දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දූෂණ, නාස්තිය අවම කිරීම සම්බන්ධයෙන්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේග සංධානය, මැතිවරණයට පෙර සිටම ප්‍රතිඥා ලබා දෙනු ලැබුවා. විශේෂයෙන් හිටපු ජනපතිවරුන් දුර ගමන් සඳහා හෙලිකොප්ටර් එකකට වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම පිළිබඳව ද ජාතික ජන බලවේග නායකත්වය විවේචනය එල්ලකර තිබුණා. එවන් පසුබිමක දී, වත්මන් ජනපති අනුර කුමාර විසින් හෙලිකොප්ටර් යානා 2ක් භාවත කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව වයිරල් වූ වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“එකක් කැඩුනොත් අනිත් එකට පනින්න ද කියලත් කිවුවා කිවුවානේ” යනුවෙන් සඳහන් කරමින් හෙලිකොප්ටර් යානා 2ක් ක්‍රීඩාංගණයකට ගොඩබාන අයුරු සහ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් ප්‍රභූ රථ පෙළක් මධ්‍යයේ යටතේ ක්‍රීඩාංගණයෙන් එම හෙලිකොප්ටරයෙන් පැමිණි පුද්ගලයා ගෙන යන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එලෙසින් පැමිණියේ ජනාධිපති අනුර කුමාර දිසානායක බවට හඟවමින්.
මෙම වීඩියෝව ඉහත තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
එසේම TikTok ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද මෙම වීඩියෝව වයිරල් වී තිබු අතර වත්මන් ජනපති හෙලිකොප්ටර දෙකක් යොදා ගන්නා අවස්ථාවක් බව හඟවමින් මෙවැනි සටහන් ද හුවමාරු වී තිබුණා.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර මහතා ගමන් ගත් අවස්ථාවක් ද, යන්න පරීක්ෂා කර බලන ලෙස ලැබුණු පාඨක ඉල්ලීම්ද මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
මෙම වීඩියෝව සමඟ හුවමාරු වන “එකක් කැඩුනොත් අනිත් එකට පනින්න ද කියලත් කිවුවා කිවුවානේ” වදන් පෙළට මුල් වී තිබුනේ හිටපු රාජ්‍ය නායකයින් විසින් හෙලිකොප්ටර එකකට වැඩි ගණනක් යොදාගැනීම හෙළා දකිමින් අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වමින් සිදුකර තිබු ප්‍රකාශ බව පෙනී යනවා.
2014 වසර අග අයවැය විවාදය අතරතුර දී , එම වකවාණුවේ දී ජනාධිපතිවරුන් හෙලිකොප්ටර් එකකට වැඩි ප්‍රමාණයක් ගුවන් ගමන් වලදී භාවිත කිරීමට කටයුතු කිරීම අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් කර තිබුණා. එම ප්‍රකාශය සඳහන් අවස්ථාවක් මෙතනින්.
එලෙසින්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඔහුගේ ගමන් කටයුතු සඳහා ගුවන්යානා දෙකක් භාවිත කිරීම විවේචනය කරමින්, 2016 වසරේ දී අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේ දී අදහස් එක්කළ අවස්ථාවක් මෙතනින්.(1.19 සිට)
මේ අයුරින් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර, තමා ද හෙලිකොප්ටර් යානා දෙකක් භාවිත කරමින් ඉහත දක්වා ඇති අයුරින් ගමන් කළේ ද, යන්න අප පරීක්ෂා කළා.
බේරුවල ක්‍රීඩාංගනය දර්ශන පෙළක්
අප මෙම ස්ථානය කුමක්ද යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කළ අතර මෙම වීඩියෝවට දක්වා තිබු අදහස් අතර එහි දැක්වෙන්නේ “මොරගල්ල ආච්චිගේ වත්ත” ලෙසට සඳහන් කර තිබූ කමෙන්ටු ඔස්සේ අප මෙම ස්ථානය පිළිබඳ කළ පරීක්ෂාවේදී මෙහි පෙනෙන ස්ථානය අලුත්ගම, මොරගොල්ල ‘ආච්චිගේ වත්ත ක්‍රීඩාංගණය’ බවට තහවුරු වුණා.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එම වීඩියෝවේ දැක්වෙන පසුබිම සහ මොරගොල්ල ‘ආච්චිගේ වත්ත’ ක්‍රීඩාංගණයේ 2021 වසරේ Google Map Street View හරහා ලබා ගත් ඡායාරූප පසුබිම හා සැසඳේ.
කෙසේ වෙතත් 2021 වසරෙන් පසු ‘ආච්චිගේ වත්ත’ ක්‍රීඩාංගණය පිළිසකර කර ඇති බව වත්මන් ඡායාරූප පරීක්ෂා කිරීමේදී දැක ගැනීමට මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් දැක ගැනීමට හැකිවන අතර ඉහත වයිරල් වී ඇති වීඩියෝව ගෙන ඇත්තේ එලෙසින් පිළිසකර එනම් 2021 කාලයෙන් පසුව බව පැහැදිලි වේ. Archived Link
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙලිකොප්ටරයකින් මෙම ක්‍රීඩාංගණයට පැමිණුනාදැයි අප එම බේරුවල – අළුත්ගම ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ, ජනාධිපති අනුර මෑතකදී හෝ මීට ඉහතදී හෝ හෙලිකොප්ටර් යානාවකින් මෙම ස්ථානයට නොපැමිණි බවයි. තවද පසුගිය 2024 ජනාධිපතිරවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මෙම ක්‍රීඩාංගණයට හෙලිකොප්ටරයකින් පැමිණ, පසුව වාහන වලින් ආරක්ෂාව මධ්‍යයේ බේරුවල පිහිටි රැස්වීමකට ජනාධිපතිවරණ රැස්වීමකට සහභාගී වූ බවයි.
අප මේ පිළිබඳ මෙම ක්‍රීඩාංගණය අවට සිටින ප්‍රදේශ වාසීන්ගෙන් කිහිප දෙනෙකුගෙන් මේ පිළිබඳව තවදුරටත් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, අනුර කුමාර දිසානායක මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතා හෙලිකොප්ටරයකින් පැමිණි බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී ද , හෙලිකොප්ටර් යානයෙන් බිමට බසින පුද්ගලයා දැක්වෙන රූප රාමු කොටස පැහැදිලි නොවුවත්, අනුර කුමාර දිසානායක මහතාට සමාන රුවට වඩා අදාළ පුද්ගලයාගේ හැඩරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුවට සමාන බව දැක ගන්නට ලැබුණා.
ගුවන් හමුදාව
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගෙන් අප විමසීමක් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් භාවිතා කරනවාද යන්නයි.
ඒ මහතා පෙන්වා දුන්නේ එක් අවස්ථාවක දී හැර ජනාධිපති හෙලිකොප්ටර් යානා ගමන් කටයුතු සඳහා භාවිත නොකර ඇති බවයි. එක් අවස්ථාව වන්නේ ද පසුගිය සමයේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේදී පමණක්, අනුරාධපුරය බලා පිටත්ව යාම සඳහා එක් ගුවන් යානයක් භාවිත කළ බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ගමන් කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් භාවිත කළ බව ත්, අප කළ විමසීමේදී ඒ මහතා තහවුරු කළා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි සමයේදී හෙලිකොප්ටර් දෙකක් භාවිත කළ අවස්ථාවන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ ලෙස කතාබහට ලක් වී තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි අවස්ථාවන් පළ වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් , මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link, Archived Link
ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ, ජනාධිපති අනුර කුමාර සිය ගමන් කටයුතු සඳහා ගුවන් යානා භාවිත නොකරන බව ත්, එක් හෙලිකොප්ටරයක් වුව ද, භාවිත කළේ, ඉන්දීය අගමැති පැමිණීම හමුවේ අනුරාධපුරයට ගිය ගමනේදී පමණක් බව ත් ය.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝවේ සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොවන බව ත්, එහි දැක්වෙන ලෙස ජනාධිපති, ප්‍රභූ වාහන මෙන් ම සහ ආරක්ෂාවට එතරම් ආරක්ෂකයින් පිරිසක් යොදා නොගන්නා බව ද ඔවුන් සඳහන් කළා.
බේරුවල පොලීසිය ආරංචි මාර්ගයක් සඳහන් කරනු ලබන්නේ, මෙම වීඩියෝව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පැමිණි අවස්ථාවක් බවයි.
මීට පෙර ද අවස්ථා ගණනාවක ජනපති අනුරගේ හෙලිකොප්ටර භාවිතය පිලිබඳ ව්‍යාජ සටහන් රැසක්!
ජනාධිපති අනුර කුමාර හෙලිකොප්ටර භාවිතා කරන බව දැක්වීමට මීට පෙර ද ව්‍යාජ සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබු අතර ඒ පිළිබඳව සිදුකල කරුණු විමසීම් පහතින්.
ජනාධිපති අනුර කුමාර යාපනයට ගියේ හෙලිකොප්ටරයෙන් ද ?
ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න හෙලිකොප්ටරයේ ගිය විදිය ?
ජනපති අනුරගේ මව Lanka Hospital ගෙන ආ අයුරු?
ලොව විවිධ රාජ්‍ය නායකයින් හෙලි කොප්ටර් යානා දෙකක් භාවිත කිරීම
ලොව සිටින ජනාධිපතිවරු බොහෝ විට ජනපති ආරක්ෂාව සඳහා බහු හෙලිකොප්ටර් සිය ගමන් වාර සඳහා උපයෝගි කොටගනී. මෙම පිළිවෙත ජනාධිපතිවරයා රැගෙන පියාසර කරන යානය කුමක් දැයි හතුරෙකුට අනුමාන කිරීමට නොහැකි වේ.
මීට අමතරව, බහු හෙලිකොප්ටර් යොදා ගැනීම මගින්, ප්‍රධාන යානයේ තාක්ෂණික ගැටළු ඇති වුවහොත් ඉක්මන් ගොඩ බෑමක් සිදු කර පරිවාර යානය භාවිත කිරීම සඳහා මෙන්ම ආරක්ෂක නිලධාරීන් සහ උපකරණ රැගෙන යාමට ද, උපායශීලී නම්‍යශීලීභාව වැඩිකිරීමට එනම් ගමන් මාර්ගයේ හදිසි මාර්ග වෙනස්කම් කාර්යක්ෂමව සිදුකරමින් අවදානම් කළමනාකරණය සඳහා ද යොදා ගනු ලැබේ. ඒ පිළිබඳ තොරතුරු මෙතතින්.
කෙසේවෙතත් මෙලෙස බහු හෙලිකොප්ටර්, ඒ සඳහා වැයවෙන මුදල සමඟ අවස්ථා පිරිවැය සලකා බැලීමේ දී, විශේෂයන්ම ආර්ථික අර්බුදයක සිටින රටකට එලෙසින් ජනාධිපති හෙලිකොප්ටර් බලඇණි සඳහා එපමණ සම්පත් වෙන්කිරීම ගැන විවේචන ලංකාවේ පමණක් නොව සෝමාලියාව, පිලිපීනය සහ බ්‍රසිලය වැනි රටවලින් ද පසුගිය කාලයේ දැකගන්නට ලැබෙනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :ජනාධිපති අනුර කුමාර දිසානායක හෙලිකෝප්ටර් දෙකක් භාවිත කරමින් සිය ගමනා කටයුතු වල යෙදෙන අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණු වීඩියෝව වත්මන් ජනාධිපති ගමන් ගත් අවස්ථාවක් නොව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2024 ජනාධිපතිවරණය ආසන්න දිනකදී බේරුවල ජන රැලියකට පැමිණීම සඳහා අලුත්ගම, මොරගොල්ල ‘ආච්චිගේ වත්ත ක්‍රීඩාංගණය’ට හෙලිකොප්ටරයකින් පැමිණි අවස්ථාවක් බවයි. එමෙන් ම අනුර කුමාර දිසානායක ජනාධිපති එම ප්‍රදේශයට හෝ ක්‍රීඩාංගණයට හෙලිකොල්ටර් යානයකින් පැමිණ නොමැති බව ත්, ගුවන් හමුදාව, ප්‍රාදේශීය වාර්තාකරුවන්, ප්‍රදේශ වාසීන්, මෙන් ම ජනාධිපති මාධ්‍ය අංශයද, තහවුරු කරනවා.

Title:ජනපති අනුර හෙලිකොප්ටර් යානා 2ක් භාවිත කරමින් ක්‍රීඩාංගණයකට පැමිණි අවස්ථාවක්?
Fact Check By: Pavithra SandamaliResult: False
