලේපවලට ද SLS සහතිකය නොමැති නිසා තාවකාලික තනමක් ලබාදුන් බව එම මහතා පවසනවා. රටේ නීතිය අනුව ඔහු මෙය පිළිගන්නා බවත් නමුත් කිසිඳු පැමිණිල්ලක් මේ සඳහා පැමිණ නොමැති බවත්, ඩෙල්මා ලංකා සමාගම විසින් බොරු චෝදනා කර මෙම තත්වය ඇති කළ බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම ප්‍රචාරයන් සිදු කරන්නේ ද ඩෙල්මා ලංකා සමාගම බවයි ඔහු පවසන්නේ. එමෙන් ම කිසිඳු වෙනත් නිෂ්පාදනයක් තහනම් නොවූ බවත්, අදාළ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශවල වෙළඳසැල්වලින් මෙම නිෂ්පාදන උසාවි නියෝග අනුව ඉවත් කරගත් බව වෛද්‍යවරයා පවසනවා. ඔහු මෙම වැඩසටහනේදී තරයේ පවසන්නේ මෙම නිෂ්පාදනයෙන් කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවූ බවයි. ඔහු ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි දේශීය සමාගම් සඳහා වින කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසයි. එම වැඩසටහන මෙතනින්.
දේශීයව නිෂ්පාදනය කරනු දන්තාලේපයන් සඳහා SLS සහතිකය අනිවාර්යද?
දේශීයව නිෂ්පාදනය කරනු ලබන සෑම දන්තාලේපයක් සඳහා ම SLS 275 ප්‍රමිති සහතිකය ලබාගැනීම නීතිමය විධිවිධාන යටතේ අනිවාර්ය වනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ ක්‍රියාකරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මේ බව දක්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් පහතින්.
Also Read : CALIN ළදරු සබන් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:වෙන්ඩෝල් නිෂ්පාදන සියල්ල තහනම් වූ බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
Written By: Fact Crescendo TeamResult: Insight
