දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් හේතුවෙන් බොහෝ පිරිස් එවැනි සටහන් සත්‍ය ලෙස සිතා නොමග යන අවස්ථා සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මෙවැනි සටහන් වල නිරවද්‍යතාව සොයා ගැනීමට අපෝහෝසත් වීමත්, එම තොරතුරු තවත් වේදිකාවන් තුළ පළ කිරීම හේතුකොටගෙන බොහෝ පිරිසක් අතර අසත්‍ය තොරතුරු පැතිර යාම සිදු වනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ සටහනක් ප්‍රධාන මාධ්‍ය තුළ සත්‍ය පුවතක් ලෙස වාර්තා වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහනක සත්‍යතාව සොයා අප සිදු කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ටීචර් අම්මා පිළිම හදලා: එකක් 25,000 ගාණේ විකුණලා” යනුවෙන් ලංකාදීප පුවත් පතේ පළමු පිටුවේ පුවතක් පළ වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.
එහි වැඩි දුරටත් දක්වා තිබුණේ, “ටීචර් අම්මා” ලෙසින් හඳුන්වන ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දුගේ පිළිමයක් රු.25,000ක මුදලකට විකුණන බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ සටහනක් සත්‍ය බවට සිතා මෙලෙසින් ‘ලංකාදීප’ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත විසින් මෙවන් පුවතක් වාර්තා කර ඇති බවයි.
සත්‍ය වශයෙන් ම ලංකාදීප පුවත් පත විසින් මෙවැනි පුවත් ලිපියක් පළ කරා ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ලංකාදීප පුවත් පතේ ලිපියක් බවට පළ වී තිබූ ඉහත ඡායාරූප පරීක්ෂා කිරීමේදී පළමු පිටුවේ පළ වී තිබූ අදාළ පුවතේ ශීර්ෂ පාඨයේ සම්පූර්ණ පුවත 6 වන පිටුවේ දක්වා ඇති බවට පළ වී තිබුණා. සත්‍ය වශයෙන් ම මෙවන් පුවතක් ලංකාදීප පුවත් පත විසින් පළ කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
මෙම පුවත් ලිපියේ පළවන ඡේදයේ මෙම පුවත ඊයේ(12)වන දා ලෙසින් දක්වා තිබූ බැවින් අප 13 වන දා පළ වූ ලංකාදීප පුවත් පත පරීක්ෂා කරනු ලැබුවා.
ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ 13 වන දා පළ වූ ලංකාදීප පුවත් පතේ “ටීචර් අම්මා පිළිම හදලා: එකක් 25,000 ගාණේ විකුණලා” යනුවෙන් ලිපියක් පළ වී නොමැති බවයි.
ඉහත ඡායාරූපයේ දැක්වෙන කොටසේ පළ වී තිබූ ශීර්ෂ පාඨය වන්නේ, “පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් රට සවාරි 30ක් ගිහින් වියදම කෝටියකට වැඩියි” යනුවෙනි.
සම්පූර්ණ පිටුව පහතින්.
මැයි 13 වන දා ලංකාදීප 6වන පිටුවේ පළ වූ පුවත්
ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන අයුරින් පුවතක් ලංකාදීප පුවත් පතේ පළ වී නොමැති බව තහවුරු වේ.
නමුත් හයේෂිකා ප්‍රනාන්දු උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධ වෙනත් පුවතක් එම 6 වන පිටුවේ පළ වී ඇති බව දැක ගන්නට ලැබෙන අතර එහි ඇයගේ අනුරුව රැගත් පිළිම විකුණන බවට සඳහන් නොවේ.
ලංකාදීප කතෘ
අප මේ පිළිබඳව විමසීමට ලංකාදීප කතෘ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙම පුවත බස්නාහරි පළාත සහ නගර බද පුවත් වල පළ නොවුණත්, ලංකාදීප පුවත් පතේ ඉහත පුවත රැගත් එක් අනුවාදයක් පළ වී තිබූ බැවින් එය ඇතැම් ගම්පද පළාත් වල සුළු පිරිසක් අතර බෙදා හැර ඇති බවයි. නමුත් ලංකාදීප ප්‍රධාන පුවත් පතේ ‘ටීච අම්මා’ සම්බන්ධ ඉහත පුවත පළ වී නොමැති අතර එය බෙදා හැරීමට ප්‍රථම මෙම පුවත අසත්‍ය බවට හඳුනා ගත් බැවින් එය ඉවත් කර ඇති බවට ඒ මහතා පැවසීය.
‘ටීච අම්මා’ පිළිරුව සහ සමරකෝණ් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ
“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ” ලෙසින් නිර්මාණය කර ඇති ෆේස්බුක් පිටුවක කාලීන සිදුවීම් අරඹයා උපහාසාත්මක කෝණයෙන් සටහන් නිර්මාණය කරමින් ඔවුන් විසින් එම සිදුවීම් වලට අදාළ පුද්ගලයන්ගේ අනුරුව හෝ සිදුවීම් වලට අදාළ භාණ්ඩ ආදිය නිශ්පාදනය කරන බවට ත්, ඒවා ඉහළ මිලකට අලෙවි කරන බවට ත් කලක සිට සටහන් පළ කරනු ලබනවා.
මෙම සිදුවීමට අදාළ ඔවුන් විසින් පළ කළ ඡායාරූප සටහන පහතින්.
සත්‍ය වශයෙන් ම මෙවැනි ආයතනයක් පවතින්නේ නැති අතර මෙය හුදෙක් උපහාසාත්මක කෝණයෙන් විනොදාස්වාදය පිණිස සටහන් ඡායාරූප පළකරන නමුත් මේ පිළිබඳ නිසි අවබෝධයකින් තොර සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් මෙය සත්‍ය අවස්ථා බවට බොහෝ කලක සිට නොමග යනු ලබනවා.
උපහාසාත්මක කෝණයෙන්(Satire/Parody)පළ වන කරුණු පිළිබඳ තරුණ ප්‍රජාවට වැටහුණත් සියලු බුද්ධි මට්ටම් වල අය සමාජ මාධ්‍ය සැරිසරන බැවින් ඒ සියල්ලටම වැටහෙනු නොලැබේ.
මෙවැනි සටහන් ඔස්සේ නොමග යන සුළු සමාජ මාධ්‍ය පරිශීලකයින්ට අප මේ පිළිබඳව දැනුවත් කරමින් කරුණු පරීක්ෂා වාර්තා සිදු කරමින් ඊට අදාළ සටහන් ශ්‍රේණිගත කිරීම සිදු කරත් ඒ හේතුවෙන් Factcrescendo අප කණ්ඩායමට ද, ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් දෝෂා රෝපණයත් සමච්චලයටත් භාජනය වීමට සිදු වුණේ, මෙවැනි සටහන් අසත්‍ය බවට සෑම සමාජ මාධ්‍ය පරිශීලකයින්ට අවබෝධයක් ඇති බවට පවසමින්.(මෙටා ආයතනයේ කරුණු පරීක්ෂණ ව්‍යාපෘතියට අදාළ (Satire/Parody) ශ්‍රේණිගත කිරීම පවතී)
“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!
නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන උපහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් ඔස්සේ ද, මෙලෙසින් නොමග යන පිරිස් ඇති බවට කදිම උදාහරණ මෙම සිදුවීම මෙන් ම පසුගිය දිනක ලංකාදීප පුවත් පතේ පළ වූ එවැනි ම පුවතක් වූ ‘ඔකපතන විදුහල’ පුවත ගෙන හැර දැක්විය හැක.
‘ඔකපතන’ විදුහලේ ආදී ශිෂයෙකු වතුරෙන් දුවන මෝටර් රියක් නිෂ්පාදනය කළ බව පුවතේ ඇත්ත කතාව!
හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය
හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය යනු පහේ ශිෂ්‍යත්වයට අදාළ උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් වන අතර අදාළ ගුරුවරිය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වූ ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල හේතුවෙන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. ඒ ඇය විසින් එම අවස්ථාවට පොලිස් පරිවාරක රථ ලබා තිබීම හේතුකොට ගෙනයි.
ඉන්පසුව එම ගුරුවරිය යටතේ සේවක කළ පරිගණක ක්‍රියාකරුවෙකුට බරපතළ ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට ලැබුණු නියෝගය මත ඇය පිළිබඳ යළිත් සමාජයේ කතා බහට ලක් වුණා. පොලිසියෙන් සැඟව පළා ගොස් සිටි එම ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු ඊයේ(14)මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:‘ටීච අම්මා’ගේ පිළිමේ ගැන ලංකාදීප පුවත් පතේ පළ වුණු පුවතේ ඇත්ත නැත්ත!
Fact Check By: Pavithra SandamaliResult: Insight
