CID භාරයේ සිටින පිල්ලෙයාන් සිදු කළ හෙළිදරව් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් වල ඇත්ත නැත්ත!

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලනික වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල තහවුරු නොවූ අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන අතර මෙවැනි සටහන් හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේවා හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැටහීමක් නොමැති කමින් මෙවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සිදු කළ හෙළිදරව් කිරීම් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.

 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කළ තොරතුරු ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

කතරගම පෙරහැරට බෝම්බ ගහන්න කිව්වේ මහින්ද.. 

ඒ වාසනා ඇතාගේ දළ දෙක ගන්න.. ශ්‍රී මහ බෝධියට, දළඳා මාලිගාවට එල්ල කල ප්‍රහාර වල සැලසුම් සියල්ල මහින්දගේ.. සරත් ෆොන්සේකොට බෝම්බ ගැහුවෙත් මහින්ද.. 1993 පුනරින් කඳවුරට එල්ල කල ප්‍රහාරය හා 1996 මුලතිව් ප්‍රහාරය මහින්දගේ අනුදැනුම මතයි සිද්ද උනේ.. 

කැබිතිගොල්ලෑවෙදී අපි කිලෝ 15 ක ක්ලේමෝ එකක් තියන්න හදත් දී මහින්ද අපට පරුෂ වචනයෙන් බැණ වැදී කිලෝ 25 ක ක්ලේමෝ එකක් තිය පල්ලා කිව්වා.. ඉන්දියාව එක්ක ගොඩක් වෛරයෙන් හිටපු මහින්ද 2008 දී මුම්බායි හෝටලයකට ප්‍රහාරයක් එල්ල කරලා ගොඩක් සතුටු උනා 

ශානිගේ දැඩි ප්‍රශ්ණ කිරීම් හමුවේ පිල්ලෙයාන් සියල්ලම වමාරයි.”

Facebook | Archived Link

මෙම සටහන තුන්දහස් හයසියකට අධික පරිශීලකයින් අතර සංසරණය වී තිබුණා. 

තව ත් සටහනක පළ වී තිබුණේ, 

කොටි පාලන ප්‍රදේශ තුල ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් නොකිරීමට ප්‍රභාකරන් සමග ජවිපෙ එකඟතාවයක් තිබුනා. 

ඔවුන් ඊළම පිළිගන්නා බවට එකඟ වී සිටියා.. ඒ වෙනුවෙන් ජවිපෙට කොටි සංවිධානයෙන් අවි පුහුණුව ලබා දුන්නා.. ජවිපෙ විසින් ටොසී ඔත්තු සේවයට දකුණේ බුද්ධි තොරතුරු ලබා දුන්නා ” යනුවෙනි.

Facebook | Archived Link

“දෙහිවල දුම්රිය පිපිරුමට සහ කටුනායක ගුවන්තොටුපල ප්‍රහාරයට ඝෘජු සහයක් ජවිපේ බිමල් සහ විජිත අවශ්‍ය තොරතුරු අප සංවිධානයේ බුද්ධි අංශ වලට ලබා දුන්නා. ආන්ඩුවට පීඩනයක් දීම අප දෙපාර්ෂවයේම අවශ්‍යතාවය වූ අතර වෙනත් සම්බන්දයක් අප දෙපාර්ශවය අතර නැත.” යනුවෙන් ද, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රකාශ කළ බවට එහි දක්වා තිබුණා.       

Facebook | Archived Link

මෙවැනි සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු අතර මේ පිළිබඳ අගතියට පත් පාර්ශව විසින් මෙම සමාජ මාධ්‍ය සටහන් සත්‍ය නොවන බවට අප වෙත තොරතුරු දන්වනු ලැබූ අතර මේ පිළිබඳ නිල තොරතුරු පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ පසුගිය අප්‍රේල් 08 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී. ඒ 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත හෙළි කළ තොරතුරු හෝ ඔහු විසින් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඉහත සටහන් නිර්මාණය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්, පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෝ එම විමර්ශනයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදාළ විමර්ශනයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළා. නමුත් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් සිදු කළ ප්‍රකාශයන් ලෙසට ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ප්‍රකාශයන් හෝ පළ කර නොතිබුණි.

එමෙන් ම මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පසුගිය 10 වන දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගෙන ඇති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් පාස්තු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බවයි. නමුත් ඉහත සටහන් වල දැක්වෙන තොරතුරු අනාවරණය වූ බවට අමාත්‍යවරයා විසින් සඳහන් නොකරනු ලබයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‘පිල්ලෙයාන්’ සම්බන්ධ විමර්ශනයන් තවමත් සිදු කෙරෙමින් පවතින අතර එම විමර්ශනයන් සම්බන්ධ තොරතුරු මෙතෙක් ලැබී නොමැති බැවින් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන තොරතුරු වල සත්‍ය අසත්‍යතාව තීරණය කිරීමට නොහැකි බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත හෝ නිකුත් නොකර ඇති බව ත්, ඔවුන් තහවුරු කළා.

මහජන ආරක්ෂක අමාත්‍ය

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඒ මහතා පෙන්වා දුන්නේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙළි කළ තොරතුරු සියල්ල සම්බන්ධයෙන් මෙතෙක් සම්පූර්ණ වාර්තාවක් තමන්ට නොලැබුණු බව ත්, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි විමර්ශනයන් ට අදාළ තොරතුරු මාධ්‍ය වෙත තමන්ගේ පාර්ශවයෙන් නිකුත් නොකර ඇති බව ත් එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ ප්‍රකාශ කර නොමැති බව ත් ය.

එමෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන බවට පැවසීම හේතුකොට ගෙන ඔහුගේ ඉල්ලීමකට අනුව පිල්ලෙයාන් හමුවීමට අවසර ලබා දුන් බව ද, අප කළ විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා ගැනීමෙන් පසුව ඔහුව හමුවීමට අවසර ලැබු පුද්ගලයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් අප ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ප්‍රකාශයන් සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගනිමින් පිල්ලෙයාන් සිදු කළ බවට දැක්වෙන ප්‍රකාශයන් සියල්ල අසත්‍ය බව ත්, ඔහු විසින් එවැනි ප්‍රකාශයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කර නොමැති බවයි. කෙසේ වෙතත් හෙට දිනයේ(16) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කර ඇති ප්‍රකාශ හෙළිදරව් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවයි. කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ප්‍රකාශයන් සිදු කර නොමැති බවයි ඒ මහතා පවසන්නේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කර ඇති තොරතුරු ලෙසට පළ වන්නේ, නිල වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කර නිල තොරතුරු නොවන බවට තහවුරු වන අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා විසින් හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් හෝ ආරක්ෂක අමාත්‍ය හෝ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව පෙන්වා දිය හැක.

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන හෙළිදරව් වූ තොරතුරු ලෙස පෙන්වා දෙන්නේ නිල නොවන තහවුරු නොවූ තොරතුරු බවට ද, පෙන්වා දිය හැකි අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු නිල මූලාශ්‍ර මගින් හෙළි කරන්නේ නම් අප ඒ පිළිබඳ සඳහන් කරමින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු. 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු ඔස්සේ මුලා නොවී සෑම විටම නිල මූලාශ්‍ර මත පදනම්ව තහවුරු වූ තොරතුරු පමණක් පරිශීලනය කළ යුතු බව Factcrescendo අප පාඨකයන්ට නැවත නැවතත් අප මතක් කරන්නෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:CID භාරයේ සිටින පිල්ලෙයාන් සිදු කළ හෙළිදරව් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් වල ඇත්ත නැත්ත!

Written By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply