ජනපති ට්‍රම්ප් හමුවෙන්න පෝළිමේ බලා සිටින යුරෝපා නායකයින් ඡායාරූපයක් ද?  

AI False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කිරිමට මැදිහත්වී ක්‍රියා කිරීම හමුවේ අමෙරිකනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ලෝක දේශපාලනයේ  සුවිශේෂි චරිතයක් බවට පත්ව සිටී. එහි සුවිශේෂි පියවරක් ලෙස පසුගිය දා ධවල මන්දිරයේදි ජනාධිපති ට්‍රම්ප්, යුක්‍රේන ජනපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සහ යුරෝපා නායකයින් පිරිසක් අතර සුවිශේෂි සාකච්ඡාවක් පැවැත්විය. මෙම සාකච්ඡාව සඳහා පැමිණි යුරෝපා නායකයින්ගේ බව කියමින් සමාජය නොමග යවන සුළු ආකාරයෙන් සංසරණය වන ඡායාරූපයක් පිළිබඳව අප සිදු කළ සොයා බැලීමක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ඇමරිකාව තවමත් ලෝක බලවතා වෙන්නේ ඇයි කියලා අහන එකෙක් ඉන්නවා නම්කනට ගහලා මේ ෆොටෝ එක පෙන්නපන් යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ, ඩොන්ල්ඩ් ට්‍රම්ප් හා සාකච්ඡාවට පැමිණි යුරෝපා  බලවතුන් ට්‍රම්ප්  ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කි අතර  පැවැත්වෙන සාකච්ඡාව අවසන් වන තුරු බලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් බවයි. මෙම ඡායාරූපයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට සමාන පුද්ගලයෙකු දැකගත හැකි අතර සියලු දෙනා එකම ඉරියව්වකින් ඉඳගෙන සිටින ආකාරයක් දැකගත හැකිවීම විශේෂත්වයකි.  

Facebook | Archived Link

මෙම ඡයාරූපය සත්‍ය ලෙසම යුරෝපා නායකයින් ජනපති ට්‍රම්ප් හමුවීමට පෝළිමට ඉඳගෙන සිටින ඡායාරුපයක් යැයි සිතා මෙම සමාජ මාධ්‍ය සටහන බොහෝ පිරිසක් අතරේ හුවමාරු වී තිබුණේ මේ ආකාරයෙනි. 

තව ද ලොව බලවත්ම රටවල් වල නායකයෝ මෙහෙම පෝලිම් කරලා, ඇමරිකාව පෙන්වන්නේ තමන්ගේ බලය, ට්‍රම්ප්ගේ උද්දච්ච කම හරහා පෙන්වන බව සඳහන් කරමින් හුවමාරු වී තිබු තවත් සටහනක් මෙතනින්.

A group of people sitting in a row

AI-generated content may be incorrect.

එසේම ජොබ් ඉන්ටව් සඳහා ගිය පසු ඉන්නා විදිහ බව කියමින්, ලෝක නායකයින් පිරිසක් මෙලෙසින් වාඩිවී සිටින ආකාරය උපාහසයට ලක් කරමින් තවත් සමාජ මාධ්‍ය පරිශීකයෙක්  ඉහත සටහන සඳහා පාදක වී තිබූ ඡායාරූපය සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මේ ආකාරයෙනි Archived Link

ඒ අනුව ජනපති ට්‍රම්ප් හමුවීමට පැමිණි යුරෝපා නායකයින්ගේ ඡායාරූපයක් බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ඡායාරූපය සැබෑ ලෙසම පසුගිය දා ජනපති ට්‍රම්ප් සමග සකච්ඡා සඳහා පැමිණි යුරෝපීය නායකයින්ගේ ඡායාරූපයක් ම ද යන්න පිළිබඳව අප කරුණු විමසා බැලීමක් සිදු කළේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

යුද ගිනි නිවා රුසියාවට සහ යුක්‍රේනයට සාමයේ දොරටු විවෘත කර දීම සඳහා  අමෙරිකානු ජනාධිපතිවරයා මේ දිනවල දැඩි ප්‍රයන්තයක නිරතව සිටී. එහි සුවිශේෂි පියවරක් ලෙස ඉකුත් සතියේ ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇලෙස්කාවේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් විණ. 

ඉන් අනතුරුව ලෝකයේම අවධානය යොමු වූයේ, ඉකුත් 18 වැනිදා අමෙරිකානු ජනපති ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සහ යුරෝපා නායකයින් අතර ධවල මන්දිරයේදී පැවති සාකච්ඡා  පිළිබඳවයි. යුරෝපා නායකයින් 7 දෙනෙකු සහභාගී වී සිටි මෙම සාකච්ඡාව මුළු ලෝකයේම අවධානය යොමු වූ සාකච්ඡාවක් විය. මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්

මූලිකවම මුළු ලෝකයේම අවධානය යොමු වූ මෙම සුවිශේෂී හමුවේදී යුරෝපා නායකයින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ පෙනී සිටින ආකරයට යටහත්පත් ආකාරයෙන් ට්‍රම්ප් හමුවීමට පෝලිමේ සිටියා නම්, ජාත්‍යන්තර මාධ්‍ය අනෙක් සියලු වාර්තාකරණයන්ට පෙර වාර්තා කරන්නේ මෙම සිදුවීමයි. මන්ද මෙය එතරම්ම ලෝක දේශපාලනයේ පුවත් මවන සුවිශේෂි අවස්ථාවක් බව ලෝක දේශපලනය පිළිබඳ සුළු හෝ දැනුවත්භාවයත් ඇති අයෙකුට තෙරුම්ගත හැකි බැවිනි. එහෙත් කිසිදු පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක මෙවැනි ඡායාරූපයක් හෝ ඊට ආසන්න ඡායාරූප, දර්ශන පෙළක් හෝ පළ කර තිබෙනු දැකගත නොහැක. 

අමෙරිකානු ජනපති සමග යුක්‍රේන ජනපති සහ යුරෝපා නායකයින්  ධවල මන්දිරයේ සම අසුන් ගෙන සුහදශීලීව මෙ සාකච්ඡාව පවත්වන ආකාරය ධවන මන්දිරය ඉකුත් 19 වැනිදා වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි. 

මේ අතර මෙම සුවිශේෂී හමුව පිළිබඳව වාර්තා කර තිබූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා රැසක්ම අප නිරීක්ෂණය කළඳ කිහිපයක්ම අප පරීක්ෂා කර බැලූ අතර ඒ කිසිදුව පුවත් වාර්තාවක මෙවැනි ඡායාරූපයක් දැකගත නොහැකි විය. බොහෝ පුවත් වාරර්තා තුළ යුරෝපා නායකයින්ගේ හමුවීමට අදාළ ඡායාරූප පළකර තිබුණ ද මෙවැනි ඡායාරූපයක් කිසිදු පුවත් අන්තරගතයක් තුළ දැකගත නොහැක. ජාත්‍යන්තර පුවත් වාර්තා මෙතැනින් සහ මෙතැනින් 

මේ අතර ලෝකයේම අවධානය යොමු වූ මෙම සුවිශේෂී හමුවේ ඡායාරූප AFP පුවත් ඒජන්සිය සහ ධවල මන්දිරය විසින් ද  නිකුත් කර තිබූ අතර එකී  ඡායාරූප අතරේ හෝ අප හට මෙවැනි ඡායාරූපයක් දැක ගත නොහැකි විය. 

තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී ජනපති ට්‍රම්ප් – යුරෝපා නායකයින් අතර හමුවට අදාළව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ ඡායාරූප හා සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය සැසදීමේදී එහි බොහෝ ගැටලුසහගත තැන් ඇති බව පෙනී ගියේ ය. 

ඒ අනුව අප සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය ඉතා සියුම්ව පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේ ය. එහිදී මෙම ඡයාරූපයේ ප්‍රංශ ජනාධිපතිවරයාට සමාන පුද්ගලයා අසල කළු උස සපත්තුවක් සහිත කකුලක් ඇති නමුත් එහි පුද්ගලයෙකු දක්නට නොමැත. තව ද රතු පැහැති ඇඳුමෙන් සැරසී සිටින කාන්තාව අසල ද පුද්ගලයින් නොමැති සපත්තු දැකගත හැකියි. මේ අතර අදාළ පිඑිස සිටින මෙම ස්ථානයේ බිමට එළා ඇති බිම් ඇතුරුමේ රටාව ද ඒකාකාරී නොවන අතර එහි වරණ පවා තැනින් තැනට වෙනසකම් සහිත වේ. තව ද ඡායාරූපයේ සිටින සියලු දෙනාගේ දෑත් එකම ඉරියව්වක පවතින්නේ ඇයි? යන ප්‍රශ්නය ද පැන නගී.    

සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ ප්‍රශ්න රැසක් පවතින පසුබිමක අප පිළිගත් නිල මූලාශ්‍ර ඔස්සේ පළ කර ඇති ඡායාරූපවල පෙනී සිටින යුරෝපා නායකයින් සහ සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය හා සංසන්දනාත්මක විමසා බැලීමක් ද සිදු කළේ ය.  

ඉකුත් 19 වැනිදා ධවල මන්දිරයේ සාකච්ඡා සඳහා පැමිණි යුරෝපා නායකයින් වූයේ,  නේටෝ මහලේකම් මාර්ක් රූට්, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි, ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ය. ඒ අනුව ඉහත නිල ඡායාරූපයට ද අනුව සාකච්ඡා සඳහා කාන්තාවන් ලෙස සහභාගී වී ඇත්තේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය පමණි. එහෙත් සාමජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ කාන්තාවන් තිදෙනෙකු දැකගත හැකියි. තව ද ඉහත AFP නිකුත් කළ ඡායාරූපයේ යුරෝපා නායකයින් සිව් දෙනෙකුම කණ්ණාඩි පැළඳ සිටිය ද සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ කිසිවෙකුත් කණ්ණාඩි පැළඳ සිටින ආකාරයක් දැකගත නොහැක. මේ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය යුරෝපා නායකයින් පෙනී සිටින සත්‍ය ඡායාරූපයක් නොවන බවට යම්කිසි දුරකට කරුණු පැහැදිලි වේ. 

ඒ අනුව මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් ද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා එය AI පරීක්ෂක මෙවලමක් වෙත යොමු කළේ ය. ඒ අනුව පැහැදිලි වූයේ, මෙම ඡායරූපය තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි. 

මේ අතර  යුක්‍රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය X පණුවුඩයක් යොමු කරමින් Archived Link පවසා තිබුණේ, අමෙරිකානු ජනාධිපතිවරයා  හමුවීමට පැමිණි යුරෝපා නායකයින් ඕවල් කාර්යාලය අසල පේළියට ඉඳගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් බව කියමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන  ඡාායරූපය ව්‍යාජ එකක් බවයි.  

ජනපති ට්‍රම්ප් යුක්‍රේන ජනපති ඇතුළු යුරෝපා නායකයින් හමුවීම 

ඉකුත් ජුනි මාසයේදී ඊශ්‍රායල – ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැන් උත්සාහය වී ඇත්තේ වසර 3කට අධික කාලයක් තිස්සේ විරාමයක් නොලද රුසියා – යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීම සඳහා මැදිහත්වීමයි. ඉකුත් සතියේදී ඇලෙස්කාවේදී අමෙරිකානු  – රුසියානු ජනපතිවරුන්ගේ සුවිශේෂි හමුව දෙස ලෝකයේම අවධානය යොමුව තිබිණ. ඉන් දින කිහිපයකට පසු එනම් ඉකුත් 18 වැනිදා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ තවත් යුරෝපා නායකයින් 7 දෙනෙකු ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සුවිශේෂි හමුවකට එක්වූහ.මෙහිදී ජනපති ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපතිවරයා සමග මෙන්ම යුරෝපා නායකයින් සමග ද සාකච්ඡා පවත්වා තිබිණ. 

මෙම සාකච්ඡාවලින් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, අමෙරිකානු ජනපති පුටින් සහ යුක්‍රේන ජනපති  සෙලෙන්ස්කි අතර හමුවක් ඉදිරියේදි සිදු වනු ඇති බවටයි. මේ අතර යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ, රුසියානු ජනාධිපතිවරයා සමග ඕනෑම ආකාරයක හමුවකට තමන් සූදානම් බවයි.

මේ අතර මෙම ධවල මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවලදී එළැඹි තීරණ පිිළිබඳ දැනුවත් කිරීම සඳහා යුරෝපා නායකයින්ගේ එකඟත්වය මත ජනපති ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ද ගෙන තිබූ අතර දුරකතන ඇමතුම ගන්නා අකාරයේ ඡායාරූප ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ. රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කර දෙරටේ නායකයින් සාමයේ මාවතට ප්‍රවිශ්ට කරවීම සඳහා පැවති මෙම සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් ධවල මන්දිරයේදී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින්  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ අමෙරිකා ජනපති  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවසන්ව තම වාරය පැමිණෙන තුරු යුරෝපා නායකයින් ඉඳගෙන බලා සිටින බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ ඡායාරූපයක් බවයි.

Avatar

Title:ජනපති ට්‍රම්ප් හමුවෙන්න පෝළිමේ බලා සිටින යුරෝපා නායකයින් ඡායාරූපයක් ද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply