ටිල්වින් සිල්වා බැණ වැදීම නිසා විදුලි බල මණ්ඩලයේ සභාපති සිය ඉල්ලා අස්වීමේ ලියුම භාර දෙයි?

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර විදුලික වස්තුව පිරිවැය නිරූපිත වන ආකාරයට සකස් කරන ලෙස දැනුම් දී ඇති බැවින් මේ දිනවල විදුලි ගාස්තුව සංශෝධනයන් පිළිබඳ බොහෝ දෙනා අවධානයෙන් පසුවනවා. 

මේ අතර විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වූ බවට පළ වන මාධ්‍ය වාර්තා මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වන අතර ඒ පිළිබඳ අප කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීම පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“විදුලි ගාස්තුව වැඩි කිරීමට එරෙහි වූ සභාපතිට ටිල්වින් සිල්වා කුණුහරපයෙන් බැණ වැදීම නිසා විදුලි බල මණ්ඩලයේ සභාපති සිය ඉල්ලා අස්වීමේ ලියුම භාර දී ඇතැයි වාර්තා වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට ත්, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බව ට දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා පසුගිය 11 වන දා පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරය හිස්ව පවතීනම් මේ වන විට ඒ සඳහා නව පත්වීමක් සිදු කර ඇති බවට දැක ගන්නට නොලැබුණු බැවින් අප මේ පිළිබඳව විමසා බැලීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගත්තා. ඒ මහතා පැවසුවේ, විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කෙටි කාලයකට විදේශ ගත වීම සඳහා නිවාඩුවක් ලබා ගෙන ඇති බව ත්, ඔහු කෙටි කාලසීමාවක් සඳහා විදුලි බල මණ්ඩලයේ සභාපති තනතුරේ වැඩභාරගත් බව සත්‍ය බව ත් නමුත් ඔහු තනතුරෙන් ඉවත් වී නොමැති බව ත්, තව දුරටත් සේවය කරන බව ත් ය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා තවමත් සභාපති ධුරය හොබවන බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යවරයාට භාර දුන් බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමග ඊට හේතුව ලෙස ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබුණේ, විදුලි බල මණ්ඩලයේ සභාපති විදුලි ගාස්තුව වැඩි කිරීමට එරෙහි වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ඔහුට බැන වැදුණු බවයි. මේ පිළිබඳව ස්වාධීනව තහවුරු කිරීමට නොහැකි වුණත්, අප මේ පිළිබඳව අදාළ පාර්ශවයන් දෙපළගෙන් විමසීමක් සිදු කළා.

ඒ අනුව,  මේ වන විට විදෙස්ගත ව සිටින විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව ත්, තමන්ට කිසිදු දිනක ටිල්විල් සිල්වා මහතා මුණ ගැසී හෝ නොමැති බවයි. එමෙන් ම ඇතැම් මාධ්‍ය වාර්තා වල පෙන්වා දෙන පරිදි දේශපාලන අධිකාරිය විසින් සිදු කරන අනවශ්‍ය මැදිහත් වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභා‍වේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය වැනි කරුණු නිසා බවට පළ වන වාර්තා ද, අසත්‍ය බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් සභාපති ධුරයෙන් ඉවත් වූවාද, යන්න පිළිබඳව ද, අප විමසීමක් කළ ත්, ඔහු ඒ සඳහා මෙතෙක් අප වෙත පිළිතුරු ලබා නොදුනි.

අප ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ද, මෙම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මහතා පෙන්වා දුන්නේ ද, තමන් කිසිදු දිනක ආචාර්ය තිලක් සියඹලාපිටිය සමග කතා කර හෝ හමු වී හෝ නොමැති බව ත් මෙම සටහන් අසත්‍ය බව ත් ය.

ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කළේ, ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස ජාතික ජන බලවේග රජය යටතේ සිදු කළ ඉල්ලීම මත මාස දෙකක වැනි කෙටිකාලයකට වැඩ භාර ගත් බවයි. නමුත් එම කාලයද ඉක්මවමින් ඔහු ධුරයේ කටයුතු කරන අතර මේ වන විට තාවකාලිකව විදෙස් ගත වීම සඳහා නිවාඩු අනුයුක්ත කර ගෙන ඇති බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බව ත් ඔවුන් පෙන්වා දෙනවා. එමෙන් ම කිසිදු අවස්ථාවක ටිල්වින් මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ලෙස කිසිදු බැන වැදීමක් විදුලි බල මණ්ඩලයේ සභාපතිට සිදු කර නොමැති බව ත්, පක්ෂයේ ලේකම්වරයා ලෙස පක්ෂයේ පරිපාලන කටයුතු සිදු කරනවා මිසක්, ආණ්ඩුවක් තුළ රජයේ නිලධාරීන් සමග කටයුතු නොකරන අතර අමාත්‍යාංශ කටයුතු සඳහා අමාත්‍යවරයෙක් සිටින බැවින් ඒ කටයුතු සඳහා පක්ෂයේ ලේකම්වරයෙකු මැදිහත් නොවන බව ද, සඳහන් කරනු ලැබුවා.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17 වන දා සිදුවුණා. එහිදී විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව වාර්තා වන බවට මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:ටිල්වින් සිල්වා බැණ වැදීම නිසා විදුලි බල මණ්ඩලයේ සභාපති සිය ඉල්ලා අස්වීමේ ලියුම භාර දෙයි?

Fact Check By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply