මන්ත්‍රී චමින්ද විජේසිරිව සමගි ජනබලවේගයේ පක්ෂයෙන් ඉවත් කළා ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පුවත් වාර්තා වූ පසුබිමක එම මහතාව සමගි ජනබලවේගය පක්ෂයෙන් ද ඉවත් කළ බවට ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති බැවින් එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වමින්ද විජේසිරි මහතා පසුගිය 23 වන දිනයේ සිට සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත්, එතුමා විසින් පක්ෂ අභ්‍යන්තර සාකච්ජා පිළිබඳ තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම හා තවත් විනය විරෝධී ක්‍රියාකාරකම් නිසා පක්ෂයෙන් ඉවත් කළ බවත් සඳහන් කරමින් සමගි ජනබලවේග ලිපි ශීර්ෂය සහිත ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.

සමගි ජනබලවේග පක්ෂයේ විනය කමිටුව මගින් මෙම තීරණය ගත් බවත්, එතුමාට විරුද්ධව දිගින් දිගටම පක්ෂය තුළින්ම නැගුණ විරෝධතාවල අවසාන ප්‍රතිඵලය මෙය බවත්, තවද වමින්ද විජේසිරි යන අය විසින් කරන කිසිදු ප්‍රකාශයක හෝ ක්‍රියාකාරකමක වගකීම සමගි ජනබලවේගය පක්ෂය විසින් නොගන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

Fb|Archive

ඒ අනුව මෙම ලිපියේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2015 වසරේ සිට තෙවතාවක් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  2024 වසරේ ද සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර නැවතත් 2024 අගභාගයේ පැවති මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් විය.

මෙම පසුබිම තුළ එම මහතා සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ පුවතක් ද පසුගිය (23) දින මෙරට මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තිබුණා.

කෙසේ වෙතත් එම මහතා සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාර දුන් බව පමණක් පුවත්වල වැඩිදුරටත් සඳහන් වන නමුත් එම ඉල්ලා අස්වීමට හේතුව සඳහන් වීමක් නොමැත.

මාධ්‍ය ආයතන කිහිපයක් ම චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් මෙම බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව විමසා තිබූ නමුත් එම මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ඉදිරියේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී  හෙළි කරන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් කිහිපයක් මෙතනින්, මෙතනින්.

නමුත් කිසිඳු මාධ්‍යයක එම මහතා අභ්‍යන්තර සාකච්ජා පිළිබඳ තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම හා තවත් විනය විරෝධී ක්‍රියාකාරකම් නිසා සමගි ජනබලවේග පක්ෂයෙන් ඉවත් කළ බවට සඳහන් පුවතක් වාර්තා වීමක් සිදුව නොතිබුණි.

එමෙන් ම එම මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වන බවට පුවතක් හෝ වාර්තා කර නොතිබුණි.

එම නිසා ම අප මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබීය.

සමගි ජනබලවේග මාධ්‍ය අංශය

සමගි ජනබලවේග මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔවුන්ගේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් පළකර ඇති මෙම ලිපිය අසත්‍ය එකක් වන බවත් එවැනි ආකරයේ ලිපියක් පක්ෂයෙන් නිකුත් කර නොමැති බවත් ය. 

චමින්ද විජේසිරි මහතා පක්ෂයෙන් ඉවත් කිරීමක් හෝ එම මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමක් වීමක් හෝ සිදුව නොමැති බවත් සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවා.

චමින්ද විජේසිරි මහතා සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් පමණක් ඉල්ලා අස්වීමට ලිපියක් ලබා දුන්න ද, එය ද මෙතෙක් පක්ෂයෙන් සලකා බැලීමක් සිදුව නොමැති බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

එමෙන් ම චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් ද අප සමගි ජනබලවේග පක්ෂයෙන් විමසීමක් කළ නමුත් එහිදී සඳහන් කළේ, ඔහු ලබාදුන් ලිපියේ ඊට හේතුව සඳහන් කර නොමැති බවයි.

මන්ත්‍රී චමින්ද විජේසිරි

අප මේ පිළිබඳව විමසීමට චමින්ද විජේසිරි මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, තමන් බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වීමේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයට ලබා දුන් බව ත්, නමුත් පක්ෂයෙන් ඉල්ලා අස්වන බව ට හෝ පක්ෂයෙන් තමන් ව ඉවත් කළ බවට හෝ දැනුම් දීමක් සිදු නොවූ බවයි. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ලිපිය සම්බන්ධයෙන් ද, තමන් පක්ෂයෙන් විමසීමක් කළ අතර පක්ෂය විසින් ද, තමන්ට තහවුරු කළේ මෙය පක්ෂය විසින් නිකුත් කළ ලිපියක් නොව ව්‍යාජ ලිපියක් බවයි.

ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වීමට හේතුව සම්බන්ධයෙන් අප ඒ මහතාගෙන් තවදුරටත් විමසීමක් කළ ද, ඒ මහතා පෙන්වා දුන්නේ, තමන් ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉදිරියේදී දැනුම් දෙන බවයි.

සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

සමගි ජනබලවේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ද චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන අතර එහිදී එම මහතා සඳහන් කරන්නේ, ඔහු සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වූ හේතුව නොදන්නා බවයි. 

බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපිය පක්ෂ  නායකයා වෙත එවා ඇත්තත් පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා එය මෙතෙක් සලකා බැලීමක් කර නොමැති බවයි පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කරන්නේ. 

එමෙන් ම, බණ්ඩාරවෙල සංවිධායක ධුරය සඳහා නව පත් කිරීමක් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන අතර එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, පක්ෂ නායකයා මෙම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සලකා බැලීමකින් තොරව නව පත් කිරීමක් සිදු නොවන බවයි.

මෙහිදී එම මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, චමින්ද විජේසිරි මහතා පක්ෂයෙන් ඉවත් වීමක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙය පළාත් පාලන ආයතන නියෝජිතයින් පත්කර ගැනීමේදී මතුව ඇති අර්බුදයක් ද යන්න සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශන කරන අතර ඊට පිළිතුරු ලබාදෙමින්ම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ, පක්ෂයේ ඇති නීතිරීති අනුව සියලු දෙනා කටයුතු කළ යුතුව ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් උත්සහ කළ නමුත් ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය.

මන්ත්‍රීවරයා ඉදිරියේදී තමා බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වීමට හේතුව සඳහන් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවට පසුගිය(23) දිනයේ මාධ්‍ය වෙත පවසා තිබුණ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් එම මහතා මාධ්‍ය වෙත සඳහන් කර නොතිබුණි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනගෙන් ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමක් හෝ එම මහතා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමක් සිදුවුණේ ද යන්න සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර ප්‍රසාද් සිරිවර්ධන මහතා ද සඳහන් කළේ, චමින්ද විජේසිරි මහතාව සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත් කළ බවට හුවමාරුවන තොරතුරු අසත්‍ය බවයි.

එමෙන් ම චමින්ද විජේසිරි මහතා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් පමණක් ඉල්ලා අස්වී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සමගි ජනබලවේගයේ තවත් ආසන සංවිධායකවරු ඉල්ලා අස්වීම

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.  

පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබෙනවා.

රංජිත් අළුවිහාරේ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ, දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද වෙනස්කම් නිසා මෙම තීරණය ගත් බවත්, තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවයි. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගෙයේ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාලමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමා ආසන සංවිධයක ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ආසන සංවිධායකවරයා වශයෙන් තමාව විශ්වාස කර ඡන්දය ඉල්ලූ පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකිරීමට මව් පක්ෂයෙන්  අවශ්‍ය ශක්තිය හා සහයෝගය නොලැබෙන බවයි.

ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ ද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන්නේ, තමන් සමගි ජන බලවේගයේ පක්ෂයෙන් ඉවත් වීමක් සිදුනොවන බවයි. ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස එම මහතා සඳහන් කරන්නේ, පළාත් පාලන ආයතන සඳහා සභිකයින් පත්කිරීම සඳහා පක්ෂයෙන් නිර්මාණය කරන ලද නිර්ණායක පළාත් පාලන ආයතනයෙන් ආයතනයට වෙනස් වීම නිසා අර්බුදයක් ගොඩනැගී ඇති බවයි.

හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික සඳහන් කරන්නේ, ආසන සංවිධායකවරයෙක් වශයෙන් සංවිධාන කටයුතු පිළිබඳව පක්ෂය ගෙන ඇති තීන්දු තීරණවලට එකඟ නොවන බැවින් තමා ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර, එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත්කර ගැනීමේ ගැටළුකාරී තත්ත්වය මේ අයුරින් දැකිය හැකියි.

මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත් කළ බවට වන ලිපිය අසත්‍ය එකක් වන අතර සමගි ජනබලවේගය සඳහන් කරන්නේ, කිසිඳු අවස්ථාවක සමගි ජනබලවේගයෙන් චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ව ඉවත් නොකළ බවත් සහ මෙවැනි ආකාරයේ ලිපියක් පක්ෂයෙන් නිකුත් නොකළ බවත් ය.

එමෙන් ම එම මහතා බණ්ඩාරවෙල සංවිධායක ධුරයෙන් පමණක් ඉල්ලා අස්වන බවට ලිපියක් පක්ෂයට ලබාදී ඇති අතර පක්ෂයෙන් ඉල්ලා අස්වීමක් හෝ සිදුකර නොමැති බව ත්, මන්ත්‍රීවරයා විසින් තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:මන්ත්‍රී චමින්ද විජේසිරිව සමගි ජනබලවේගයේ පක්ෂයෙන් ඉවත් කළා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply